2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොළොම්පුරෙන් සුරපුරයකට ගිය ගුණසිංහපුර යාචකයෝ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

ශ්‍රී ලංකාව පුරා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ රජය විසින් මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවුණි. මේ අතර ආසාදිතයන් රට තුළින් වාර්තා වීමත් සමඟ රජය විසින් දිස්ත්‍රික්ක කිහිපයක්ම ඉතා අවදානම් කලාප ලෙසින් නම්කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයද මෙම අවදානම් කලාපයට ඇතුළත් වුණි.

වෙනදාට සුපුරුදු ලෙස කොළඹ නගරයට පිට පළාත්වලින් භාණ්ඩ තොග වශයෙන් පැමිණෙන අතර ඒවා නගරයෙන් පිට පළාත්වලට රැගෙන යාම සිදුවුවද කොරෝනා වෛරස රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ දෛනිකව රාජකාරි කටයුතුවල නිරත වුණ බොහෝ පිරිසකගේ රුකියාව අහිමි වුණි. මේ අතර බඩු භාණ්ඩ කරත්ත ඔස්සේ තල්ලු කර දමමින් ඉතා වෙහෙස මහන්සි වෙමින් දවසේ වියදම සොයාගත් නාට්ටාමිවරැන්ගේ දවසේ ආදායම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
වෙනදා තරම් නොවුණත් කොළඹ නගරයට පිට පළාත්වලින් එළවළු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වෙළඳුන් රුගෙන ආවද නාට්ටාමි රැකියාවෙන් පමණක් වැඩි වශයෙන් ජීවත්වෙන නාට්ටාමිවරුන්ට එය ප්‍රමාණවත් නැත. මේ අතර පසුගිය දින සිට මැනිං වෙළඳපොළද තාවකාලිකව වසා දැමීමත් සමඟම පිටකොටුව සම්පූර්ණයෙන්ම පාළු ස්වරෑපයක් ඉසිලීමෙන් තත්ත්වය තවත් දරුණු අතට හැරැණි.

වෙන දිනවලදී කොළඹ නගරයට උදේ හවා එන ජනතාවට තම දුක කියමින් අත පෑ බොහෝ යාචකයන්ටද කොරෝනා වෛරසයත් සමඟ සිදුවූයේ කබලෙන් ලිපට වැටීම වැනි ඛේදවාචකයකි. ඔවුන්ට කිසිදු හව්හරණයක් නොවීය. මේ නිසාම කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වූ දා පටන් එවැනි අසරණ මිනිසුන් වැඩි වශයෙන් ජීවත්වන ගුණසිංහපුර බස් නැවතුම්පොළ හා ඒ අවට රුඳී සිටි යාචකයන් සොයා ගොස් ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුත්තක් පොලිසිය විසින් සිදුකෙරිණි. මේ නිසාම යාචකයන්ගේ කුසගින්නට මඳ අස්වැසිල්ලක් ලැබුණි.

නමුත් පසුගියදා දිනෙක කෝවිඩ් - 19 ආසාදිතයකු මෙම යාචකයන් අතර සබඳතාවයන් පවත්වා ඇති බවට සැකයක් ඇතිවීමත් සමඟ මෙම යාචකයන් හා නාට්ටාමිවරුන් නිරෝධායන මධ්‍යස්ථානයකට රුගෙන යාමට රජය විසින් තීරණය කරනු ලැබීය.
රාත්‍රී කාලයේදී ගුණසිංහපුර බස්නැවතුම තම නවාතැන් පොළ කොටගත් මොවුන් බොහෝ දෙනෙකු දහවල් කාලයේදී කොළඹ නගරය පුරා සිඟමන් යදිමින් දවස ගත කරන්නට උත්සාහ ගැනීමත් සමඟ මෙම වෛරසය රට පුරා තව තවත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම යාචකයන් මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන සේවාව ගෙනයාමට මෙලෙස රජය තීරණය කර තිබිණි. මෙලෙස ගෙන යන පිරිස තුන්සිය හැට දෙනෙකි.

මෙලෙස රැඳවුම් මධ්‍යස්ථානය කරා රුගෙන යාමට පෙර මෙම පිරිස සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කරනු ලැබීය. මහලු වයසේ පසුවන යාචකයන් මෙන්ම කුඩා දරැවෝද මේ අතරේ සිටිති. පොලිස් ජල ප්‍රහාරක රථය යොදාගනිමින් මෙම සියලු යාචකයින් පිරිසිදු කළ අතර ඔවුන් රුගෙන යාමට ප්‍රථම දිවා ආහාර වේලක් සමඟම අලුත් ඇඳුම් පැළඳුම් මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු යොදා තිබිණි.

වෙන දිනවලදී ඉතා අපිරිසිදු වැරහැලි ඇඳුම් ඇඟලා සිටි මෙම යාචකයන්ට අලුත් ඇඳුම් ලැබීමත් සමග ඔවුන් දැඩි සතුටට පත්ව සිටිනු දැකිය හැකි විය. විශේෂයෙන් කුඩා දරුවෝ ඇඳුම් අතපත ගාමින් සතුට පළකළහ.
පසුගිය දිනවලදී වාර්තා වූ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයකු සමඟ මෙම පුද්ගලයන් සමඟ ආශ්‍රය කරනා බවට අපට දැනගන්නට ලැබුණි. ඒ නිසා මොවුන් රටපුරා ඇවිදීමෙන් මෙය තව තවත් ව්‍යාප්ත වන්නට යන අවදානම හේතුවෙන් මේ සියලු දෙනාම රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙනයන්නට කටයුතු කිරීම ගැන අපි සතුටුවෙනවා. මෙයින් මෙය තවත් ව්‍යාප්ත වීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියා.
යැයි කොළඹ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා මාධ්‍යයට අදහස් දැක්වීය.

තුන්සිය හැට දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට යොමුකරන ලදී.
රුඳවුම් මධ්‍යස්ථාන කරා යාමට බස්රථවලට නැගීමෙන් අනතුරුව ඇතැමුන් පසුවූයේ කුතුහලයෙනි. ආයෙත් අපිව එවනවාද සර්... යනුවෙන් කාන්තාවක් පොලිස් නිලධාරියකුගෙන් ඇසූ පැනයට නිලධාරි විසින් බයවෙන්න එපා ආයෙත් එවනවා යනුවෙනි. මෙම ඇතැම් යාචකයන් අතරේ යම් යම් ලෙඩ රෝග ඇත්නම් ඒවාට ප්‍රතිකාර දී ඒවා සුවකරලීමටද පොරොන්දු වී තිබේ. මේ අනුව මෙම යාචකයන් පසුවන්නේ දැඩි ආරක්ෂාකාරී පරිසරයකිනි.
කිසිම වැඩක් කරගන්නට බැරි වයස අය පමණක් අපි යම්කිසි ස්ථානයක රඳවා තබා ඔවුන්ට රජයෙන් අවශ්‍ය කරන දෑ ලබාදෙන්නට අපි සලස්වනවා. අනෙක් අය ඔවුන්ටත්, රටටත් ඵලදායී විදිහට යම් ක්‍රියාවකට යොදවන්නට අපි බලාපොරොත්තු වෙනවා.

යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා පැවසීය.
මේ අනුව බොහෝ විට අතීතයේදි අනුනට අත පා ජීවත්වුණ, වැරහැලි ඇඳුම් ඇඟලා ජීවිතය ගෙන ගිය බොහෝ යාචකයන්ට සුවදායී අනාගතයත් උදාවනු ඇත. ජීවිතයේ අවසන් කාලයේදී මහමඟ හිඟමනින් ජීවත් වුණ, මහමඟ තම අවසන් හුස්ම හෙලන්නට සිදුවේ යැයි සිතා ජීවත්වුණ වැඩිහිටියනට දිනක සැනසිල්ලේ දෑස් පියාගන්නට හැකිවනු ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03