නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසය මේ වන විට සමස්ත ලෝකයම ගිලගෙන අවසන්ය. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ඇරඹි එම වසංගතය ලෝකයම ගිලගනිද්දී ඇමෙරිකාව මුලින් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වූ බවක් පෙනෙන්නට තිබිණි.. එහි ප්‍රතිඵලය වූයේ වැඩිම ආසාදිතයන් පිරිසක් හා දිනකට සිදුවන වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් එරටින් වාර්තා වීමය. අප්‍රේල් 22 දිනය වන විට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 819,175ක් වූ අතර මියගිය සංඛ්‍යාව 45343ක් විය. එය එතෙක් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලියේ හා ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද ඉක්මවා යමින් තිබේ.
කොවිඩ් වසංගතය පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ඇමෙරිකානු සෞඛ්‍ය අංශවලින් ට්‍රම්ප්ට විවේචන එල්ල විය. එක්සත් ජනපදය රෝග වක්‍රයේ මුදුනට පැමිණීමට ඉඩ ඇතැයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ එවන් පසුබිමක් යටතේය. ඔහු සැම විටම ක්‍රියා කළේ වෙනත් පිරිස් දෙසට ඇඟිල්ල දිගු කිරීමට බව පෙනිණි. මුලින්ම චෝදනා කළේ චීනයටය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම චීනය දැනුම්වත්ව සිදුවූවක් නම් ඒ සඳහා ප්‍රතිවිපාක ලැබෙනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය. 1917න් පසු සිදු වූ දැවැන්තම ජීවිත හානිය සිදු වූයේ මෙම වසංගතයෙන් යැයිද ඔහු සඳහන් කළේය.
“වසංගතය ව්‍යාප්තියට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබූ නමුදු ඔවුන් එය වැළැක්වීමට පියවර නොගැනීම නිසා සමස්ත ලෝකයම දුක් විඳිනවා. අත් වැරදීමකින් සිදුවූවක් නම් සමාව දිය හැකියි . එහෙත් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා” යැයි ධවල මන්දිර සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේය. එමෙන්ම කොරෝනා වෛරස වසංගතය සම්බන්ධව විනිවිද භාවයකින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චීනයට චෝදනා කර තිබිණි.
වුහාන්හි වෛරස පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාගාරයකින් කොරෝනා වෛරසය වර්ධනය වී ඇති බවට ඉන් දින කිහිපයකට පෙර “ෆොක්ස් නිවුස්” මගින් ද ප්‍රකාශ කර තිබිණි. වෛරසය චීන විද්‍යාගාරයකින් නිර්මාණය වූවාද යන්න පිළිබඳව සොයා බැලීමට තම රජය පියවර ගන්නා බවත් ඒ සඳහා කණ්ඩායමක් චීනයට යැවීමට අදහස් කර ඇති බවත් ට්‍රම්ප් කීවේය. එමෙන්ම වෛරසයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ චීනය නිකුත් කළ සංඛ්‍යාලේඛණ නිවැරුදි නොවන බවත් නිවැරැදි තොරතුරු සැපයීම ඔවුන්ගේ යුතුකමක් බවත් ඔහු කීවේය.
චීන නිලධාරීන් පිරිසක් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් කියා සිටියේ වෛරසයේ මූලාරම්භය චීනයේ පිහිටි ඇමරිකානු කඳවුරක් බවටය. එම චෝදනාව ට්‍රම්ප් රජය ප්‍රතික්ෂේප කළේය.
ඉන්පසු ට්‍රම්ප්ගේ දෝෂාරෝපණයට ලක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එම සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ප්‍රදර්ශනය කරන බවටත්, එම වෛරසය ලොව පුරා පැතිරිම පාලනය කිරිම සඳහා සංචාරක තහනමක් පැනවිය යුතු වුවද චීනයට හිතවත් ප්රතිපත්තියක සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බැව් කියා සිටි බවටත් ඔහු චෝදනා කළේය. එමෙන්ම කොරෝනා වෛරසය පිළිබඳව මාස කිහිපයකට කලින් අනතුරැ නොඇඟවූ බවටද ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කළේය. මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව ලබා දුන් මූල්‍යාධාර කපාහරින බවටද ඔහු අනතුරු ඇඟවීය..
එහෙත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරැ ඇඟවූයේ පසුගිය ජනවාරි මස අගදීය. ඒ අනුව ජනවාරි 30 වැනි දින හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය. ඉන් මසකට පසු ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමෙරිකාව සියල්ල පාලනය කර ඇති බවයි. කොවිඩ් 19 වෛරසය පිළිබඳව ජනවාරි සහ පෙබරවාරි යන මාසවලදී ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්වත් කළද ඔහු ඒ පිළිබඳව තැකීමක් නොකළ බවට එරට මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කිරීමෙන් පසුවද ට්‍රම්ප් එය සැහැල්ලුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ විවිධ අංශවල විවේචනය ඔහු වෙත එල්ල විය.
ජනවාරි මස 31 වැනිදා අමෙරිකාව චීනයට සංචාරක තහනමක් පැනවීමට ට්‍රම්ප් කටයුතු කළේය. පෙබරවාරි මස 03දා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එවැනි සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය නොවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට හිතවත්කම් පාන බවට ට්‍රම්ප් චෝදනා කළේ ඒ අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මුදලක් ලබා දෙන්නේ අමෙරිකාවයි. එහෙත් ඔවුන් පක්ෂපාතීත්වය දක්වන්නේ චීනයටයි* ඔහු කීවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍ය දායකත්වයක් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන අයුරින් ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන වාර්ෂික දායකත්වය ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්රමාණයකි. ඒ හැර වෙනත් සහන දායකත්ව ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන 102 සිට 401 අතර ප්රමාණයකි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් කියා සිටියේ එය අනතුරුදායක ආරංචියක් ලෙසයි. ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතයට සහ වෙනත් ලෝක සෞඛ්‍ය අර්බුද සඳහා පිළියම් සොයන ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර නවතා දැමීම පිළිබඳ කරන ලද ප්‍රකාශයට ලොව කිසිදු රටකින් කිසිදු ප්‍රශංසාවක් හිමි නොවූයේ එම තීරණය ඇමෙරිකාවට පමණක් නොව ලොව අන් රටවලටද හානිදායක වන බැවිනැයි ඔහු කියා සිටියේය. විශේෂයෙන්ම දිළිඳු රටවලට මෙම තීරණය ඉතා අයහපත් ලෙස බලපාන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අඩනොම් ගෙබ්රෙයසස් කියා සිටියේ මෙම තීරණය ගැන තමන් කම්පා වන බවයි. කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔහු ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේය..
කෙසේ වුවද කොවිඩ් 19 වසංගතයෙන් එරට සෞඛ්‍යයට හා ආර්ථිකයට වන බලපෑම සමඟ තම ජාතිය සටන් වදින බැවින් එක්සත් ජනපදයට සංක්‍රමණය වීම තාවකාලිකව අත්හිටුවන විධායක නියෝගයකට පසුගිය 21 දින ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
අදෘශ්‍යමාන සතුරාගේ ප්‍රහාරය මෙන්ම අපගේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු පුරවැසියන්ගේ රුකියා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, එක්සත් ජනපදයට සංක්‍රමණය වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන විධායක නියෝගයකට අත්සන් කරමි යනුවෙන් ඔහු තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. සංක්‍රමණ අත්හිටුවීම සඳහා ඔහු භාවිත කරන යාන්ත්‍රණය කුමක්ද, එවැනි අත්හිටුවීමක් කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න හෝ එක්සත් ජනපද දේශසීමා පාලනය කෙරෙන ආකාරය හා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සතු පිරිසට මෙය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව හෝ පැහැදිලි කර නොමැත.
. කොවිඩ් 19 වෛරසය හා එහි ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වීම බොහෝ දුරට අඩපණ කර තිබේ. සරණාගතයන් නැවත පදිංචි කරවීම අත්හිටුවා ඇත. වීසා කාර්යාල වසා දමා ඇති අතර උත්සව කිසිවක් පැවැත්විය නොහැකිය. චීනයෙන් හා යුරෝපයෙන් ඇමෙරිකාවට ඇතුළුවීමටද තහංචි පනවා තිබේ.
එහෙත් එය අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති. කොරෝනා වෛරසය ඇමෙරිකාවේ ව්‍යාප්ත වීම ආරම්භ වූ සමයේ එවැනි පියවරක් ගත යුතුව තිබුණේ යැයි ඔවුන්ගේ මතය වී තිබේ. මන්ද වසංගතය ඇමෙරිකාවෙහි මුවවිටටම පැමිණ තිබියදීත් ආරක්ෂිත පියවර ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් කියා සිටියේ එය ගණනකට ගත යුතු නැති බවයි. ඇමෙරිකානු මාධ්‍ය විසින් පෙන්වා දී ඇති පරිදි 2019 නොවැම්බර් මාසයේ දීම චීනයේ වසංගතයක් පැතිර යමින් ඇති බවටත් එය ඇමෙරිකාව කරා පැමිණිය හැකි බවටත් එරට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබේ. එනමුත් ජනාධිපති ට්‍රම්ප් එම වාර්තා කෙරෙහි අවධානය යොමු කළේ නැත.
දකුණු දේශ සීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වන පරීක්ෂාවට ලක් නොවූ පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මස අගභාගයේදී කියා සිටියේ දේශ සීමාව බොහෝ දුරට මෙම ගෝලීය වසංගතය අතරතුර වසා දමන බවටය.. අත්‍යවශ්‍ය නොවන ගමන් තහනම මේ වන විට ක්‍රියාත්මක වන අතර ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය මෙක්සිකෝව සහ කැනඩාව දක්වා ව්‍යාප්ත කරන බවටය..මේ අතර ලෝක ආර්ථිකයේ කඩා වැටීම පෙන්නුම් කරමින් බොරතෙල් මිල ද දැවැන්ත ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව මේ දිනවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 20ක් වැනි අගයක පවතී.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා