2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

තර්ජන - අර්බුද මැද නාමයෝජනා දීම

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 120

පසුගිය මාර්තු මස 2 දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 2020 මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගන්නා දින ලෙස මාර්තු 12 දින සිට මාර්තු 19 දක්වා දින නියම කෙරිණි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දින හතරක කාලයක් නිවාඩු දින ලෙස නම් කෙරුණද නාම යෝජනා  භාර ගැනීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව මුලින්ම නාම යෝජනා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයන් 262ක් තරග කරන අතර  හා ජාතික ලැයිස්තුවෙන් 29 දෙනකු නම් කර තිබේ. පොදු ජන පෙරමුණට 50% අපේක්ෂකත්වයක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 25%ක අපේක්ෂකත්වයක්ද, ජාතික නිදහස් පෙරමුණට 10%ක්ද මහජන එක්සත් පෙරමුණට 8%ක්ද ලංකා කම්කරු කොංග්‍රසයට 5%ක්ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා සමසමාජ පක්ෂයට  1% වශයෙන්ද අපේක්ෂකත්වය බෙදී ගොස් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 25% යැයි ප්‍රකාශ වුවද ඔවුනට හිමිවී ඇත්තේ 14%ක් යැයි පැවසේ.

පොහොට්ටුව ලකුණින් තරග වැදීමට අපේක්ෂා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂයන් පිරිසකට එම අවස්ථාව අහිමි වීම මත නුවරඑළිය, වන්නි, යාපනය සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට මුලින් තීරණය කෙරිණි. පසුව එම අදහස වෙනස් කොට දිස්ත්‍රික්ක දෙකක් හැර අනෙක් දිස්ත්‍රික්කවලට තරග කිරීමට තීරණය විය. ඇතැම් දිස්ත්‍රික්කවලට පොදු ජන සන්ධානයෙන් තරග කිරීම සඳහා නාම යෝජනා හිමිවී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් නායක ජීවන් කුමාරතුංග ප්‍රකාශ කළේය. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද එක්ලක්ෂ අසූදහසක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ එක් අපේක්ෂකත්වයක් පමණක් බවයි. ඒ හිටපු මන්ත්‍රි ලසන්ත අලගියවන්නටය. වෙනත් පක්ෂවලටද එක් අපේක්ෂකත්වයක් බැගින් හිමිව තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් අපේක්ෂකත්වයත් ලබා දීම අසාධාරණ බවත් තවත් අපේක්ෂයන් කිහිප දෙනකුට අවස්ථාව ලබා දෙන ලෙසට ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය. නුවරඑළිය, කළුතර වැනි දිස්ත්‍රික්ක කීපයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු අපේක්ෂයකු නම් කර නොමැති බවත්, තම පක්ෂයේ ගෞරවය ආරක්ෂා නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය. නුවරඑළිය, වන්නි, යාපනය සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා අත ලකුණින් වෙනම තරග කිරීමට තමන් තීන්දු කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, පොහොට්ටු සන්ධානයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා නොතිබිණි. 17 දින ශ්‍රීලනිප කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ කොළඹ පිහිටි නිවසේදී යළි හමුවිය. එම සාකච්ඡාවෙන් පසු දයාසිරි ජයසේකර පැවසුවේ කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ශ්‍රීලනිප අපේක්ෂයන් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බවට බැසිල් රාජපක්ෂ දුරකතනයෙන් ප්‍රකාශ කළ බවකි. පොහොට්ටුව ලකුණින් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර කියා සිටියේ දිස්ත්‍රික්ක කිහිපයක පමණක් අත ලකුණින් වෙනම තරග කරන බවයි. කෙසේ වුවද 17 දින දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික්කය සඳහා අත ලකුණින් තරග කරන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගේ නාම යෝජනා පත්‍රයට අත්සන් කළේය.

ගම්පහ, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකත්වය වැඩිකිරීමට තීරණය වූ බව පසුව සඳහන් විය. මාර්තු 18 වැනි දින මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දයාසිරි, දුමින්ද සහ වීරකුමාර දිසානායක පොහොට්ටුවෙන් තරග කිරීම සඳහා නාමයෝජනා වලට අත්සන් තැබූහ. 

අත ලකුණ යටතේ වෙනම තරග කිරීමට සිටි කැස්බෑව ශ්‍රීලනිප ආසන සංවිධායක ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි ඇතුළු පිරිසක් රතන හිමිගේ අපේ ජනබල පක්ෂයෙන් තරග කිරීම සඳහා නාමයෝජනාවලට අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඇමැතිවරයකු වූ ගාල්ල දිස්ත්‍රික්කයේ නිශාන්ත මුතුහෙට්ටිගමට මෙවර මැතිවරණයේදී අපේක්ෂකත්වය ලැබුණේ නැත. ඔහුට නාම යෝජනා නොලැබුණේ මන්දැයි අප ඔහුගෙන් කළ විමසුමේදී මුතුහෙට්ටිගම ප්‍රකාශ කළේ එය විමසිය යුත්තේ නාම යෝජනා තීරණය කළ පිරිසගෙන් බවයි. බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට අපේක්ෂකත්වය ලබා දීම වළක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත නොවුණා නම් එවැනි ගැටලුවක් ඇති නොවන බවද ඔහු කියා සිටියේය. තම ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන්ට එම පක්ෂයෙන් ඉදිරිපත් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ, කළුතර, හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර, වන්නි වැනි දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර  පසුගිය 17 දින ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරින් වෙත ලබා දෙනු ලැබීය.. ඒ ඒ දිස්ත්‍රික්කවල සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සුදුසුකම් ඇති අයට නාම යෝජනා ලබා දුන් බවත් සාමාන්‍යයෙන් නාමයෝජනා පත්‍ර සකස් කරන විට විරෝධතා ඇති වුවද මෙවර නාම යෝජනා සැකසීමේදී කිසිදු ගැටලුවක් උද්ගත නොවූ බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තු පිළිබඳ විවිධ මත පළවේ. විශේෂයෙන් ඔවුන් වියතුන් වැඩි පරිසකට නාම යෝජනා ලබා දෙන බව ප්‍රකාශ කළද එසේ නොවන තත්ත්වයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නාම යෝජනා තෝරන්නේ නාම යෝජනා කමිටුවෙන් බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාලක ගොඩහේවා, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය චන්න ජයසුමන වැනි වියතුන්ට නාම යෝජනා හිමිව ඇති බවයි. ඉතිරි නාම යෝජනා සාධාරණ ලෙස ලබා දෙනු ඇතැයි තමාට විශ්වාසයක් ඇතැයි ඔහු සඳහන් කළේය. 

මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට වියත්මග සංවිධානයේ සාමාජිකයන් සීමිත සංඛ්‍යාවක් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කර තිබූ බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික ලියනහේවගේ ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ විරෝධය මත වියත්මග සාමාජිකයන්ට පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීමට නාමයෝජනා නොලැබී ඇතැයි වාර්තා වේ. සෑම දිස්ත්‍රික්කයකින්ම වියත්මග සාමාජිකයන් දෙදෙනකු හෝ තිදෙනකු තරග කිරීමේ සූදානමක් තිබුණ අතර නාම යෝජනා සැකසීමේදී වියත්මග සාමාජිකයන්ට අපේක්ෂකත්වය ලබා දීමට එම පෙරමුණේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් භික්ෂුවකට නාම යෝජනා හිමි වූයේ බද්දේගම සමිත හිමියන්ට පමණි.  ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයෙන් අපේක්ෂකත්වය හිමිවනු ඇතැයි සිතා සිටි අතුරලියේ රතන හිමිට අපේක්ෂකත්වය ලැබුණේ නැත. එහෙයින් උන්වහන්සේ කොඩිය ලකුණ යටතේ නව පක්ෂයක් තුළින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළහ. නව පක්ෂය අපේ ජනබල පක්ෂයයි. රතන හිමියන්ගේ පක්ෂය සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමිද එක්ව ඇති අතර මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය මෙවර නාම යෝජනා වෙන වෙනම අත්සන් කිරීම පසුගිය 16 වැනිදා ආරම්භ කර තිබේ. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින්ද සමගි ජනබලවේගය දුරකතනය ලකුණින්ද තරග කරනු ඇත. සමගි ජනබලවේගයේ ආරම්භක සාමාජිකයකු වන  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට සමගි ජනබලවේගයෙන් නාම යෝජනා හිමි වූයේ නැත. ඔහු තරග කිරීමට නියමිතව සිටියේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එහෙත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයකු ඊට විරුද්ධ වීම නිසා එම අවස්ථාව අහිමි වී ඇතැයි පැවසේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් කියා සිටියේ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළ බවයි. මතභේදාත්මක චරිතයක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරයකු වූ මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණය ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා අත්සන් කර තිබේ. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයෙන් ඉදිරිපත්වීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තිය පහව යන තෙක් මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තරයේද ඇතැම් මැතිවරණ කල් දමා ඇති පසුබිමක් යටතේ රෝග බිය පහව යන තෙක් මැතිවරණය කල් දැමීම සුදුසු බව ඔහුගේ අදහසයි. තමන් මැතිවරණවලට බිය නොවන අතර දින 14කට මහජන රැස්වීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටි හෙයින් තම රැස්වීම් අවලංගු කළ බව ඔහු පැවසීය. මහජන රැස්වීම් අවලංගු කොට මැතිවරණ පැවැත්විය හැකිදැයි රජයෙන් විමසන ඔහු රජයට අවශ්‍ය වී ඇත්තේ තුනෙක් දෙකක් බලය ලබා ගැනීම පමණක් යැයි කියා සිටියේය. ඡන්දය ප්‍රකාශ කර විට හැම පුද්ගයකුගේම ඇඟිලි පාට කිරීමට සිදුවන බවත් ස්පර්ශය මගින් මෙම වෛරසය වැළඳීමට ඉඩකට ඇති හෙයින් පාර්ලිමේන්තුව විසුරැවා හැරි නියෝගය අවලංගු කොට කොරෝනා වෛරසය අවසන් වූ පසු මැතිවරණය පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මුජිබර් රහමන්,  කාවින්ද ජයවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරැන් පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා හමුවී නාම යෝජනා බාරගන්නා දිනයත් මහා මැතිවරණයත් කල් දමන ලෙස ඉල්ලා තිබේ. නාම යෝජනා කල් දැමීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා වෙත බවත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගතහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඔවුන්ට පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ එක්ව මේ සම්බන්ධයෙන් තීන්දුවත් ගතයුතු යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ජාතික ජනබලවේගය මෙවර සියලු දිස්ත්‍රික්කවලට තරග කරන අතර එහි නායක අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03