කොරෝනා වෛරසය මුළු ලෝකයම වෙලා ගනිද්දී ශ්‍රී ලංකාවටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණි. මෙම ව්‍යාප්ත වීමත් සමඟම රෝගීන් වාර්තා වීම හා ආසාදිතයින් එකින් එක වැඩිවෙද්දී රජය විසින් ශ්‍රී ලංකාවේ අවදානම් කලාප ලෙසින් දිස්ත්‍රික්ක කිහිපයක්ම නම් කෙරුණි. වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණු කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ඉසිලීය.
එදිනෙදා කටයුතුවලට නිවෙස්වලින් බැහැරව ගොස් ජීවිකාව කරගත් වැඩිහිටියන් මෙන්ම අධ්‍යාපනය ලබමින් දවස ගෙවූ දරැවන්ද එකවරම දින ගණනාවක් නිවෙස්වලට කොටුවීමෙන් පත්වූ‘“යේ දැඩි අපහසුතාවයකටය. ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම වස් රජය ගෙනයන්නාවූ වැඩපිළිවෙළට නිරන්තරයෙන්ම කැපවූ රණවිරුවන් ජනතාවගේ හිතට සැනසීම ලබාදීමට නිරන්තරයෙන්ම කටයුතු කළහ.
මේ නිසාම නිවෙස්වලටම කොටුවෙමින් ස්වයං නිරෝධායනයේ සිටින ජනතාවගේ හිතට යම් අස්වැසිල්ලක් ලබාදෙන්නට ඔවුන් සංගීතය ළංකරගත්හ. මිනිසාගේ හිත සුවපත් කරනා ඔසුවක් ලෙස හැඳින්විය හැකි සංගීතය කොරෝනා හේතුවෙන් නිවෙස්වලට කොටු වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබාදුණි.
කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලොව බොහෝ රටවල් මෙම ක්‍රියාවලිය සිදුකරති. ඇතැමුන් ගීත ගැයූහ. ඇතැමුන් ගීත නිර්මාණ කළහ. වීඩීයෝ නිර්මාණයන් ඔස්සේ ඔවුන් සංගීතය පාළු වූ කාන්සිය වූ තම හදවත්වලට ළංකරගත්හ. මිනිසුන්ගේ සතුටේදීත් දුකේදීත් ළඟින් සිටින අපේ රටේ කලාකරුවන් කිසිදාක ඒ මිනිසුන් අමතක නොකරති. කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින් නිවෙස්වල ස්වයං නිරෝධායනයේ යෙදෙන තම ආදරණීය මිනිසුන් වෙත ගොස් අපේ රටේ කලාකරුවන් පිරිසක් ගීත ගැයූහ. ඒ සියල්ලටම සංගීතය සපයන ලද්දේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම් විසිනි. අපේ රටේ කලාකරුවන් කලාකාරියන්ට අමතරව ඔවුන්ද හරි අපූරැවට ගීත ගැයූහ. මේ නිසාම කොන්ක්‍රීට් මහල් නිවාසවල ජීවත් වෙමින් ඒ බිත්ති හතරට සීමා වෙමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක දවස ගෙවූ අපේ රටේ මිනිසුන්ට යම් අස්වැසිල්ලක් ලැබුණි. ඔවුන් ඈත සිට මොවුන් හා ගීත ගැයූහ.
මෙම කටයුත්තට අපි සම්බන්ධ වුණේ යුද හමුදාව හා පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධ වෙලයි. සති කිහිපයක් නිවසකට කොටු වී එක දිගට සිටීමෙන් මානසික ආතතිය ඇතිවෙනවා. ඒ ඇතිවන මානසික ආතතියට ජාතියක්, ආගමක්, පක්ෂයක්, භේදයක් නැහැ. මේ හැම කොට්ඨාසයකම එකසේ අපි ගිහින් අපිට පුළුවන් උපරිමයෙන්ම සංගීතයෙන් යම් සහනයක් ලබලා දෙන්න අපි උත්සහ කළා. ඒ මොහොතේදී මෙතෙක් ගෙවල් ඇතුළේ කොටු වී සිටිය ඒ මිනිසුන්ගේ මානසික ආතතිය ලිහිල් වෙලා ඒ පීඩනය යම් දුරකට හෝ අඩු වුණු බව අපි විශ්වාස කරනවා. සමහරවිට මේ විදිහට දිගින් දිගටම නිවෙස්වලට කොටුවෙමින් ඉඳිද්දී අයියෝ.... මේ අපේ අන්තිම කාලයද? මේ ලෝකේ විනාශයද? යනුවෙන් සෘණාත්මක සිතුවිලි ඇතිවෙනවා. නමුත් මෙවැනි යම් සහනයක් ලබාදුන්නට පසුව මේක ජීවිත අවසානයත් නෙවේ. මේක එක්තරා විදිහේ බාධකයක්. ඒ අභියෝගය අපි කෙසේ හෝ ජයගන්නවා කියන සිතුවිල්ල ඔවුන්ට ඇති වෙනවා. ඔය ඔස්සේ අපි ඔවුන් ළඟට ගොස් ඒ මානසික ආතතිය බිඳකට හෝ අඩුකරලන්නට පුංචි උත්සහයක් ගත්තා. ඒ උත්සාහය සාර්ථක බව ඔවුන්ගෙන් ලැබුණ ප්‍රතිචාරයත් එක්ක අපි තේරුම් ගත්තා. ඒ නිසාම දිගින් දිගටම මහල් නිවාස සහ නිවාස සංකීර්ණවලට ගොස් ගීත ගයන්නට අපිට ආරාධනා ලැබුණා.* යැයි ජනප්‍රිය කලාකරැවන් වන සංතුෂ් වීරමන් දේශයට පැවසීය. මෙම මානුෂීය කටයුත්තට භාතිය - සංතුෂ් මෙන්ම කිහිප දෙනෙක්ම සම්බන්ධ වී සිටියහ. සජීවී ප්‍රසංග වේදිකාවේදීත්, විදෙස් සංචාරවලදීත් මොවුන්ට ආදරණීය රසික රසිකාවියන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණි. නමුත් වෙනදාට ප්‍රසංග වේදිකාව අසලට ගොස් ඔවුන්ගේ ගීත රසවිඳීමේ හැකියාව රසික රසිකාවියන්ට හිමිවුවද, ඔවුන්ගෙන් සමරු සටහන් හා ඡායාරූප ගැනීමට අවස්ථාව සැලසී තිබුණද කොරෝනා ඒ සියල්ල ඈත්කරලීය. නමුත් සජීවී සංගීත ප්‍රසංගයකින් ඔවුන්ට ලැබෙන උණුසුම් ප්‍රතිචාර ඈත සිට භාතිය සංතුෂ් ඇතුළු වාද්‍ය මණ්ඩලයට ලබාදෙන්නට ඔවුන් අමතක කළේ නැත.
අපි ගීත ගායනා කරද්දී මහල් නිවාසවල ඉහළ සිටම ඔවුන් මහ හයියෙන් අපෙන් ඔවුන් කැමති ගී ඉල්ලා සිටියා. අපි ඒ ගීතත් ගායනා කළා. රාත්‍රී කාලයේදී අපි ගීත ගයද්දී ඒ හැමෝම ඒ නිවෙස්වල සිටම එයාලගේ ජංගම දුරකථනයේ විදුලි අලෝකයෙන් ඒ අයගේ ප්‍රතිචාරය අපිට දැක්වුවා. කිසිම භේදයකින් තොරව ඔවුන් නිවෙස්වල සිටම සිංහ කොඩිය වනමින් ඒ සතුට ඔවුන් අපිට පලකළා යැයි සංතුෂ් ඒ අපූරු ළෙන්ගතුකම දේශයට පැවසීය.
මේ අපූරු කටයුත්තට වාදනයෙන් ගායනයෙන් අපේ කලාකරැවන්ට පූර්ණ සහයෝගය ලබලා දුන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම් විසිනි. මෙවැනි කටයුත්තකට කලාකරුවන්ට ආරාධනා වගේම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණ වගකීම ගනා ලැබුවේද එවන් වීර පුතුන් වෙනුවෙනි. අව්ව වැස්ස කිසිවක් නොබලා ඔවුන් එක් පැත්තකින් කොරෝනා වසංගතය ඉතා ඉක්මණින් මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි දරන අතර නිවැස්වලට සිරවී සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මානසික ආතතිය දුරු කරලීම සඳහා මහත් වෑයමක් ගනු ලබයි. එය ශ්‍රී ලංකික අප සැවොම ප්‍රසංශා කළ යුතුම ක්රියාලියකි.
මේ සඳහා අපිට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියෙන් උපරිම සහයෝගය ලැබුණා. ඔවුන් ගැන නොසිතා අපේ ආරක්ෂාවට ඔවුන් මුල්තැන ලබලා දුන්නා. වරක් අපි මාලිගාවත්ත මහල් නිවාසයේ ගීත ගායනා කළා. අපි වේදිකාවක් මත ගායනා කරන්නේ නැහැ. මුළු මහල් නිවාසවල සිටින මිනිසුන්ට පෙනෙන පරිදි මැද කොටසකට වෙන්න තමයි අපි ගීත ගයනා කළේ. එදා මාලිගාවත්තේ ගීත ගයනා කරන අතරතුරේදී තදින්ම වැස්සා. ආවරණයක් නොමැතිව ගායනා කරන නිසා සමහරු හිතුවේ අපි ගීත ගායනා කරන එක නතර කරාවි කියලා. නමුත් ඒ මොහොතේදීම අපි ගයනා කරද්දීම යුධ හමුදාව විසින් ඒ වහලයට අවශ්‍ය පොලිතින් හක්ක ඉතා ඉක්මණින් යොදා නොතෙමෙන්නට ඉහළ ආවරණය කළා. අපි ගායනා කරද්දීම යුධ හමුදාවේ රණවිරුවන් තෙමි තෙමී වහලයට නැග ඉතාමත් ක්ෂණිකයෙන් එය ආවරණය කළා. එයින් ප්‍රසංගයට කිසිම බාධාවක් වුණේ නෑ. අපි ගායනා කරද්දී උඩ බලද්දී අපේ හිස මුදුනින් පොලිතින් කවරයෙන් අපිව ඔවුන් ආවරණය කරද්දී අපි ඇත්තටම සංවේදී වුණා. ඔවුන් සියලු දෙනා මුළු හදවතින්ම කැපවීමෙන් කරනා ක්‍රියාන්විතයක් විදිහටයි මම මේ කටයුත්ත දකින්නේ. ඒ හැම දෙනාම හරිම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ
සංතුෂ් ඒ අපූරු වීරයෙන් මතකයට නංවත්නටත් අමතක කළේ නැත. කෙසේ වුවත් සංතුෂ්ගේ පියා මෙන්ම භාතියගේ පියාද යුධ හමුදාවේ සේවය නියුතු වුණු නිලධාරින්ය. මේ නිසාම ඒ යුද හමුදා නිලධාරින් දෙදෙනාගේ සෙවනැල්ලේ, තුරුලේ උස්මහත් වුණු භාතියටත් සංතුෂ්ටත් යුද හමුදාව ආගන්තුක නොවේ. ඔවුන්ට මුළු ජීවිත කාලය පුරාවටම යුද හමුදාවත් සමඟ සමිප බැඳීමක් ඇත.
සංතුෂ් - භාතිය සමඟ ගීත ගැයිමේ කටයුත්තට උමාරියාද සහභාගි වුණි. ගීත ගැයීමට අමතරව මොවුන් විසින් එකතු වී වියළි ආහාරපාන ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක්ද දියත් කෙරුණි. මෙම කටයුත්තට භාතිය සංතුෂ්, උමාරියා, අශාන්තිඥ, රන්දීර්, දුෂ්යන්ත්, සනුක, උමාරා සහ ධනිෂ් ශ්‍රී සහභාගි වුණි. ඔවුන් රාජගිරියේ ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව වෙනුවෙන් මේ කටයුත්තේ නියැලුණි.
මෙම ගීත ගැයීමේ වැඩසටහනට නිරෝෂා විරාජිනීද සහභාගි වුණි. මහල් නිවාසවල ජීවත්වෙන ජනතාවගේ පාළුව, කාන්සිය දුරලීම සඳහා ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම් සමඟ එක්ව නිරෝෂා ගීත ගැයූහ. බොහෝ විට මෑතක සිට එළිමහන් සජීවි ප්‍රසංගවලට සහභාගි නොවන නිරෝෂා මෙලෙස රටේ ජනතාවවෙනුවෙන් මෙවැනි ප්‍රසංගවලට සහභාගි වීම අපේ බොහෝ රසික රසිකාවියන්ට ගෙන ආවේ විශාල සතුටකි.
මොන මානසික පීඩනයක හිටියත් සංගීතය මිනිසුන් අතහරින්නේ නැහැ. මේ නිසාම තමයි මානසික ආතතයෙන් නිවැස්වලටම හිරවුණු මිනිසුන්ගේ හිතට යම් අස්වැසිල්ලක් ලබලා දෙන්නට මහන්සි වෙන ත්‍රිවිධ හමුදාවත් සමඟ එකතු වෙලා කරනා මේ සංගීත වැඩසටහනකට මමත් සහභාගි වුණේ. සාමාන්‍ය සජීවි ප්‍රසංගයකට එක්රුස් වන සෙනඟ වෙනුවට දුරස්ථභාවය නිරන්තරයෙන්ම තබාගනිමින් මේ වැඩසටහන පැවැත්වුවා. හමුදා නිලධාරින් විසින් නිතරම ඔවුන්ට දුරස්ථභාවය තබා ගන්නා ලෙස දැනුම් දුන්නා. බොහෝ විට සහභාගි වුණේ දහවල් සහ සවස් වරුවල පැවැත්වූ වැඩසටහන් වලටයි. මම එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නෙම නැති තරම්. නමුත් මෙම වැඩසටහනට මමත් සහභාගි වුණා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දීලා තියෙනඋපදෙස් ඒ විදිහටම පිළිපඳිමින් අපි මේ කටයුත්තේ නිරත වුණා. මේ මොහොතේ හැටියට ඔවුන්ට එය මහත් සහනයක් වුණා. හැමෝටම මිනිසුන්ගේ හිත් සනසන්න බැහැනේ. කලාකරුවන් හැටියට ඔවුන්ට ආදරය කරමින් ඔවුන්ගේ ආදරය ලබමින් සිටින පිරිසක් හැටියට මේ මොහොතේදී අපට කළ හැකි දෙයක් කටයුතු වෙනවා යැයි නිරෝෂා විරාජිනී දේශයට පැවසීය.
මේ සෑම මොහොතකම කලාකරුවන් කලාකාරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරින් කැපවී කටයුතු කරති. රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවා රූ නොබලා කටයුතු කරනා මෙවැනි විරුවන් වෙනුවෙන් කලාකරුවන් ලෙසින් සමබන්ධවී සිටිනා මෙම කලා පිරිසේ සහභාගිත්වය සැබැවින්ම අගය කළ යුතමය.
දිශානි ජයමාලි කරුණාරත්න