2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

වසංගත ලෙඩවලින් එදා බේරුණු හැටි

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 894

මේ කොරෝනා වයිරස් පැතිරෙන සමයයි. සමාජ වගකීම අත්හැර තිබෙන හෙයින් ආණ්ඩුවට ඇඳිරි නීති පනවා විෂබීජ පැතිරීම පාලනය කිරීමට සිදුවී තිබෙනවා.

අපේ මුතුන්මිත්තන් අනේකවිධ බෝවන රෝගවලට මුහුණ දුන්නා. එවිට ඔවුන් සමාජ සම්මත සංස්කෘතික ඇඳිරි නීතියක් පනවාගත්තා තම තමුන්ගේ ගෙවල් තුළම රැඳෙමින්. එය සම්මත පිළිවෙතක් හැටියට අපේ රටේ ජනගත වූයේ ගෙට ඇතුළුවන තැන කොහොඹ අතු, දෙහි අතු, නික අතු හෝ අඹ අතු එල්ලීමෙන්.

මෙම අවාචික සන්නිවේදනය දුටු සැණින් පිටතින් ගෙදරට පැමිණෙන උදවිය ගෙට ගොඩවීම තහංචියක් ලෙස සැලකුවා. එකිනෙකා අතර තිබෙන ළෙංගතුකම අතේ දුරින් තබාගත්තා. ගේ දොරකඩ සම්මත අතු වැටියක් එල්ලීමෙන් බෝවන රෝගීන් නිවසේ සිටින බවත් ඔවුන් නිරෝධායනය වෙනතුරු පත්තිනි දෙසතිය හෙවත් පුරා දින 14ක් දිනපතා අමු අතු එල්ලීම ජන සම්මතයයි. එවිට අසල්වාසීන් තම තමුන්ට හැකි පමණින් නිරෝධායන සමයේ පසුවන නිවැසියන්ට කෑමබීම ජාති ගෙනවිත් තහංචි අතුවැටිය අසලින් තබා නිවැසියන්ට කතාකර පිටත් වී යන්නේ ඔවුන් සමීපයට යාම, ස්පර්ශයට යෑම හා සමීප පයුරැපාසාන පැවැත්වීමෙන් පිටස්තරයන්ටද රෝග පැතිරීමට ඉඩ තිබෙන හින්දයි.

දැන් අපේ ඇත්තන් අතර නිරෝධායනයේ පසුවන ගෙවල්වලට ආණ්ඩුවෙන් දැන්වීම් අලවා සමාජ අපකීර්තියට පත්කරන තත්ත්වයට පත්වුණේ ඇයි? අපේ සාම්ප්‍රදායික ජන සමාජයේ බෝවන රෝගී අවස්ථාවලදී ළෙංගතුකම අතේ දුරින් තබාගෙන නිරෝධනය වන නිවැසියන් ඇගයීමට ලක්කළේ ඔවුන්ගේ අවංකභාවය නිසා තව කෙනෙකුට රෝග පැතිරීමට ඉඩක් නුදුන් හන්දයි. තහංචි අතුවැටිය ඇයි මේ දිනවල අපිට භාවිත කරන්නට බැරි?

• වසංගත හා කොහොඹ පිළිවෙත.....

අපේ මුතුන්මිත්තන් වසංගත උවදුරු පැමිණෙන විට එම වසංගත පැතිරීම වළකාලීම හා සුවපත් කරගැනීම අරමුණු කරගෙන කොහොඹ සත්කාර කළා. පැපොල, සරම්ප, කම්මුල්ගාය මෙන්ම දෙයියන්ගෙ ලෙඩ යැයි හඳුන්වන රෝග හා වසූරිය බඳු වයිරස් රෝග පැතිරෙන විට පළමු සත්කාර පිළිවෙත වූයේ රෝගියා හඳුනාගෙන ඔහු වෙන්කිරීමයි. වසංගත රෝගියා වෙන්කළ කාමරයේ බිමට, නිදිපොළට හා වහලයේ අතු වියනක් ලෙස අමු කොහොඹ අතු භාවිත කළා. මේ අමු කොහොඹ අතු වරු තුනකින් ඉවත් කර අලුත් අමු කොහොඹ අතු යොදාගැනීම සිරිතයි. එයින් විෂබීජ හරණයට වැඩි ඉඩක් ලැබෙනවා. මෙබදු වයිරස් රෝගයකට ගොදුරු වූවකු සිටින විට අන්‍යයන්ට දැනවීම සඳහා ගෙට ඇතුළු වන දොරකඩ හා ඉදිකඩුල්ලේ කොහොඹ අතු එල්ලීමත් සිරිතක්. යම් විටෙක වසංගත රෝගය ගම පුරා පැතිරෙන්නේ නම් එවිට ගමට ඇතුළුවන ප්‍රධාන පාරවල් අද්දර වසංගත වැටි දමනවා. ඒ කියන්නේ පිටින් එන ඕනෑම අයෙකුට පාරෙන් ගමට ඇතුළුවීම එකවර නවතාලන සේ කොහොඹ අතුකැටි එක උඩ එක අතුරා වැටියක් දැමීමයි. වසංගත රෝගකාරයෙකු ගෙදර සිටිනවිට සත්කාර කරන්නන් සේම නිවැසියන් සියලුදෙනා දවසේ තුන් වරුවට අමු කොහොඹ කොළ කෙටූ ඉස්මවලින් අත් පා සිරුරු සෝදාගැනීමත් කළා. පිටතින් පැමිණෙන උදවියට කොහොඹ කොළ කෙටූ ඉස්ම බඳුනක් දොරකඩ තබන්නේ අත් පා දොවා විෂබීජහරණයටයි. මීට අමතරව විෂබීජ හරණයට කොහොඹ කොළ හා කොහොඹ තෙල් යොදා වේදු ඇල්ලීමත් කළා.

අපේ මුතුන්මිත්තන් අවුරුදු දහස් ගණනක් පුරා අනුගමනය කළ මේ සාම්ප්‍රදායික දැනුම අපේ රට අත්හැරීම නූතන නැතිනම් විද්‍යාත්මකද කියා තීන්දු ගැනීම ඔබට පවරමි.

• පාදිය බඳුන හා විෂබීජ හරණය

මේ දිනවල කොරෝනා වයිරස පැතිරීමත් සමග අත්, පා දෝවනයට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ විෂබීජ හරණය වෙනුවෙන්. අපේ මුතුන් මිත්තන් ඉතා දිගුකලක් පුරා බෝවන රෝග පැතිරෙන විට පුරා දෙසතියක්, එනම් දින 14ක් විෂබීජ නිරෝධායනය වෙනුවෙන් කැප වුණේ දෙයියන්ගෙ ලෙඩ ලෙස සත් පත්තිනි බැල්ම දෙකක් බැලිය යුතු බව කියමිනි. බෝවන රෝගියකු නිවසේ සිටින විට එය සැඟවීමට කරුණක් වුණේ නැහැ. රෝගියා දෙයියන්ගෙ කාමරය වශයෙන් හැඳින්වූ වෙනම කාමරයකට කොටු කරන්නේද නිරෝධායනය පිණිස කොහොඹ කොළ හා වෙනත් ඖෂධීය  කොළවර්ග එකතු කරමිනි. ඒ සමගම ඉතා වැදගත් නිරෝධායන පිළිවෙතක් ලෙස ගේ දොරකඩ හා පිළිකන්නේ පෑල දොරකඩ යන ගෙට ඇතුළුවන ස්ථාන දෙකේ පාදිය බඳුන් තැබුවා.

මැටි කොරහක්, තරමක් ලොකු අප්පල්ලයක්, සෙම්බුවක්, මුට්ටියක් හෝ පහසුවෙන් වතුර රැඳවිය හැකි මෙවලමක් ගන්නවා. එයට වතුර පුරවන අතර අමු දෙහිගෙඩි කපා දෙහි ඉස්ම සමඟ දැමීම, අමු කහ කොටස් මුහු කිරීම, කොස් දර අඟුරු කොටස් මෙන්ම යහමින් පොඩිකරගත් කොහොඹ කොළ මේ පාදිය බඳුනට මුහු කරනවා. රෝගී නිවසින් බැහැර වන උදවිය මෙන්ම ඊට ඇතුළු වන උදවියත් මේ පාදිය බඳුනෙන් විෂබීජ හරණය පිණිස අත් පා දොවාගැනීම ජන සම්මත සිරිතක්.

බෝ වන රෝගී උවදුර නිවසින් බැහැර වී තවත් සතියක් පමණ කාලයක් පාදිය බඳුන් තැබීම අපේ මුතුන්මිත්තන්ගේ සිරිතයි. මෙහිදී පාදිය බඳුන භාවිත කරන ප්‍රමාණය අනුව උදේ දවල් හවස, පාදිය බඳුනට දමන සම්මත ඔසු හා ජලය අලුත් කරමින් සෑම කෙනෙකුටම අත් පා දොවාගත හැකි ලෙස පාදිය බඳුන් යොදාගැනීම පිළිගත් සම්මතයයි.

සාම්ප්‍රදායික දැනුම නියෝජනය කරන පාදිය බඳුන් භාවිතය අතහැර දැම්මේ අපේ යටගියාවේ වටිනාකම් අවතක්සේරුවට ලක්කළ යටත් විජිත යුගයේදීයි. කොරෝනා වසංගත‍යත් සමග යළි ඒ උරුමය සිහිපත් කිරීම කාලෝචිතයි කියා සිතුනා. පාදිය බඳුන් තැබීම මළගෙවල් වසංගත හා බෝවන රෝගී අවස්ථා සෑම එකකම යොදාගත්තා.

 ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03