2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කොරෝනා අස්සේ මහ මුහුදේදී කොටු කරගත් ලංකාවේ ලොකුම කුඩු තොගය

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 48

ලෝක වසංගතයක් වූ කොරෝනා අර්බුදය හමුවේ කළුකඩ මුදලාලිලාගේ පටන් සියලු ජවාරම්කරුවන් මාන බලන්නට ඇත්තේ රිසිසේ සිය මඩිය තරකර ගන්නටය. මාරක වසංගතයට ලෝකයේම අවධානය යොමුව තිබියදී මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් තම ජවාරම් කරගන්නටත් මාන බලන්නට ඇත. ඒ කතාව හරියට ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජමඟුල් වැනිය.

ලෝකයේම අවධානය කොරෝනා පැහැරගෙන  තිබුණද රට වටා ආරක්ෂාව නිසි ලෙස තර කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණේ සිටියේය. නිසි වගකීම අත් නොහළ නාවික සෙබළු ගොඩබිම මෙන්ම මුහුදද ආරක්ෂා කරමින් සිටියහ. ඒ අතර නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමුකරමින් තිබිණි.

ලැබුණු නාවික බුද්ධි තොරතුරු මත නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් මෙරට දකුණු මුහුදේ සමකයට ආසන්නයේ ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියේය. ඒ දින 08ක පමණ සිටය. එසේ රුඳී සිට මෙරට ඉතිහාසයේ සිදුකළ විශාලතම මත්කුඩු වැටලීම සිදුකරන්නට නාවික හමුදාව පසුගියදා සමත්ව තිබිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා දකුණු ලක වෙරළේ සිට නාවික සැතපුම් 463ක් හෙවත් දළ වශයෙන් කිලෝමීටර් 835ක් පමණ දුරක සිට මෙහෙයුම සිදුකරන්නට පියවර ගනු ලැබීය.

ලැබුණු  බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වූ නාවික සෙබළුන් පසුගිය 20 වැනිදා අදාළ මෙහෙයුමට පිටත්ව තිබිණ. ඒ අනුව සිදුකළ ආවේක්ෂණ රාජකාරියේදී සැකසහිත විදෙස් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර තිබුණේ ඉකුත් 28 වැනිදාය. සෙනසුරාදා දිනයක් වූ එදින නිරීක්‍ෂණය කළ විදේශීය යාත්‍රාව කිසිදු රාජ්‍යක ධජයක් හෝ රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී එදින උදෑසන 9:30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා සයුර නෞකාව මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට සැකකරමින් අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රාව වැඩිදුර පරීක්ෂාවේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605ක ප්‍රමාණයක්ද, මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබූ කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක්ද සොයාගැනීම සමත්ව තිබිණි. ඊට අමතරව බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත්පෙති ග්‍රෑම් 100ක් පමණ වන ප්‍රමාණයක් සොයාගෙන තිබිණ. අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) තොගයේ පමණක් වටිනාකම රුපියල් කෝටි 605ක් බවට ගණන් බලා ඇති අතර යාත්‍රාවේ සිටි පකිස්තානු ජාතික සැකකරැවන් 09ක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. මෙතෙක් මෙරට මුහුදු සීමාවේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය වන අතර වටිනාකම රුපියල් කෝටි 1500 ඉක්මවයි.

මේ සමග ඉරාන ට්‍රොලර් යාත්‍රා දෙකක් ඇතුළු යාත්‍රා 4ක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාව හා සැකකරුවන් පිරිස ඉකුත් පළවැනිදා දික්ඕවිට වරාය පරිශ්‍රයට රුගෙන එනු ලැබීය.

 මෙම වර්ෂයේ ගතවූ  මාස 03 තුළ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් 03 වැනි විදේශීය යාත්‍රාව මෙය වේ. මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවත් එහිදී විදේශිකයන් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 06 ක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. එසේම 2019 වර්ශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 762 ක්, අයිස් (Methamphetamine) කිලෝග්‍රෑම් 03ක් අත්අඩංගුවට ගත් අතර, මෙම වර්ෂයේදී මේ දක්වා මාස 03 ක කාලය තුළදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2339ක්, අයිස් කිලෝග්‍රෑම් 739ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 438 ක් සහ කෙටමින් (ketamine) කිලෝග්‍රෑම් 579 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවද ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

ඉරානයේ සිට යාත්‍රා කළ නෞකාව ජාත්‍යන්තර මුහුදු  සීමාවේදී මෙරටට මත්කුඩු තොගයක් ලබාදී තවත් රටවල් දෙකක් වෙත මත්ද්‍රව්‍ය ලබාදීමට සූදානමින් සිට ඇති බවද පරීක්ෂණවලදී හෙළිදරව්ව තිබේ.

දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ මොහොතේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටියහ. එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද සහභාගී විය.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, පකිස්ථානු ජාතික සැකකරුවන් 09 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදුකිරීමට නියමිතව ඇත. මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත. මේ අතර විශේෂයෙන් දේශීය ධීවර ප්‍රජාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුනොවී තම කර්මාන්තය සිදුකළ යුතු බවට නාවික හමුදාධිපතිවරයා විසින් අවධාරණය කරයි.

කතාව: සමන්ත  ප්‍රදීප් විල්තෙර

සේයාරූ: ශ්‍රී ලංකා නාවික හමුදාව

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03