2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

මැති ඇමැතිවරු ආසාදිතයෝ වගේ ඉඳලා හරියන්නේ නෑ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 43

- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වෙති. හෙද අයිතිවාසිකම් දිනාගැනීමට වෘත්තීය සටන් ව්‍යාපාරයේ නිරත වූ උන්වහන්සේ වර්තමාන ආණ්ඩුව පත්කර ගැනීමටද විශාල සහයෝගයක් දැක්වූ හිමිනමකි. පසුගියදා උන්වහන්සේ වර්තමාන ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමැතිවරුන්ට දෝෂාරෝපණයක් එල්ල කළහ. මේ ආනන්ද හිමියෝ රටට විශාල උවදුරක්ව පවතින කොවිඩ් - 19 වසංගතය පිළිබඳව දැක්වූ අදහස්ය. 

ඔබ වහන්සේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනවා. සමාජ සේවයේද නමක් දිනා සිටිනවා. අද ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටත් අත්වී තිබෙන ඉරණම ඔබවහන්සේ දකින්නේ කෙසේද? 

අද ලෝකයම අසරණ වෙලා. මට අමෙරිකාවේ ඉන්න අයත් කෝල් කරලා අසරණකම ගැන කියනවා. එහේ කරගන්න දෙයක් නැතිවෙලා. දහස් ගණනින් මියයනවා. ඔන්න ලෝකෙ බලවත් ජාතීන්ට අත්වූ ඉරණම. නමුත් අපේ රටට තවම එවැනි තත්ත්වයක් නෑ. දළදා හාමුදරැවන්ගේ පිහිටෙන් තවම අපේ විශාල රෝගීන් සංඛ්‍යාවක් නෑ.

මේ වගේ තීරණාත්මක අවස්ථාවක ඇඳිරි නීතිය ඉවත් කළ වහාම මිනිස්සු රංචු ගැහෙනවා නේද?

ඒක තමයි කියෙන්නේ, කොච්චර නීති දැම්මත් අපේ මිනිස්සු නීතිගරුක නෑ. ඉන්දියාවෙ පොලීසිය මිනිස්සුන්ට ගහන හැටි පේනවා නේද? මිනිස්සු සැතපුම් සියගණන් පයින් යනවා නේද? නමුත් අපේ ආරක්ෂක අංශ එහෙම වැඩ කරන්නේ නෑ. ඔවුන් ජනතාව මර්දනය කරන්නේ නෑ. එහෙම හිටියදීත් අපේ සමහරු ඇඳිරි නීතිය තකන්නේ නැතිව ඇවිදීම කනගාටුදායකයි. නීතිය දාලා තිබෙන්නේ ජනතාවගේම හොඳටයි. ඒවා කඩාගෙන යාම හොඳ නෑ. බුදුන්වහන්සේ පවා කියලා තියෙන්නේ රාජ නීතියට ගරැ කරන්න කියලා. අපේ මිනිසුන්ගේ හැදියාවක් නෑ. ඒකයි හේතුව.

ඔබවහන්සේ මේ වසංගතයෙන් රට මුදවා ගැනීමට මොනවගේ සහයෝගයක්ද ලබාදෙන්නේ?

සංඝරත්නය වශයෙන් අපි බුද්ධ ධර්මය යොද ගන්නවා. මේ දිනවල විහාරස්ථානයේ රතන සූත්‍රය දේශනා කරනවා. දායකයෝ විශාල වශයෙන් ගෙන්වා ගන්නෙ නෑ. ඒ වගේම නැතිබැරි අයට ආහාර ද්‍රව්‍ය බෙදාදීම් කරනවා. සහන මලු ලබාගැනීමට කඩාබිඳගෙන සෙනඟ එනවා. එතැනදීත් විනයක් නෑ. අවදානම ගැන මිනිසුන්ට අමතකයි. පොලිසිය දාලා තමයි මිනිස්සු පාලනය කරන්න වෙලා තියෙන්නේ. අපි මේ ඔක්කොම කරන්නේ සිදුව තිබෙන විපතින් රට බේරාගැනීමටයි. එ නිසාම අපි රටේ බොහෝ නගරවලට පිරිත් පැන් ඉසීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනවා. 

ඔබවහන්සේ අපේ සෞඛ්‍ය සේවාව දකින්නේ කෙසේද?

අපේ රෝහල් ඉතා හොඳ මට්ටමක තිබෙනවා. කොරෝනා මර්දනයට අපි යොදාගන්නා ක්‍රියාමාර්ග ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රසංශා කරනවා. අද ඒ පිළිවෙත් ලෝකයේ අනෙක් රටවලට පවා ආදර්ශයක් වෙලා. වෛද්‍යවරු, හෙද හෙදියෝ, රෝහලේ සේවකයෝ හැමෝම නිවාඩු පවා නැතිව වැඩකරනවා. ඔවුන් විශාල අවදානමක් රුගෙන තමයි මේ ජනතා සේවය කරන්නේ. ඒක සාමාන්‍ය ජනතාවත් දැනගත යුතුයි. ඒ විදිහට ජනතාවත් නිවෙස්වලටම වෙලා කැපකිරීමක් කළ යුතුයි. මේක අපි හැමෝම කැපකිරීමෙන් වළක්වාගත යුතු උවදුරක්. පරක්කු වුණොත් අනෙක් රටවලට වගේ අපටත් අත්වෙන ප්‍රතිඵලය භයානකයි. 

ඔබවහන්සේ දකින විදිහට මේ වසංගතය වළක්වාගැනීමට අප කළ යුතු වන්නේ කුමක්ද?

අපි බෞද්ධ රටක ඉන්නේ. දළදා හාමුදුරැවන්ගේ පිහිට අපට තිබෙනවා. අපේ ආගමික හැදියාව මතුවිය යුත්තේ මෙවැනි අවස්ථාවකයි. කටත් මෛත්‍රිය පතුරැවන බුදුදහමේ හැදියාව හා පරිසර හැදියාව එකට එකතු කරගෙන ඉදිරියට ගියොත් අපට කොරෝනා වසංගතය ඉක්මනින් පරාජය කිරීමට පුලුවන්. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වොත්?

ඔවුනුත් උපරිමයෙන් කැපවෙනවා. ඒ වගේම ගැටලුත් තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ඇද ගැනීම වැරදියි. ඒ නිසා අපි සියලු වාදභේද දුරලා කොවිඩ් වසංගතය දුරලීමට එක්විය යුතුයි. 

අපේ දේශපාලනඥයන් අතරින් බහුතරයක් වෙනදා මාධ්‍යවල මුණු පෙන්වනවා. නමුත් දැන් ඔවුන් දැකගන්නවත් නෑනේ?

ඔව්, ඒක ඇත්ත මේ තත්ත්වය පාලනය කිරීමට බලධාරින් මීට වඩා මැදිහත් විය යුතුයි. මේ වෙලාවේ මැති ඇමැතිවරු කොරෝනාවලට බියෙන් තම තමන්ගේ නිවෙස්වලට වෙලා ආරක්ෂාවෙලා වැඩක් නෑ. ජනාධිපතිවරයා කොතෙක් කැපවුණත් ඔහුගේ ඇමැතිවරැන්, අනුගාමිකයන් නිවෙස්වල ආසාදිතයන් වගේ කල් ගතකිරීම තමයි අපට පේන්නේ. මාධ්‍ය සංදර්ශනවලින් පමණක් කොරෝනා මර්දනය කරන්න බෑ. 

මේ ගැන ඔබවහන්සේ ජනාධිපතිවරයාට පැවසුවාද?

ඔව්. මම ජනාධිපතුමාට කිව්වා එතුමා පිරිවරාගෙන සිටි කේවට්ටයෝ, කේලාම්කාරයෝ දැනුවත් කරලා ඔවුන්ගෙන් වැඩක්ගන්න කියලා. නැත්නම් ඊළඟ ඡන්දෙදි ඔවුන්ට ඒකෙ ප්‍රතිඵල ලැබේවී. අනිත් එක බලධාරින් වඩාත් අවදිව සිටිය යුතු වන්නේ රටට අවදානමක් පැමිණි මේ වගේ වෙලාවකයි. කියවන්නේ නැතුව ඉදිරියට ඇවිත් ක්‍රියාත්මක විය යුතු කාලයක් මේක. ඒකට මැති ඇමැතිවරැ ක්‍රියාශීලිව මැදිහත් විය යුතුයි. එහෙම නැතිව රෑපවාහිනී කැමරාවලට විතරක් මූණ පෙන්නලා වැඩක් නෑ. හැම කෙනාගේම සහයෝගය අරගෙන ධර්මපාලතුමාගේ චින්තනය අනුව තද පියවර ගත යුතුයි.

මමත් අපේ ජාතිය ගොඩනැගීමට වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. වෛද්‍ය පර් යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තමයි එකේ ලේකම් විදිහට පත්ව සිටින්නේ.

 කුසුම්සිරි
සේයාරුව I සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03