2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොවිඩ් වසංගතයෙන් පරිසරයට තාවකාලික සොමියක්

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

කොළඹ සිට කි.මී. 27ක් දුරින් පිහිටි අප ජීවත්වන දෙකටන ප්‍රදේශයේ නිවස අසල කඳුගැටයට මේ දිනවල එක් පසෙකින් සමනල කන්ද කදිමට දර්ශනය වේ. බස්නාහිර පැත්තෙන් කොළඹ නගරයේ ගොඩනැගිලි පැහැදිලිව පෙනේ. වෙනදා අහසේ පැතිරී තිබෙන දූලි වලා පහව ගොසිනි. අහස පැහැදිලිය. ඒ අතර වටපිටාවේ වෙනදා නුදුටු කුරුල්ලන් පියාසලති. හාවුන්, මීමින්නන් දුව පැන ඇවිදිති. මේ පාරිසරික විපර්යාසය ලංකාවට පමණක් නොව ලෝකයටම පසුගිය මාර්තුවල සිට උදාවී තිබෙන්නේද කොවිඩ් - 19 වසංගතය නිසාය. මුහුණු පොතේ දැකගත හැකිවූයේ රත්මලාන, බොරලැස්ගමුව, පිළියන්දල, ගාල්ල ආදී ස්ථානවලට සමනල කන්ද පැහැදිලිව දිස්වන අන්දමයි.

ලෝකයේ සෑම රටකටම නිවාඩු ලැබී ඇති සෙයකි. ජනගහනයෙන් වැඩි සංඛ්‍යාවක් ගෙවල්වල සිරවී සිටිති. මේ නිසා පරිසරයට ඔවුන් පැතිර වූ බලය ගිලිහී පරිසරයේ සැබෑ අයිතිකාරයන්ට උරැමය ලැබී තිබේ. අපි මේ නිසා වර්ග කි.මී. 65610ක් විශාල දූපතක් වන ලංකාවේ පරිසරයේ සිදුවූ වෙනස්කම් සලකා බලමු.

මධ්‍යම පරිසර අධිකාරිය අප්‍රේල් මුල් භාගයේදී සඳහන් කළේ කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇති බවය. කැලණි නදියේ ජල දූෂණය ගැන ලිපි කිහිපයක්ම ලියූ අපට එය සතුටුදායක පුවතක් විය. කඩුවෙල පාලම, කළු ඇළ පාලම ඇතුළු තවත් ස්ථාන කිහිපයකින් පරීක්ෂණය සඳහා ජල නියැදි ලබාගෙන එම පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ජලයේ බොරබව අඩුවී යහපත් තත්ත්වයක පැවතීම ජලයේ ගුණත්වයට හේතුවී ඇති බවයි. මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය පවසන්නේ මේ සඳහා ප්‍රධාන හේතුව කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම බවයි.

ඒ පිළිබඳව පරිසරවේදී නයනක රන්වැල්ල අප වෙත අදහස් දැක්වූයේ මෙලෙසිනි.
කැලණි නදිය පමණක් නොවෙයි, ලංකාවේ ගංගා සියල්ලම අඩු දූෂණයට ලක්වීම අපට නිරීක්ෂණය වුණා. ගංගාවලට කර්මාන්ත ශාලාවලින්, වාහන සෝදන ස්ථානවලින් අපජලය සහ කසළ බැහැර කිරීම අඩුවෙලා. නාගරික ඇළ මාර්ගවල පවා ජලයේ තෙල් තට්ටු නැති පැහැදිලි ජලයක් දැකගත හැකියි. ඒ වගේම රථවාහන සහ කම්හල්වලින් පිටකරන වායුව නැති නිසා වායු දූෂණයත් අවම වෙලා.

අප රටේ පොලිස් ඇඳිරි නීතිය දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක වූයේ මාර්තු 20දා සිටය. එයට පෙර සතියද අකර්මණ්‍ය සතියක් බවට පත්ව තිබුණි. ඇඳිරි නීතියත් සමඟ වාහන ගමනාගමනය අවම වී කර්මාන්තශාලා වැසී ගියේය. ඒ සමඟම කොළඹ නගරයේ පසුගිය නොවැම්බර් මාසයේ දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වූ වායු දූෂණය පහළ ගොස් ඇති බව හෙළිවිය. අප්‍රේල් මුල් සතිය වනවිට වායු ගුණාත්මක දර්ශකයේ දත්තවලට අනුව කොළඹ නගරයේ වායු ගුණත්වයේ මට්ටම 55 දක්වා ඉහළ තත්ත්වයකට පත්ව තිබේ. වායුගෝලීය දර්ශකය 60-70 අතර පැවතීම සාමාන්‍ය තත්ත්වය වන අතර එය 100ට වැඩි අගයක් ගැනීම දූෂිත තත්ත්වයකි. ජාතික ගොඩනැගිලි පර්ෙය්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරන්නේ වාහන සංචලනය අඩුවීම නිසා මේ තත්ත්වය හටගෙන ඇති බවය. මේ අනුව මාස කිහිපයකට පෙර සෞඛ්‍යයට අහිතකර විය හැකි බවට විද්‍යාඥයන් අනතුරැ ඇඟවූ කොළඹ නාගරික වායුගෝලය දැන් ඉහළ ගුණත්වයක් ප්‍රකට කිරීමෙන් පෙනෙන්නේ වාහනවලින් කොතරම් දූෂිත වායු ප්‍රමාණයක් නිකුත් කරනවාද යන්නය.

සමනළ කන්ද කොළඹට පෙනෙන අතර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරවල වැසියන්ට හිමාලය කඳුවැටිය දර්ශනය වීමෙන් ඔවුහු පුදුමයට පත්වූහ. ජීවිතයේ එවැන්නක් දුටු ප්‍රථම අවස්ථාව එය බව වැඩිදෙනෙක් පැවසූහ. මුළු ඉන්දියාවම සති කිහිපයකට වසා දැමීම නිසා නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු වායු වර්ග නැවතීම එයට හේතුවී තිබේ.

නගරවල මෙන්ම වනාන්තරවල පරිසරයටත් දැන් ඉසිඹුවක් ලැබී තිබේ. චාරිකා ගොස් වනාන්තරවල ඇවිදින පිරිස් ඇත්තේම නැත. සිටින්නේ රාජකාරි කරනා වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් පමණි. මේ පිළිබඳව පවසන පරිසරවේදී නයනක, අපේ වනාන්තරවලට, වනෝද්‍යානවලට දරාගත නොහැකි තරම් විශාල නරඹන්නන් සංඛ්‍යාවක් වාර්ෂිකව එනවා. විශාල වාහන සංඛ්‍යාවක් වනෝද්‍යාන ඇතුළේ ගමන් කරනවා. මේක ඇත්තටම සතුන්ට, පරිසරයට හිරිහැරයක්. වනසතුන්ට නිදහසේ තම චර්යාව පවත්වා ගැනීමට මේ නිසා දුෂ්කර වුණා. දැන් ඒ බාධා කිරීම් කිසිවක් නැතිව වනසතුන්ට තමන්ගෙ පාඩුවේ නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාවෙලා. ඒ වගේම තරගකාරී ජීවන රටාවෙන් මිදිලා මිනිසුන්ටත් ගෙවල්වල තම පවුලේ අය සමඟ ගත කිරීමට අවස්ථාව උදාවෙලා. ඔවුන් පළතුරු, එළවළු වගේ දේවල් සිටුවීමටත් පෙළඹිලා. ඒකත් පරිසරයට හොඳ දෙයක්.

පරිසරයට එලෙස විවේකය ලැබෙන අතරම මේ වසංගතය තමන්ට වාසියක් කර ගැනීමට දතකන නරුමයෝද අප අතර සිටිති. ඒ ගැන නයනක සඳහන් කළේ මෙලෙසයි. වනාන්තර ඇතුළත වනසතුන් දඩයම් කරන්න පසුගිය කාලේ පටන් ගත්තා. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකට හොඳින් මුහුණ දුන්නා. විල්පත්තු, යාල, කුමන වගේ වනෝද්‍යානවල උද්‍යාන පාලකවරු දඩයම නැවැත්වීමට උපරිම වශයෙන් ක්‍රියා කළ බව කිව යුතුයි. පරිසර ඉඩම් මංකොල්ලයකුත් පසුගිය කාලේ සිද්ධ වුණා. අම්පාර, ලාහුගල, පොතුවිල් වගේ ප්‍රදේශවලින් ඒවා වාර්තා වුණා. වනාන්තර ආශ්‍රිතව අත්හැර දමා තිබෙන පෞද්ගලික ඉඩම් මිනිසුන් අල්ලා ගැනීම ගැනත් අපට අසන්නට ලැබුණා. ඒ අතර නිදන් මංකොල්ලයක් ගැනත් වාර්තා වුණා. ත්‍රිකුණාමලය, අම්පාර වගේ පළාත්වල බහුලව ඒ සිද්ධි වුණු බව පෙනුණා. පුරාවිද්‍යා බලධාරීන් ඒ සඳහා මැදිහත් වන බවක් නම් නොපෙනීම කනගාටුදායකයි. මේ වගේ අවස්ථාවල අපේ උරුමයන් විනාශවීමට ඉඩහැරීම කනගාටුවක්.
අයහපත් රෝ බිය පැතිරුණු වටපිටාවක් තුළ අපි පරිසරය ගැන කතා කිරීම වැදගත් දැයි කෙනෙකුට සිතීමට පුළුවන. නමුත් මේ පරිසර සතුට යළිත් කර්මාන්තශාලා අරඹා වාහන තදබදය පටන්ගත් පසු අපෙන් දුරස් වී යනු ඇත. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ අප සමඟ පැවසුවේ මෙය තාවකාලික පාරිසරික යහපතක් පමණක් බවත් ඊට පසු එන රැල්ල පරිසරයට වැඩි විනාශයක් සිදුකරන සුනාමියක් විය හැකි බවත්ය. මේ ඔහු පැවසූ අදහස්ය.

පරිසරයේ ක්ෂුද්‍ර අංශු අඩුවෙලා. ඒ නිසයි නගරයට පවා සිරිපාදය වුණත් පැහැදිලිව පෙනෙන්නේ. ඒ වගේම මිනිසුන්ට පරිසරය දැකගැනීමට ගහකොළ දිහා බැලීමට විවේකයක් ලැබිලා. නිදහස් වටපිටාව නිසා සමහර සතුන් එළිපහළියට ඇවිදින්. පරිසරය විනාශ කළවිට සිදුවන දේ ගැන අපි අවුරුදු 50ක් තිස්සේ කියනවා. නමුත් දැන් තමයි මිනිසුන්ට කර්මාන්තවලින්, වාහන දුමෙන් වටපිටාවට වන විනාශය වැටහී තිබෙන්නේ. නමුත් ඒකට අපි දරන සමාජ ආර්ථික පිරිවැය විශාලයි. කම්හල් නැවතිලා නිසා රුකියා අහිමිවෙලා. ආර්ථිකය බිඳවැටිලා. පරිසර අධිකාරිය මේ වගේ අවස්ථාවක ජලයේ ගුණාත්මකභාවය ගැන කිව්වාට වැඩක් තිබෙනවාද? පරිසරය ආරක්ෂා කිරීමට ඕනෑතරම් නීති, ආයතන අපට තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වුණා නම් ඔය විදිහට ජලය දූෂණය වේවිද? නීති මගින් මේවා කලින්ම ක්‍රියාත්මක විය යුතුව තිබුණා. කොවිඩ් වසංගතය අවසන් වෙලා මාස දෙක තුනක් යනවිට ආයෙත් පරිසරය වැනසෙන්නේ තිබුණාටත් වඩා වේගයෙන්. වැලි ගොඩදාමින්, වනාන්තර වසනමින්, අපද්‍රව්‍ය ජලයට එක්කරමින් විශාල විනාශයක් කරාවි. රට ආර්ථික වශයෙන් බිඳවැටුණු මේ අවස්ථාවේ ප්‍රශ්න නොකර රට ගොඩගන්න ඉඩ දෙන්න කියලත් බලධාරීන් කියාවි.

ඉතින් බලධාරීන් වගේම මහජනතාවත් වටහාගත යුත්තේ මේ වසංගත පැමිණෙන්නේ සොබාදහමේ නීතියට යටත්ව බවය. සොබාදහමට වෙහෙසය. විරාමයක් අවශ්‍යව තිබේ. වසංගතයෙන් පසු දෙතුන් ගුණයක වේගයෙන් පරිසරය වැනසුවහොත් එහි විපාකය විඳීමට සිදුවන්නේද අපටමය.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03