දනට පිනට දෙන්නට, දන්සල් දෙන්නට අප තරම් ජාතියක් නැත. ලෝකේ යුද්ධයෙන් බැට කෑ රටවල් සම්ප්‍රදායක් ලෙස දේවල් නොමිලේ පරිත්‍යාග කළත් අප දුකේදී, සතුටේදී පවා දන් දෙන්නට පුරුදු වූ ජාතියකි. ඒ නිසා වෙසක්, පොසොන් පමණක් නොව ආපදාවකදී පවා කදමලු බැඳගෙන බෙදන්නේ ඒ පුරුද්ද නිසාය.
කෙසේ වෙතත් නැවතත් හැමතැනම බඩු මලු බෙදිලිය. කන්න බොන්න නැති අය වෙනුවෙන් ඇති හැකි අය බෙදාගෙන කති බොති. එක පැත්තකින් ඇඳිරි නීතියය. තවත් පැත්තකින් කොරෝනාය. මේ නිසා එදාවේල සරිකර ගත්තෝ ඉන්නේ අන්ත අසරණවය. ඒ නිසා ඒ අය වෙනුවෙන් කෑමට යමක් දීම වරදක් නැත. එය උතුම් දෙයකි. එහෙත් මේ අපේ රටේ ප්‍රශ්නයක් නොව ලෝකයේම ප්‍රශ්නයකි. ලෝකයේම වෛරසයක් වෙලාගෙන ඇත. ඒ නිසා මෙය පහුගිය සමයේ ආහාර පාන බෙදාගෙන විඳි සතුට විඳින්නට ඇති සීමාව ඉතාමත් සීමිතය. ඒ වෙන කිසි දෙයක් නිසා නොව ඉදිරියේ එන ආහාර අර්බුදය නිසාය. ඒ ආහාර නිෂ්පාදිත රටවල්ද මේ වනවිට විශාල ආර්ථික අර්බුදයකට යමින් සිටින නිසාය. ඒ නිසා ඉදිරි කාලයේ බොහොමයක් රටවල්වලට තමන්ගේ ජනතාව වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කර ගැනීමට ප්‍රමුඛත්වයදී වෙනත් මහා පරිමාණ ක්‍රියාවන් වලට යාම සීමාසහිත වනු ඇත. ඒ තුළ අප රටවල් වැනි ආනයන ආර්ථික ක්‍රමයක් තුළ ජීවත් වන රටවලට විශාල බලපෑම් එල්ලවනු ඇත. ඒ නිසා ඉදිරියේදී මුදල් නොව කන බොන දේ තරම් වටිනා දෙයක් ලොව නැතිවනු ඇත.
කෙසේ වෙතත් එවැනි විශාල අවදානමක ලෝකයම වෙලී ඇති මොහොතක අපි භාණ්ඩ නොමිලේ බෙදමින් සිටිමු. ලියුම්කරැද එවැනිම ක්‍රියාවක පසුගියදා නියැලුණේය. එහෙත් ඒ අවස්ථාවේ පැන නැගුණු ප්‍රධාන ප්‍රශ්නයක් පිළිබඳව අනාවරණය වූ නිසා එය පාඨක ඔබ බෙදාගැනීමේ සමඟ අරමුණින් මේ ලිපිය ඔබට ඉදිරිපත් කරන්නෙමි.
නොමිලේ බෙදාදීම සඳහා පසුගිය දවසක අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මලු දෙදහක් සැකසුවෙමු. ඒ සඳහා සියල්ල තිබුණත් පරිප්පු සහ සැමන් සොයාගැනීමට හැකිවූයේ නැත. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට අනිවාර්යයෙන්ම අයත් ආහාර දෙකකි. මේ නිසා රට වටේ පරිප්පු, සැමන් සොයමින් කතා කළෙමු. ඒ පරිප්පු කිලෝ 1000කුත් සැමන් ටින් 2000කුත් සොයා ගැනීම සඳහාය. ඇතැම් අය ළඟ පරිප්පු එතරම් තිබුණේ නැත. පරිප්පු කිලෝ 100ක් තිබූ අයත් පැවසුවේ 65 නොව 120 පරිප්පු ලබාදිය හැකි බවය. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ වසා දමා ඇති කඩවල පරිප්පු ඇති බවය. එහෙත් ප්‍රශ්නය එතන නොවේ. මේ අප සිදුකරන ක්‍රියාවෙන් කෝටි ගණන් පිං ලැබුණත් බිලියන ගණන් පව්ද එක් පැත්තකින් කඳු ගැසෙන නිසාය. එය උදාහරණයක් හරහාම ඔබට මෙසේ දන්වන්නේ එය පැහැදිලි කර ගැනීම සඳහාය.
යම් තොග වෙළෙන්දකු සන්තකයේ පරිප්පු කිලෝ 500කුත් සැමන් ටින් 1000කුත් ඇති යයි සිතමු. ඔහු සිටින්නේ කුඩා නගරයකය. ඔහු යටතේ ගම්මාන දහයක සිල්ලර කඩ 10ක් යැපෙනු ඇතැයි සිතන්න. ඒ සිල්ලර කඩ එකකින් පවුල් සීය බැගින් පවුල් 1000ක් නඩත්තු වනවා යැයි අනුමාන කරගන්න. අපි දුප්පත් ජනතාවට මලු සැකසීම සඳහා මේ ව්‍යාපාරිකයාට කතාකොට ඉහත කී පරිප්පු කිලෝ 500ත්, සැමන් ටින් 1000ත් ඉල්ලන්නෙමු. රජයේ පාලන මිල පරිප්පු කිලෝවකට රු 65කි. සැමන් ටින් එකක් 100කි. එහෙත් මෙකී වෙළෙඳුන් අපට පවසන්නේ පරිප්පු හිඟය නිසා පරිප්පු කිලෝව 100ටත් සැමන් ටින් එකක් 150කටත් ලබාදෙන බවය. පරිප්පු හිඟය. සැමන් දුර්ලභය. මුදල් ඇති පදමටය. ඒ නිසා කිසිදු සොයා බැලීමකින් තොරව එය අප විසින් ඒවා මිලදී ගනු ඇත. ඉන්පසුව වෙළෙන්දාට විශාල ලාබයකි, අපට අපේ අරමුණ කර ගැනීම නිසා විශාල පිනකි.
මේ සියල්ල ඇඳිරි නීතිය තුළ සිදුවන අතර ඊට පසු දින කීපයකට පසුව ඉහත කී තොග කඩය අයත් ප්‍රදේශයේ ඇඳිරි නීතිය ඉවත් කරනු ඇත. ගමේ අයට අඩුවට කන්න පුළුවන් ආණ්ඩුවේ සහන කෑම දෙක වන සැමනුත් පරිප්පුත් මිලදී ගැනීම සඳහා ඉහත කී සිල්ලර කඩයේ අය තොග කඩයට පැමිණෙනු ඇත. එහෙත් එහි පරිප්පුත් නැත. සැමනුත් නැත. ඉතාම අසීරුවෙන් ජීවත්වන අයට මෙය මරැ පහරකි. ඔවුන්ට ලාබෙට ගත හැකි එකම ආහාරයද ඔවුන්ට අහිමිවනවා නම් ඔවුන් සමස්ත රට කෙරෙහිම වෛරයෙන් බලනු ඇත. එහෙත් අප පිනත් කරගෙන, අපේ මිම්මේ සිටින දුප්පතුන්ගේ බඩත් පුරවා ඇත. එය අපට මහා සතුටකි. එහෙත් යථාර්ථය ඛේදවාචයකි.
ඒ නිසා නොමිලේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදීම මේ මොහොතේ අප විසින් නොව රජය ඊට මැදිහත් විය යුතුය. දුප්පතා, අහිංසකයා, දුර්වලයා වෙනුවෙන් දෙයක් ලැබෙනවා නම් එය සමසේ මේ අවස්ථාවේ ලැබිය යුතුය. ධනවතාට සල්ලි ඇති ආකාරයට වටෙන්ම භාණ්ඩ වැඩි මිලට ගෙන මලු ගසා දුප්පතුන්ට බෙදාදීමෙන් රටෙ සියලු දෙනාගේ කුසගින්න නිවෙන්නේ නැත. නියත වශයෙන්ම එක් පිරිසක් පමණක් එම ක්‍රියාව හේතුවෙන් නිවී සැනසෙනු ඇත. ඒ නිසා මෙවැනි මොහොතක එක් පැත්තකින් මලු බෙදීම නොමිලේ හෝ මුදලට තීරණය කළ යුත්තේ රටේ ප්‍රජාව නොව රජයෙනි. එනම් ඔවුන් සතු සංඛ්‍යාලේඛන අනුව එය විධිමත්ව කළ යුතුය. එසේ නොවුණහොත් පිරිසක් බඩගින්නේය. එපමණක් නොව අනාගතයේදී ඔය භාණ්ඩ බෙදන පිරිස්ද අසරණ වනු ඇත. ඒ නිසා රජය කඩිනමින් මැදිහත් වී අත්‍යවශ්‍ය භාණ්ඩය සුරුකීමටත්, කළමනාකරණයත් සිදුකළ යුතුව ඇත.
එපමණක් නොව මේ හරහා වෛරසයද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත. යම් හෙයකින් බෙදන කණ්ඩායමේ අයකුට වෛරසය ආසාදනය වී තිබුණහොත් ඒ කණ්ඩායම පමණක් නොව ඔහුගේ අතින් භාණ්ඩ මලු ලබා ගන්නා පුද්ගලයන්ටද රෝගය බෝවීමේ අවදානමක් ඇත. නැතහොත් එසේ බෙදන නිවසක එක් වෛරසක් රෝගියෙක් සිටියහොත් භාණ්ඩ බෙදාහල පුද්ගලයාත්, ඔහුගේ නිවැසියනුත් අමාරැවේ වැටීම නවතන්නට හැකියාවක් නැත. ඒ නිසා වෙනදා මෙන් නොව වර්තමානයේ භාණ්ඩ බෙදීම එක් පැත්තකින් සෞඛ්‍ය අවදානමකි. තවත් පැත්තකින් ආර්ථිකමය වශයෙන් අවදානමකට තල්ලුවනු ඇත. ඒ නිසා නියත වශයෙන්ම මේ සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම අත්‍යවශ්‍යම මොහොතකි.
කෙසේ වෙතත් මේ කියන්නේ දන්දීම වරදක් යැයි කියා නොවේය. ආහාර අර්බුදය හමුවේ ආහාර කළමනාකරණයත්, සෞඛ්‍ය අර්බුදය හමුව සෞඛ්‍ය අර්බුදය කළමනාකරණයත් නොවුණහොත් අමාරුවේ වැටෙනු ඇත. ඒ නිසා දැන් අවශ්‍ය රජයේ නිවැරදි මාර්ග උපදේශයත් මෙහෙයවීමත්ය. එසේ නොවෙන තෙක් මේ අර්බුද සියල්ලට මීට වඩා තුන්ගුණයකින් මුහුණ දෙන්නට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා දන් දීමට මෙය අවස්ථාව නොවේ. රට කෙලින් සිටගත් අවස්ථාව ඒ සඳහා වඩාත් සුදුසු වනු ඇත. එසේ නොවුණහොත් ඔබත් කඩාවැටුණු පසු අනාගතයේ දරු පවුලක් රැකගැනීමට හෝ කිසිවකු සොයාගැනීමට නොහැකි වනු ඇත.
ගයාන් ගාල්ලගේ