අපේ රටේ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රීයව උනන්දුවක් දක්වන නමුත් බොහෝ දෙනකුට රටේ දේශපාලන සංස්කෘතිය ගැන ප්‍රසාදයක් නැත. ඊට එක් හේතුවක් නම්, මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ දා සිට දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ අපේක්ෂකයන්ගේද ආධාරකරුවන්ගේද හැසිරීම බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මුළු ලෝකයම මේ වනවිට කණපිට හරවා ඇත. ලොව බොහෝ රටවල ආර්ථිකය මෙන්ම සමාජ කටයුතු, ක්‍රීඩා උළෙලවල්, මැතිවරණ ආදී එකී නොකී බොහොමයක් දෑ මෙම වෛරසයේ බලපෑම නිසා අඩපණ වී තිබේ. මෙම මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙරට මහ මැතිවරණය දින නියමයකින් තොරව කල්දමනු ලැබුවේ මෙම වෛරසයේ බලපෑම මෙරටට එල්ල වෙමින් තිබූ පළමු අවධියේමය. මැතිවරණය පැවැත්වෙන නව දිනය මැතිවරණ කොමිසම විසින් දක්වා ඇත්තේ ජූනි 20 වැනිදාය. කෙසේ වෙතත් ඒ දවස ද තීරණය කරනු ඇත්තේ කොරෝනා වසංගතය රට තුළ පැතිරීම හෝ පාලනය කිරීම යන කාරණය විසිනි. කොරෝනා වසංගතය පැතිර ඇති මොහොතක මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට මතයක් පැතිර ගියේ නාම යෝජනා භාර ගැනීම ආරම්භ වීමටත් පෙර සිටය.
කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසමේ නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමග තවත් සාකච්ඡා පැවැත්වීමටද තීරණය කර ඇත. විපක්ෂයේ බොහෝ නියෝජිතයින් පවසන්නේ දැන්ම මහ මැතිවරණයට යාමට නුසුදුසු බවය. එමෙන්ම නැවත වරක් තිබුණු පාර්ලිමේන්තුව කැඳවා මෙම වෛරසයට පිළියම් සෙවිය යුතු බව ඔවුන්ගේ මතය වී ඇත. එහෙත් ආණ්ඩු බලයේ සිටින ඇතැම් ඇමැතිවරුන්ගේ ප්‍රකාශ තුළින් පෙනී යන්නේ හැකි ඉක්මණින්ම මහ මැතිවරණයකට යා යුතු බවය. කෙසේ වෙතත් බොහෝ ජනතාව පෙන්වා පවසන්නේ මෙරටට නැවත පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නොමැති බවය.
නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමථයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් දකුණු කොරියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා වී තිබෙන බවයි. ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. මහා පරිමාණයේ රැස්වීම් දැඩි ලෙස සීමා කිරීමටත්, නිවෙස්වලට නොගොස් ඩිජිටල් ක්‍රමයන්ට අනුව මැතිවරණ රැස්වීම් පැවැත්වීමටත්, සෑම පක්ෂයකටම සාධාරණ කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුව ඇත.
මෙරට ඕනෑම මැතිවරණයකදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලින් ඉටුවන්නේ සුවිශාල කාර්යය භාරයකි. කොවිඩ් 19 වෛරසයේ හමුවේ කල්දැමුණු මහ මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන කාලයක තුළද යන්න දේශයේ අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයකින් විමසා සිටියෙමු.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි
තවමත් කොරෝනා වෛරස් වසංගතය මේ රටින් සම්පූර්ණයෙන් තුරන් වී ගිහින් නැහැ. මෙරටින් සම්පූර්ණයෙන් මෙම කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය තුරන් වූ බවට සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත්කරන දිනයේ සිට දින 35කින් පමණ මැතිවරණය පැවැත්වූවාට කිසි ප්‍රශ්නයක් බාධාවක් නැහැ. ඒ වගේම තමයි විධායකය සහ මැතිවරණ බලධාරීන් මේ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි. රටකට මැතිවරණ අවශ්‍යයි.
නමුත් ජනතාවගේ ජිවිත ඊට වඩා වටිනවා කොරෝනා ව්‍යාපෘතිය නැති කිරීමට මෙන්ම මැතිවරණයට දින වෙන් කිරීමේ ගැටලු තිබෙනවා නම් එය අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ විසදාගත යුතුයි. නමුත් මේ අවස්ථාවේ ජනතාව ගැන සිතාබලා මේ වෛරසයයේ බලපෑම නතර වූ වහාම මැතිවරණය පවත්වන එක තමයි වඩාත්ම සුදුසු කියන එක තමයි අපේ අදහස.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක අහමඩ් මනාස් මකීන්
කොඩිඩ්-19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් මෙරටින් ඉවත් වෙනකම් මහමැතිවරණය පැවැත්වීම කල්දැමිය යුතුයි කියන මතයේ තමයි කැෆේ සංවිධානය ඉන්නේ. ඒ වගේම මැතිවරණය කල් දැමිය යුතුයි කියලා ඉල්ලීමක් කරමින් අපි මේ වනවිටත් ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසම වෙත ලිපි යොමුකරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කළහොත් ගෙයින් ගෙට යාම් මෙන්ම අත්පත්‍රිකා බෙදීම් වලින් නැවත මෙම කොරෝනා වසංගතය හිස එසවීමේ ප්‍රවණතාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකයේ බොහෝ රටවල මැතිවරණ කල්දමා තිබෙනවා මේ වෛරසයේ බලපෑම නිසා ඒ වගේම තමයි මේ මැතිවරණයට වියදම් කරන මුදල් මේ හමුවෙලා ඉන්න කොරෝනා රෝගීන්ගේ නිරෝධායන කටයුතුවලට යොමු කරන්න පුළුවන් කියලා අපේ සංවිධානය අදහස් කරලා තියෙනවා. මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පෙර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රට තුළ සිටීම අවශ්‍යයි කියන එක තමයි අපේ අදහස.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජධීර
සමාජයේ මේ වනවිට මතයක් පැතීරී යනවා ඉක්මණින්ම මහමැතිවරණය පවත්වන බවට. නමුත් තවමත් මේ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් මේ රටින් ඉවත්වෙලා නැහැ. ඒ නිසා මේ වසංගතය සම්පූර්ණයෙන් රට තුළින් ඉවත් වූ බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර අඩුම දින විස්සක්වත් ගතවනතුරැ මැතිවරණය නොපැවැත්විය යුතුයි. සමහරැ තර්ක කරනවා කොරියාවේ මැතිවරණය පැවැත්වූවා නම් ඇයි අපේ රටේ බැරි කියලා නමුත් කියන්න ඕන කොරියාවේ ඉහළ තාක්ෂණ ක්‍රම වේදයන් භාවිත කරලා තමයි මැතිවරණය පැවැත්වූයේ නමුත් අපිට තවමත් එහෙම මැතිවරණ පැවැත්වීම පිළිබද තාක්ෂණයක් නැහැ. ඒ නිසා මේ අවදානම පහළ ගිය පසු මැතිවරණය පැවැත්වීම සුදුසුයි කියන එක තමයි අපේ අදහස.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර
කොවිඩ් 19 වෛරසයේ බලපෑම තවමත් සම්පූර්ණයෙන් මෙරටින් ඉවත් වී නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සුදුසු කාලය නෙවෙයි. මේ කාල වකවානුව ඒ වගේම අපි මැතිවරණ කොමිෂන් සභාව වගේම ජනාධිපතිවරයත් ඉදිරියේදි දැනුම්වත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මැතිවරණය කල් දැමිය යුතුයි කියලා. සමාජයේ මතයක් යනවා මැතිවරණය ඉතා හදිසියෙන් පැවැත්විය යුතුයි කියලා. නමුත් සෞඛ්‍ය අංශ විසින් මේ වසංගතය සම්පූර්ණයෙන් තුරන් වූ බවට නිවේදනය කරාට පස්සේ මැතිවරණය පැවැත්වූවාට ගැටලුවක් නැහැ.
සටහන - හසිත් අංජන