පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ආන්දෝලනාත්මක තීරණ රැසක් සමඟ මෙම සතිය ගෙවී ගියේය. කොරොනා නිසා නිහඬ වී තිබූ දේශපාලන හොරනෑ නැවත හඬ නගන්නට පටන් නැගුණි. සංකීර්ණ දේශපාලන අර්බුදයක සේයා වැවෙන්නවිය. පසුගිය සඳුදා මැතිවරණය පැවැත්වීම සඳහා ජුනි 20 වැනි දා දිනය නියම කෙරිණි. එහෙත් අඟහරුවාදා පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී කොමිසම දැනට ප්‍රකාශ කර ඇති ජූනි 20 දිනය නැවත සමාලෝචනය කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව දැනුම් දුන්නේය.
ඒ අනුව මැතිවරණ පිළිබඳ වර්තමාන තත්ත්වය අවිනිශ්චිතය. මැයි 03 වැනි දාට පෙර පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු දැනට ගැසට් කර ඇති ජූනි 20 දින හෝ නව දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කළ බව ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයෝ පැවසූහ. ඒ අනුව මැයි 4 දින අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබා දීමටත් එදින පවතින තත්ත්වය සමාලෝචනය කර නව දිනයක් ප්‍රකාශ කිරීම හෝ නොකිරීම සිදුකරන බවත් කොමිසම විසින් සඳහන් කර ඇත.
මේ අතර මැතිවරණ කොමිසමේ තීරණ සම්බන්ධව මත ගැටුම් පිළිබඳව ද මෙම සතියේ වාර්තා පළවිය.
මැතිවරණ කොමිසම වෙත එහි සාමාජිකයකු වන රත්න ජීවන් හූල් මහතා සම්බන්ධව පළ වූ පුවත් නිසා මෙම තත්ත්වය ඉස්මතු විය. ඔහු විසින් පළකර ලිබූ ලිපියක ඉංග්‍රීසී මුල් පිටපත වෙබ් අඩවියක පළ කර තිබූ අතර එහි සාමාන්‍ය පරිවර්තනයෙන් කොටසක් අපි උපුටා ගතිමු.
ඡන්ද විමසීමේ දිනයක් ගැසට් කිරීම
“මීට දින දෙකකට පෙර, සභාපතිවරයා මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ, 2020.04.20 දින පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමට සහභාගී වීම තහවුරු කර ගැනීමටය. තවද, 2020.05.28 දින මහමැතිවරණය පැවැත්වීමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කිරීමටද යෝජනා කළ අතර, COVID වසංගතය අවසන් නොවන්නේ නම් අපට නැවත එය කල් දැමිය හැකි යැයිද යෝජනා කළේය. මම එකඟ නොවුණෙමි. මම මෙම සටහන කොමිසමට ලියන්නේ එසේ කිරීමෙන් ජනගහනයේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන බවට අපට සහතික වන තුරු දිනයක් නියම නොකළ යුතු යැයි තර්ක කිරීමටය"
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ මෙම මත ගැටුම් සම්බන්ධව පලකළ වාර්තාව පිළිබඳ සටහනක් තබා තිබුණි. පහත දැක්වනුයේ එයින් කොටසකි.
“සාමාජිකයන් තිදෙනාම එකම මතයක් දැරිය යුතු නම් හා තිදෙනාම සැමවිටම එකම මතයක් දරන්නේ නම් තිදෙනකුගෙන් සමන්විත කොමිසමක අවශ්‍යතාවක් නැත .එසේ අවශ්‍ය නම් කලකට පෙර ඉන්දියාවේ පැවති පරිදි ඒක පුද්ගල කොමිසමක් හෝ පැරණි ක්‍රමයේ මැතිවරණ දෙපාර්තමේන්තුව පැවතිය යුතුය . අපේ කොමිසමේ , සාකච්ඡාවලදී බොහෝවිට එකිනෙකට වෙනස් මත ඉදිරිපත්වේ . එසේවුවද ඒ කරුණු මත තීරණ ගැනීමේදී අවස්ථා ඉතා සුළු සංඛ්‍යාවකදී හැර අන් සෑමවිටම ඒකමතික තීරණවලට එළඹීමට අපි සමත්වීමු. ඒ විවිධ මත ඉදිරිපත් කළ අවස්ථාවලදී වුවද ඒ සෑම කරුණක්ම ඉදිරිපත්වන්නේ තම තමන් බලන කෝණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිමය අවශ්‍යතා අර්ථ දැක්වෙන පරිදිය. එනමුත් අවසාන අපේක්ෂාව ජනතා පරමාධිපත්‍යය සුරුකීමයි"
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ තීරණය සමඟ සියලු පක්ෂ එකඟ වන බව අඟහරුවාදා පැවති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී පෙනීගියේය.
සඳුදා ජනාධිපතිවරයා පැවැත් වූ මාධ්‍ය සාකච්ජාවේ දී පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම මුලින්ම ප්‍රතික්ෂේප කර තිබිණි. සර්වපාක්ෂික හමුවලදී දිගින් දිගටම මතුවූ මෙම ඉල්ලීමට ජනපති ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.
“මැතිවරණය දිගින් දිගටම කල්දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථා අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ හැකියාවක් අද ජනතාවට තියෙනවා."
කිසිදු හේතුවක් මත පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර තිබේ. එසේ නමුත් පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් මාස තුනක් ඉකුත් වීමට මත්තෙන් මෙම මැතිවරණය පැවත්වීම නොහැකිවුවහොත් මතුවිය හැකි තත්වය පිළිබඳ විවිධ නීති තර්ක මේවන විට මතුවෙමින් තිබේ. ආරම්භයේ දී පාර්ලිමේන්තුව විසිරවූ දිනයේ සිට මාස 03 ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියාකිරීම යෝග්‍ය බවයි. මැතිවරණ කොමිෂන් සභාව ජනපතිට ලිපියක් යොමු කළේ එබැවිණි. කෙසේ වෙතත් ජනපති එම එවන් මත විමසීමක් අනවශ්‍ය බව කොමිසමට දැනුම් දී තිබේ.
මේ අතර මැතිවරණ නොපැවැත්වීම විපක්ෂ කණඩායම්වල බලාපොරොත්තු වී ඇති බව පෙනෙන්නට තිබේ. කොරෝනා වසංගතය හමුවේ ජනතාවට සහන ලබාදීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් සහිතව මුදල් වෙන් කිරීමට කොන්දේසි විරහිතව සහාය දක්වන බව සමගි ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දා පැවසීය. ඒ අනුව අදාළ පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්ත්‍රීවරුන්ට කිසිදු වරදාන වරප්‍රසාදයක් අවශ්‍ය නොමැති බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇති ආකාරයට සමාජ දූරස්ථභාවය පවත්වාගෙන යමින් මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීම මෙන් ම ඡන්දදායකයන්ගේ සහ මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව ගැන ක්‍රියා කිරීමේදී මතු වන ප්‍රයෝගික ගැටලු විසඳා ගැනීම ප්‍රබල අභියෝගයක් වනු ඇත.
මතුව ඇති ගැටලු කිහිපයක් බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිසම ඇසුරින් පසුගිය දා පැහැදිලි කර තිබිණි. ඡන්ද මධ්‍යස්ථානයක ඉඩ සීමිත වීම ඉන් එකකි.2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව විශාල වීම සමඟ ජන්ද පොළ නියෝජිතයන් සම්බන්ධව මෙහිදී විශාල ගැටලු මතුවෙයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විශාල පිරිසක් එක්රොක් වීම තවත් ගැටලුවකි.
සමාන්‍යයෙන් එක් ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානක් තුළ ගණන් කිරීමේ ශාලා රැසක් තිබේ. ඉන් එක් ශාලාවක් තුළ (පංති කාමරයක් වැනි ස්ථානයක) ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්, ගණන් කිරීමේ නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් වැනි විශාල පිරිසක් ඉතා සමීපව කටයුතු කරති. මෙහිදී දුරස්ථභාවය භාවය පිළිබඳ විශාල ගැටලු මතුවෙයි. මේ සතියේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ විට එයට කැඳවන ලද ව්‍යවස්ථා විශාරදයකු වන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා මැතිවරණය පැවැත්වීම මැතිසබය කැඳවීම ආදි කරුණු ගැන ව්‍යවස්ථාව ඇසුරින් අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළේය.
මැතිවරණය සම්බන්ධව සලකා බැලීමේදී මීට අමතරව රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව , නිවාස ලක්ෂ 62කට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම, සෑම නිවසකට ම ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදා හැරීම, දූරස්ථභාවය පවත්වාගෙන මුද්‍රණ කටයුතු සිදු කිරීම, ඡන්ද දායකයා ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීම මැතිවරණ කොමිසම හමුවේ ඇති අභියෝගයි. කෙසේ වෙතත් මැතිවරණ පැවතීම හෝ නොපැවත්වීම හුදු දේශපාලන වාසි අවාසි මත සලකා නොබැලිය යුතු බව අවසානයේ දී පෙනීයයි. අවසාන තීරණය කුමක් වුද එය ප්‍රජාතන්ත්‍රවදය මෙන්ම මහජන ආරක්ෂාව සුරක්ෂිත වන පිළියමක් වීම අතිශය වැදගතවෙයි.
චමිඳු නිසල් ද සිල්වා