2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ආසාදිතයන් සොයා රට පීරයි!

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

2020 අප්‍රේල් 20 අපේ රටේ ඇත්තන්ට අමතක නොවන දිනයකි. රජය රට පුරා පැනවූ කොවිඩ් 19 ඇඳිරි නීතියට මාසයක් පිරුණේ එදාය. එදාම ඇඳිරිය ඉවත් කරන්නට රජය ගත් තීන්දුවට සොබාදහම හරස් වුයේ එතෙක් වාර්තාගත කොවිඩ්19 වැඩිම ආසාදිතයන් ගණන බිහිකරමිනි. එහෙයින්ම ඇඳිරියට පැනවූ සහනය නැවත වෙනස් කරගන්නට රජයට සිදුවිය. නැවතත් උදාවී තිබුණේ ආන්දෝලනාත්මක සතියකි. වැඩිවන ආසාදිත පොකුරු හමුවේ රට පුරා ආසාදිතයින් පරීක්ෂාවට පියවර ගැනීම එකම විකල්පය වී තිබේ.

බ්‍රහස්පතින්දා වනවිට ‘ලෝක කොවිඩ් මීටරය’ නැවතී තිබුණේ භයානක අඩවියකය. ලෝකයේ ආසාදිත පිරිස ලක්ෂ 26 ඉක්මවා ගියේය. මරණ සංඛ්‍යාව 183,866 ක් විය. අමෙරිකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා විය. එය 50 000කි. අලුතෙන් 2206ක් මියගිය බව වාර්තා විය. 850000කට ආසන්න ආසාදිත පිරිසක් එරට වූහ. ස්පාඤ්ඤය (ආසාදිත 208,389, මරණ 21,717) ඉතාලිය (ආසාදිත 187,327, මරණ 25,085) ප්‍රංශය (ආසාදිත 159,877, මරණ 21,340) ජර්මනිය (ආසාදිත 150,648, මරණ 5,472) ලෙස වසංගත හානිය ඉහළ ගොස් තිබුණි. චීනය තුළ තත්ත්වය පාලනය වූ බවක් පෙනී ගියේය. 82,788 ක් ආසාදිතයන් අතරට මරණ තිබුණේ 4,632කි. බදාදා දින අලුතෙන් මරණ වාර්තා වූයේ නැත. ඒ අතර රුසියාවේ ආසාදිත ගණන ඉහළ ගියේය. එය 63235කි. මරණ ගණනද 570ක් ව තිබුණි.

ලෝකයට කොවිඩ් 19 මාරකය සින්නකර දුන්නා යැයි චීවරයට එරෙහිව බරපතළ චෝදනා වරින්වර එල්ල වී තිබුණි. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මේ චෝදනාව නැවත පසුගියදා එල්ල කළේය. ඒ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට අමෙරිකාවේ මිසුරි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබුණි. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදු වූ ජීවිත හානි හා ආර්ථිකයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව මිසුරි ප්‍රාන්ත බලධාරීහු කියූහ.

චීනයට  එරෙහිව නැවත නැවතත් නැඟුනු තවත් බරපතළ චෝදනාවක් වූයේ කොවිඩ් වෛරසය එහි ‘ලැබ්’ එකක් තුළ නිපදවා ‘ලීක්’කළ ජෛව ආයුධයක්ය යන්නය. මේ ලෝකාපවාදයෙන් චීනය ගලවාගන්නට ඉකුත් සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේය. කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කී‍වේය. ඒ අනුව වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දීමට කටයුතු කළේය.

‘ලෝක කොවිඩ් මීටරය’ පෙන්වා දුන් පරිදි ලංකාවේ වාර්තාව ආසාදිතයන්  350ට ළංවී තිබුණි. මරණ සංඛ්‍යාව වෙනස් නොවී 7ක් ලෙසම පැවතුනද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කලින්ම අනතුරු අඟවා තිබූ පරිදි ආසාදිත පොකූරු වාර්තා වීම ඉහළ යන බවක් පෙනී ගියේය. ඒ අනුව එම සංගමය කලින් පෙන්වා දී තිබූ පරිදි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර තිබුණි. ඒ අනුව බදාදා දින සිට පොකුරු පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීවේය. ඇඳිරිය තාවකාලිකව ඉවත්කළ අවස්ථාවල ජනතාවගේ අන්තනෝමතික හැසිරීම මෙන්ම ඇඳිරිය ඇති අවස්ථාවල එය කඩ කරමින් නිදැල්ලේ යාම යන කාරණාත් රෝගය පැතිර යාමේ අවදානම ඉහළ දමා ඇත. ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 34,000ට වැඩි සංඛ්‍යාවක් බදාදා වනවිට අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත්  සමඟ  කාර්යාලයට යනවිට අනුගමනය කළයුතු පොදු සෞඛ්‍ය පුරුදු පිළිබඳ මගපෙන්වීමක් රජය ප්‍රකාශයට පත්කර තිබුණි .මේ එම උපදෙස් මාලාවයි. ඒ අනුව උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත ගත යුතුයි. නිවසින් බැහැර වීමට පෙර මුඛ ආවරණය පැළඳීම ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තකි.

විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳිම සීමා කළ යුතු අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වගබලා ගත යුතුය. කාර්යාලය පරිශ්‍රයට ඇතුළු වනවිට, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුය. පොදු ප්‍රවාහන සේවාවන් මෙන්ම, විදුලි සෝපානය භාවිත කිරීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් ගමන් කිරීම ඉතාම වැදගත්ය. කාර්යාලයට ඇතුළුවීමේදී විෂබීජ නාශක දියර යොදා නැවත අත් පිරිසිදු කරගත යුතුය. අත්ල වෙනුවට වැළමිට යොදා ගනිමින් කාර්යාල දොර විවෘත කිරීමට හැකිය. රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජ නාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කරගත යුතුය.

කාර්යාලයේදී, තමන්ගේ භාවිතයට පමණක් කෝප්පයක් භාවිත කිරීමට වගබලා ගන්න. ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට හැකිවනු ඇති. කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුය. කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුය. එමෙන්ම, නිවසට ඇතුල්වීමට පෙර පාවහන් පිටතින් ගළවා ඇඟ පිරිසිදු කර ගැනීමෙන් පසු නිවස තුළට ඇතුළු වීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයන්ද ආරක්ෂා කරගත හැකි බව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වල සඳහන්ය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03