මිනිසුන්ගේ හැසිරීම් විවිධය. විෂමය. කෙනෙකු සන්සුන් මනසකින් යුතුව ගැටලුවලට මුහුණ දෙන අතර තව කෙනෙක් ප්‍රකෝපකාරී ලෙස ඊට උත්තර බඳියි. තවත් කෙනෙක් ගැටලුව හමුවේ ඛෙහෙවින් ආත්මාර්ථකාමී වෙයි. බරපතළ අර්බුද හමුවේදී මිනිසාගේ ව්‍යාකූල හැසිරීම දැකගත හැකිය.
වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනකු පීඩා විඳින විට කෙනෙකු ඔවුන්ගෙන් ගසා කෑ අතර එහි තවත් කෙනෙක් අනෙකා වෙනුවෙන් පිහිටට පැමිණියේය. කොරෝනා වසංගතය හමුවේ අපට මේ සියල්ල දැකගත හැකිය.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරීක්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍යම සෞඛ්‍ය සත්කාර සිදුකළ හැකි ස්වංක්‍රීය නියමු රොබෝ යන්ත්‍රයක් පිළිබඳ තතු පසුගියදා වාර්තා වූයේ හෝමාගම මූලික රෝහලෙනි. පෞද්ගලික ආයතනයක් වන ඇට්ලස් ඇක්සිලියා සමාගම එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර ඇත. මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිපදවූ පළමු අවස්ථාව මෙය වන අතර මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වීමද විශේෂත්වයකි.
මෙම යන්ත්‍රය නිෂ්පාදනය කළ කණ්ඩායම හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම රොබෝ යන්ත්‍රය හැසිරවීම සදහා කටයුතු කරනු ලබන අතර මේ වනවිටද එය හෝමාගම මූලික රෝහල තුළ අත්හදා බලා තිබේ. දේශයේ අප කළ විමසීමකදී හෝමාගම මූලික රෝහලෙහි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන හෙද සේවකයකු පවසා සිටියේ රෝගීන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් විසින් භාවිත කරන ආරක්ෂක මෙවලම් කට්ටලය පැළඳ සිටීම අපහසු වන බවත්, මෙම රොබෝ යන්ත්‍රය මගින් රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ඇතුළු කළමනා ලබාදීම මගින් එය ඉතා පහසු කාර්යයක් වී ඇති බවත්ය.
ඇට්ලස් සිසිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසිත සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ පසුගියදා මාධ්‍යයට මෙලෙසින් අදහස් දැක්විය.
කොවිඩ් 19 වැනි වසංගත තත්වයක් තුළ සෞඛ්‍ය අංශ මුහුණදෙන අභියෝගවලට විසඳුමක් ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වෙනවා. මේ වසංගතයට එරෙහිව දියත්කර ඇති ජාතික මෙහෙවරට දායකත්වය ලබාදීම සඳහා මෙම යන්ත්‍රය අපි හෝමාගම රෝහලට පරිත්‍යාග කරනවා.
හෝමාගම රෝහලට ලබාදුන් මෙම රොබෝ යන්ත්‍රය රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, රෝගීන්ට ආහාර සහ ඖෂධ රුගෙන යාමේ හැකියාවෙන්ද යුක්තය. මෙම යන්ත්‍රයේ සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමඟ කථාබහ කරමින් රෝගියා පරීක්ෂා කිරීමේ කටයුතුද කළ හැකිය. රුහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ක්‍රියාකරන මෙම යන්ත්‍රය රෝගීන් පරීක්ෂා කිරීම ස්වයංක්‍රීයකරණය කර ඇති බැවින් සෞඛ්‍ය සේවකයන්ට තමන්ගේ ආරක්ෂාව මෙන්ම රෝගීන්ගේ අවශ්‍යතා ගැනද සොයා බැලීමට හැකිය.
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පාලක ජනිත් හෙට්ටිආරච්චි මහතා මෙම රොබෝ යන්ත්‍රය පිළිබඳ මෙලෙසින් අදහස් පළ කළෝය.
කොවිඩ් 19 රෝගය මෙරට තුළ ව්‍යාප්ත වෙමින් යන මොහොතක රට වෙනුවෙන් කළ මෙම සේවය සඳහා මුලින්ම ඇට්ලස් සිසිලියා සමාගමට ස්තුතිය පුදකර සිටිනවා. මේ වගේ වෙලාවක වැදගත්ම දෙය වන්නේ අපේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය රැක ගැනීම. මොකද යම් හෙයකින් එක් සේවකයකුට රෝගය වැළඳුණහොත් මුළු කාර්යය මණ්ඩලයටම ස්‍වයං නිරෝධායනය වීමට සිදුවෙනවා. එහෙම වුණොත් මෙම කාර්යය අඩපණ වෙනවා. හෙද නිලධාරීන්ගේ කාර්යයන් ඉටු කිරීමට රොබෝ යන්ත්‍රයක් යොදා ගැනීම නිසා වාට්ටු තුළ වෛරසය ව්‍යාප්තවීම සැලකිය යුතු මට්ටමකින් අවම කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් පැළඳිය යුතු ආරක්ෂක මෙවලම් කට්ටල මිලෙන් අධික නිසා රජයට දැරීමට සිදුවන පිරිවැයත් මේ නිසා අවම කරගත හැකියි.
මේ අතර මේ වනවිට කෙමෙන් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය සේවාවට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය කිරීම සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක් වන රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් ඉදිරිපත් වී තිබේ. එහි මූලික අධීක්ෂණ කටයුතු රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා විසින් සිදුකරනු ලබන අතර එහි මූලික අදියර මේ වනවිටත් ආරම්භ කර ඇත.
නව තාක්ෂණය යටතේ නිෂ්පාදනය කරන මෙම දැඩිසත්කාර ඇඳන් ඉදිරියේදී දිවයින පුරා රෝහල් වෙත ලබාදීමටද සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය භාර මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා අදාළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය ගැන මෙලෙසින් සිය අදහස් පළ කළේය.
දැඩි සත්කාර ඒකක සඳහා සාමාන්‍ය ඇඳක් පිටරටවලින් ගේන්න ලක්ෂ එකහමාරක් දෙකක් විතර යනවා. මේ වගේ කාලයක අපට දැඩි සත්කාර ඇඳන් අපේ රටේ නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකකවල තිබෙන ඇඳන්වලට වඩා ප්‍රමිතියෙන් ඉහළ ඇඳන් මේ ආයතනය මගින් නිපදවන බව දැනටමත් පෙනී ගොස් තිබෙනවා. මොවුන් ඉතා ඉහළ ඉංජිනේරු තාක්ෂණය යටතේ මෙම ඇඳන් නිෂ්පාදනය කරනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි මෙය අධීක්ෂණය කිරීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. කල්තියාම මෙම ව්‍යාපෘතිය පටන් ගැනීම නිසා ඉදිරියේදී දැඩි සත්කාර සඳහා ඇඳන් හිඟයක් ඇති නෙවෙයි කියලා විශ්වාස කරනවා.
මේ අතර කොවිඩ් 19 වෛරසයට ගොදුරැ වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට අත්‍යවශ්‍ය වන සායනික වෙන්ටිලේටර් (ventilator) නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවකු මූලික සාම්පලයක් සකසා තිබේ. මෙම රෝගයේ මූලික ලක්ෂණය වන ශ්වසන අපහසුතාවය මෙම යන්ත්‍රය මගින් පාලනය කරනු ඇති අතර ඉදිරි සතිය තුළදී මෙය නිපදවීමට හැකිවනු ඇති බවද සඳහන්.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී පීඨයේ අශාන් කුමාර:
රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය වන වෙන්ටිලේටර් නිෂ්පාදනය කිරීමේ මූලික කටයුත්ත සඳහා කර්මික සංවර්ධන මණ්ඩලය විසින් උදව් කරනු ලැබුවා. රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකුගේ සහායත් මෙම යන්ත්‍රය නිෂ්පාදනය කරන්න ලැබුණා තව සතියක් පමණ යනවිට මෙය සම්පූර්ණ කිරීමේ හැකියාවක් පවතිනවා.
හසිත් අංජන