2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

නිහඬ කොළඹ කියුම් කෙරුම්

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 62

කොරෝනා වෛරසය මුළු රටටම ව්‍යාප්ත වීමත් සමඟම කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය ඉහළ අවදානම් සහිත කලාපයක් ලෙසින් නම්කරනු ලැබීය. ඒ නිසාම මේ වනවිටත් දින නියමයකින් තොරව එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවා තිබේ. ගම්මාන ගණනක් වසා දමා ඇත. අතිශය කලබලකාරී කොළඹ නගරය නිහඬ වී ඇති මොහොතක එහි සිදුවන්නේ කුමක්දැයි සොයා බලන්නට අපි පාරට බැස්සෙමු.

වෙනදාට කොළඹ නගරයේ එහා මෙහා දිවෙන වාහන, අද දක්නට නොලැබේ. කොළඹ නගරයේ මේ වනවිටත් ධාවනය වන්නේ අවසර ලත් රථවාහන සහ හමුදා සහ පොලිස් රථවාහන පමණි. ධාවනය වන මේ සියලුම රථවාහන කොළඹ මාර්ග බාධකවල රාජකාරියේ නිරතව සිටිනා පොලීසිය හා හමුදා නිලධාරීන් විසින් පරීක්ෂා කරනු දක්නට ලැබුණි. මේ අතර ත්‍රිරෝද රථවලින් මෙන්ම මෝටර් බයිසිකල්වලින් කොළඹ නගරයේ සිට ඇතැම් අතුරැ මාර්ග ඔස්සේ එළවළු සහ පළතුරැ ප්‍රවාහනය කරන පුද්ගලයින් දැකගත හැකි විය.

ගාලු මුවදොර පිටිය සමීපයේ පිහිටා ඇති සුපිරි හෝටල් තුලින්ද දක්නට ලැබෙන්නේ පාළු දසුනකි. වෙනදාට ගාලු මුවදොර පිටියේ සෙල්ලම් කරනා දරැවන් නැත. විඩාව සංසිඳවා ගන්නට, පැමිණෙන අමුත්තෝ නැත. වෙළඳාම් කරනා පිරිස නැත. ඒ වෙනුවට ඇත්තේ පාළුවට ගිය, ගාලු මුවදොර පිටියයි. ඒ අසල ඇති පොලිස් මාර්ග බාධක හමුවේ කොළඹට ධාවනය වන රථවාහන සියල්ලම දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

වෙනදාට කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණය උදෑසන කාලයේදී එකම ගාලගෝට්ටියකි. එහා මෙහා දිවෙනා නාට්ටාමිවරැන්ගේ ඇඟේ නොහැපී බේරී යාම අසීරුය. පදික වේදිකාවේ වෙළඳාම් කරනා වෙළඳුන්ගේ වෙළඳාම් රටාවන් විවිධාකාරය. ඒ සියල්ල අද කොළඹ නගරයෙන් දක්නට නැත. මැනිං වෙළඳ සංකීර්ණයේ තොග වෙළෙන්දෝ තම එළවළු වෙළඳාම් කරගන්නට වෙහෙසෙති. මේ අතර ඇතැම්හු සිල්ලර වෙළඳාමට කේවල් කරති. ඒ සියල්ලටම ඕනෑ වන්නේ ඉතා ඉක්මනින් තම වෙළඳාම් කටයුතු අවසන් කොට තම නිවෙස් කරා යාමටය.

කොටුව දුම්රියපොළ අසල පිහිටා ඇති රාජ්‍ය ඔසුසල විවෘතව තිබූ අතර අත්‍යවශ්‍ය රාජකාරිවල නිරතව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් පිරිසක් මෙම ඔසුසල වෙතින් තම ඖෂධ ලබාගන්නා අන්දම අපිට දක්නට ලැබුණි.

වෙනදාට කොටුව දුම්රියපළ ඉදිරිපිට, කොළඹ නගරයේ සිඟමන් යදිමින් සිටිනා යාචක බොහෝ පිරිසකට අද ජීවත්වන්නට, අතපාන්නට කොළඹට පිරිස් එන්නේ නැත. මේ නිසාම බොහෝ යාචකයින් කොළඹ නගරයේ තැන්තැන්වලට වී කාගෙන් හෝ බත්පතක් ලැබෙන තුරා බලාගෙන සිටිති. එමෙන්ම වෙනදාට නගරයට එන පිරිමින් වෙත බැල්ම හෙලමින් තම ඇඟ විකුණා මුදල් හොයන පුරඟනන්ද කොළඹ නගරය අතහැර ගොසිනි.

කොළඹ පිහිටා ඇති පොලිස් ස්ථාන කිහිපයකදීම අපිට දැනගැනීමට හැකිවූයේ තම ගමනාගමන අවශ්‍යතා වෙනුවෙන් අවසර ලබාගන්නට පැමිණි පිරිස්ය.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී රෝගීන් කිහිප දෙනෙකුම මුඛ ආවරණය පැළඳ තම ඖෂධ කෙසේ හෝ ලැබෙනා තුරු දෑස් දල්වා බලා සිටිති. ඒ අසරණ මුහුණුවල ඇත්තේ අවිනිශ්චිත පෙනුමකි. වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් මෙන්ම රෝහල් සේවක කණ්ඩායම පවා මේ යුහුසුළුව කටයුතු කරන්නේ කෙසේ හෝ මේ කොරෝනා වෛරසයෙන් මේ රට මුදවා ගන්නටය.

රටේ අග නගරයේ පාළුවට ගිය ඇතැම් අතුරැ මාර්ගවල අදටත් කිහිප දෙනෙකු එකතු වී ආගිය තොරතුරැ කතාකරනා හැටිද, දක්නට ලැබුණි. ඔවුන්ට වගේ වගත් නැත. ඇතැමුන් අසල කුඩා දරැවන්ය. මීටරයක දුරක් නැත. නමුත් ඔවුන් සියල්ල හිඳ කතාබහ කරති.

සියල්ල තවමත් එසේමය. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. නමුත් ඇතැමුන්ට ඒ ඇඳිරි නීතිය පිළිබඳ ගානක් නැත. ඔවුන් තම ජීවිත පමණක් නොව රටම අවදානමකට ලක්කරති. බොහෝ පිරිසක් නිවෙස්වලටම වී රජය විසින් ලබාදී ඇති නීති මාලාවට අනුව ක්‍රියාත්මක වෙද්දී ඇතැමුන් අශිෂ්ට ලෙස රට තුළ මේ වෛරසය පතුරවන්නට උත්සුක වෙති. කෙසේ වුවත් පාළුවට ගිය කොළඹ නගරයේ ඒ පාළුව හා හුදෙකලාව ඉතා ඉක්මනින්ම තුරන් වෙනතුරු සියලු දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටිති.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03