අලි මදිවාට කොටිත් කීවාක් මෙන් චිනයෙන් තවත් වෛරසයක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් ගැන වාර්තා වූයේ සමාජ ජාල ඔස්සේ අලුත් ජංජාලයක් පතුරවා හරිමිනි. මාරාන්තික කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන්හි, ෂැංඩොං පළාතේ පුද්ගලයකු මියගොස් ඇති බව එළිදරව් විය. කොරෝනා වෛරස වසංගත නිවාඩුවෙන් පසු සේවය සඳහා වාර්තා කරන්නට ආයතනයේ රාජකාරි බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණය සිදුවී ඇත. මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයන් තිස්දෙදෙනාද පරීක්ෂාවට ලක්ව තිබුණි. බස්රියේ මැරී ඇදවැටුණු පුද්ගලයා මුල්කොට නව භීතිකාවක් පැතිර යන්නට වූයේ ඊනියා සමාජ මාධ්‍ය ඔස්තාද්ලාගේ ‘විශේෂඥ’ කරුණු දැක්වීම් ඔස්සේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හන්ටා වෛරස නමැති මෙම වෛරසය මීයන් බඳු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්නකි. නමුත් බොහෝ මාධ්‍ය වැරැදියට පැහැදිලි කර තිබූ අයුරු කොවිඩ් -19 මෙන් මෙය අලුතින් හදුනා ගත් වෛරසයක් නොවේ. එය බොහෝ පැරැණි දන්නා කියන වෛරසයකි. මීයන්ගෙන් වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ. උණ සමග එන තද හිසේ කැක්කුම, දැඩි මස්පිඬු වේදනාව, උදරය ආශ්රිත ආබාධ, කැරකැවිල්ල, සහ වමනය මෙහි පොදුරෝග ලක්ෂණ වෙයි. රෝගය ආකාර දෙකකි.
මානව ඉතිහාසයේ මුල් වතාවට හන්ටා වෛරස ආසාදනයක් පැතිර ගියේ කොරියානු යුද සමයේදීය. ඒ 1950 ජූනි 25 සිට 1953 ජූලි 27 අතර උතුරු- දකුණු කොරියා රාජ්‍ය අතර ඇති වූ යුද්ධයයි. ඒ සමයේ වෛරසයට ගොදුරුව අමෙරිකානු සෙබළුන් 190ක් පමණ මියගිය අතර 3000ආසන්න පිරිසක් රෝගාතුර වූහ.
මෙහි බහුලම ආසාදිත තත්ත්වය පෙනහළු ආශ්රිත රෝගලක්ෂණ ගණනාවක් මතුකරන හන්ටා වෛරස පුප්ඵුසීය සින්ඩ්‍රෝමය හෙවත් පොදුවේHPS, ලෙස හැඳන්වෙන රෝගයයි. එය අමෙරිකාව ආශ්‍රීතව බහුලව වාර්තා වන්නකි. මීයන්ගෙන් පැතිර යන මී උණක් වන මේ රෝගය උන්ගේ මළමූත්‍ර හෝ කෙළ ශරීර ගතවීම මගින් බෝවන්නකි. ඉතා කලාතුරකින් මීයන්ගේ සපා කෑමට ලක්වීම හේතුවෙන්ද හට ගනියි. එච්.පී.එස්. උණ නියුමෝනියා තත්ත්වයක් ඇති කරන අතරම ශරීරයේ කලවය උකුල වැනි විශාල මස්පිඬු වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස පෙන්වයි. එහි මරණ අනුපාතිකය සියයට 38ක් සාපේක්ෂව ඉහළ අගයක් ගනියි.
මේ වෛරසය හේතුවෙන් හටගන්නා දෙවැනි රෝග තත්ත්වය වකුගඩු රෝගී ලක්ෂණ සහිත HFRS නම් වූ රක්තපාත උණ රෝගයකි. එය චීනය මුලීකව රැසියාව සහ කොරියාව ඇතුළු නැගෙනහිර ආසියානු කලාපය ප්රමුඛව යුරෝපය පුරා වාර්තාගතය.
වෛරසය සහිත මී මළමූත්‍රා, කෙළ අඩංගු වායු බිඳීති නාසය මුව ඇස් ආශ්‍රීතව සිරුරු ගතවීමෙන් හෝ සිරැර ආශ්‍රීතව ඇති තුවාල සීරීම් ඔස්සේ එය ඇතුළු වීමෙන් හෝ වෛරසය ආසාදිත මීයෙක් සපා කෑමෙන් රෝගය සෑදේ. මිනිසුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝවන බවට වාර්තා නැත. එසේ වන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.
1993 සිට වරින්වර අමෙරිකානු ප්‍රාන්ත ආශ්‍රිතව වාර්තාවූ මේ ආසාදනය, 2017 වසරේ ජනවාරියේදී 728 ක් ගොදුරු කර ගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය ආසාදනය වීමෙන් 2013 සහ 2018 වසර අතර කාලයේ ආජන්ටිනාවේ පුද්ගලයින් 114 දෙනෙකු මරණයට පත්වී ඇත. 2016 වසරේදී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකු ද මෙම වෛරසය ආසාදනයෙන් මරණයට පත් වී තිබේ. අමෙරිකානු වාර්තා අනුව පිරිමින්ට බහුලව සෑදෙන මෙය වයස 5-85ත් අතර පිරිසට වැළඳේ. මේ රෝගය වනාන්තර, කුඹුරු සහ ගොවිපළ වැනි ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වෙයි. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ මේ හන්ටා වෛරස් උණය වසංගත තත්වයකට පත්වීමේ කිසිදු අවදානක් නොමැති බවය.
- සුගත් පී. කුලතුංගආරච්චි