අයහපත් කාලගුණික තත්ත්වය තේ වගාකරුවන්ට දැඩි ලෙස දැනෙන්නට පටන්ගෙන තිබේ. වෙනදා තද කොළ පැහැයට දිස්වූ තේ වගාබිම් නියඟයට හසුවී වියළි තද දුඹුරු පැහැයෙන් යුතුව දැකගත හැකිය. ඇතැම් තේ වගා බිම් නියං රකුසාට සම්පූර්ණයෙන් පාහේ ගොදුරුවෙමින් පවතී. මේ නිසා දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ කුඩා තේ වතු හිමියන්ය.
මහ පොළව සමඟ හරි හරියට ඔට්ටුවෙමින් තම ශ්‍රමය දහඩිය තේ වගාබිම්වලට කැපකළ කුඩා තේ වතුහිමියන් මේ නිසා දැඩි විස්සෝපයට පත්ව සිටිති. නියං තත්ත්වය හේතුවෙන් දැනට මාස දෙකක පමණ කාලයක සිට කුඩා තේ වතු හිමියන් සිය වගාබිම් වලින් තේ දළු නෙළුම අත්හැර දමා තිබේ. මේ හේතුවෙන් තේ වගාවෙන් මාසිකව ලැබූ ආදායම කුඩා තේ වතුහිමියන්ට අහිමි වී ගොස් ඇත. තේ වගාවෙන් පමණක් ලැබෙන ආදායමෙන් ජීවිකාව ගෙනගිය කුඩා තේ වතු හිමියන් මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ. තේ වගාවෙන් ලැබෙන ආදායම අහිමිවීමෙන් සිය දරුපවුල් නඩත්තු කරගැනීම මෙන්ම පවුලේ වියහියදම් පවා පියවාගැනීමට මොවුන්ට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
තේ දලු නෙලන්නියන්ට සිය රුකියාව අහිමිවී ගොස් ඇත. තේ දලු එකතුකරන්නන් මෙන්ම තේ කම්හල් හිමියන් මේ නිසා දැඩි අර්බුදයකට ලක්ව ඇත්තේය. අපේ රටේ ආර්ථිකයට කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑපහක කොටස්කරුවා වන්නේ කුඩා තේ වතුහිමියන්ය. 2005 වර්ෂයේ පැවැති තේ ඉඩම් පිළිබඳ කරණු ලැබූ සංගණනයට අනුව මෙරට සමස්ත තේ ඉඩම් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 221968ක් වේ. කුඩා තේ ඉඩම් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 132.329කි. ඒ අනුව මෙරට සමස්ත තේ භූමි ප්‍රමාණයෙන් සියයට 59ක කොටස්කරුවා වන්නේ කුඩා තේ වතුහිමියන්ය. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක් යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 3692ක කුඩා තේ ඉඩම් ව්‍යාප්ත වී ඇත. මෙරට කුඩා තේ ඉඩම්හිමියන් සංඛ්‍යාව 370,842කි. කුඩා තේ ඉඩම් සංඛ්‍යාව 397,223 කි. රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, යන දිස්ත්‍රික්කවල වැඩිම කුඩා තේ වතුහිමියන් සිටින දිස්ත්‍රික්කයන් බවට පත්ව තිබේ. රත්නපුර දිස්ත්‍රික්කය තුළ කුඩා තේ වතුහිමියන් වැඩිම සංඛ්‍යාවක් සිටින අතර දෙවැනි ස්ථානය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත්ව තිබේ.
දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතුහිමියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව කුඩා තේ වතුහිමියන් අප සමඟ මෙසේ කීහ.
යක්කලමුල්ල ඇල්ල ඉහළ දුවවත්ත ප්‍රදේශයේ පදිංචි කුඩා තේවතු ඉඩම්හිමියකු වන එච්.එස්. ඒකනායක මහතා කුඩා වතු හිමියෙකි.
“දැඩි පෑවිල්ලත් සමඟ මේ ප්‍රදේශයේ තේ වගාබිම් විනාශවෙලා තියෙනවා. මට අක්කර තුනහමාරක පමණ තේ ඉඩමක් තියෙනවා. ඉන් අක්කර තුනක් විතර විනාශ වෙලා තියෙනවා. දැනට මාස දෙකහමාරක් පමණ සිට තේ දලු කඩන්නේ නැහැ. අපිට වෙනත් ආදායමක් නැහැ. තේ වගාවෙන් ලැබෙන ආදායමෙන් තමයි ජීවත් වුණේ. දැනට මාස දෙකක පමණ කාලයක සිට ඒ ආදායම නැතිවෙලා තියෙනවා. මාසයකට තේ වගාවෙන් රුපියල් 1,20,000ක් විතර ආදායමක් ගත්තා. මේ ගැන වගකිවයුතු බලධාරින් දැනුම්වත් කරලා තියෙන්නේ. නමුත් තවමත් විසඳුමක් ලැබිලා නැහැ. තේ ඉඩම් හිමියන් පමණක් නෙවෙයි දලු එකතුකරන අයද ගැටලු රැසකට ලක්වෙලා ඉන්නවා. දැන් අපිට ණය මුදලක්වත් ලබා දෙන්නේ නැහැ වගා හානි වෙනුවෙන්. යම්කිසි සහනාධාර මුදලක් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”
එච්.ඩී. නිලන්ත ඇල්ලඉහළ හේනවත්ත ප්‍රදේශයේ පදිංචි කුඩා තේ ඉඩම් හිමියෙකි.
“මට තේ අක්කරයක් පමණ තියෙනවා. දැඩි නියං තත්ත්වය හේතුවෙන් තේ අක්කරයම විනාශවෙලා තියෙන්නේ. දැනට මාස එකහමාරක සිට දලු කඩන්නේ නැහැ. මාසයකට රුපියල් 50,000 ක් විතර ගත්තා. දැන් රුපියල් 5000කවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. මට පාසල් යන දරුවන් දෙදෙනෙකු ඉන්නවා. දරු පවුල නඩත්තු කළේ ඒ ලැබෙන ආදායමෙන්. දලු වලින් ලැබෙන ආදායම නැතිවෙලා තියෙනවා. මේ නිසා අපි දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. පෑවිල්ල එනවිට දළු කැඩීම නතර කළා. කියන්න පුළුවන් හැමකෙනෙකුටම කීවා. නිලධාරින් ඇවිත් තේ වගාවන් පරීක්ෂා කරලා ගියා. යම්කිසි සහනයක් ලබාදෙන බව කීවා. නමුත් තවම ලැබුණේ නැහැ.”
යක්කලමුල්ල පන්සල කන්ඳ ඇල්ලඉහළ පදිංචි එස්.එච්. ආනන්ද මහතාද කුඩා තේ වතු හිමියෙකි.
“තේ අක්කර එකහමාරක් විතර මට තියෙනවා. පැරැණි තේ වගාවක් තමයි තියෙන්නේ මාසයකට තේ දලු කිලෝ 350ක් විතර කැඩුවා. මාස එකහාමරකින් පමණ දලු කඩන්නේ නැහැ. තේ වගාව විනාශවෙලා තියෙන්නේ. අපේ ප්‍රධාන ජීවන මාර්ගය තමයි තේ වගාවෙන් ලැබෙන ආදායම. දැඩි නියං තත්ත්වය නිසා තේ වගාවෙන් ලැබෙන ආදායම නැතිවෙලා තියෙන්නේ. මේ පාර අවුරුදු කන්නේ නැතිව හූල්ලන්න තමයි අපිට සිදුවන්නේ.”
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කළමණාකරු ඊ.ආර්.එස්. ගුණවර්ධන
“දැඩි පෑවිල්ල නිසා කුඩා තේ වතුහිමියන්ගේ තේ වගාවන්ට වී ඇති හානි පිළිබඳ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සාමාන්‍යධිකාරිතුමා කුඩා තේ වතු සංවිධාන සමඟ අපි සාකච්ඡා කළා. අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධව ඉදිරි තීරණ ගන්නේ ඉහළ නිලධාරීන් මට්ටමෙන්. සුභදායක තත්ත්වයක් ඇතිවේවී කියලා අපි විශ්වාස කරනවා. තේ ඉඩම් වෙලීමකට ලක්වෙලා තියෙනවා. උෂ්ණත්වය වැඩිවෙලා තියෙනවා. මේ සම්බන්ධව සංගණනයක් කරන්නේ නැතිව හානි වී ඇති වගා ප්‍රමාණයක් ගැන කියන්න බැහැ. තේ වගාකරුවන්ට අපි කියලා තියෙනවා තේ වගා කිරීමේ දී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන්න කියලා.
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය නොකරපු තේ ඉඩම් තමයි වැඩිපුර විනාශ වෙලා තියෙන්නේ. පස නිසරු තැන්වල සිදුකළ වගාවන්. රෝගී වූ පැළ වගාකරපු තැන්වල පොඩ්ඩක් පායන විට වගාව විනාශ වෙනවා. අනික් තේ ඉඩම්වල තේ ගස් මැලවිලා තියෙනවා. අස්වැන්න අඩුවෙලා තියෙනවා” යැයිද හෙතෙම පවසයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ
පසුගිය වර්ෂවල වෙනත් වගා සහනාධාර නොගෙවූ මුදල් තිබුණා රුපියල් මිලියන 300 විතර. 2019.12.31 වැනි දිනට ඒ සහනාධාර මුදල රමේෂ් පතිරන ඇමතිතුමා හා කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිතුමාගේ දැඩි උනන්දුව මත මහා භාණ්ඩාගාරයෙන් අරගෙන ප්‍රාදේශීය කාර්යාල වෙත නිදහස් කරලා තියෙනවා. ඒ මුදල් ඉඩම්හිමියන්ගේ බැංකු ගිණුම්වලට වැටෙනවා. නියඟය නිසා මේක ඉක්මන් කළා. දැනට පවතින නියං තත්ත්වය තේ වගාකරැවන්ට වන බලපෑම පිළිබඳ සාකච්ඡාවක් අපේ ඇමැතිවරැන් දෙපළගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ සඳහා කුඩා තේ වතු සංවිධානවල නියෝජිතයින් සහභාගි වුණා. නියඟය නිසා හානියට පත් තේ පැළ සඳහා නැවත පැළ ලබාදීමට රුපියල් මිලියන 178ක් සහ කුඩා තේ වතු හිමියන් විසින් විවිධ බැංකුවලින් ලබාගත් ණය මුදල් සඳහා මාස හයක සහන කාලයක් ලබාදෙන්න වැවිලි කර්මාන්ත ඇමති දොස්තර රමේෂ් පතිරණ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2017, 2018, 2019 යන වර්ෂවල වගා සහනාධාර යටතේ සිටුවා ඇති තේ පැළයක් මියගොස් ඇත්නම් තේ පැළයක් සඳහා රුපියල් 30ක වන්දි මුදලක් ලබාදීමට හෝ තේ පැළයක් ලබාදීමට කියලා තමයි ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයෙන් මේ මුදල ඉල්ලන්න හදන්නේ. ඒ සඳහා තමයි මිලියන 178ක් යන්නේ. කෙහොමවුණත් මේ වනවිට මැතිවරණ කොමසාරිස්තුමා විසින් ජනාධිපතිවරණයට ගහපු චක්‍රලේඛය මහ මැතිවරණයටත් වලංගු කරලා. මේ නිසා කිසිඳු මුදලක් පුද්ගලික ගිණුමකට හෝ සහනාධාර හෝ අතට හෝ උපකරණ ලබාදීම තහනම් කරලා තියෙනවා. කෙසේවුවද තේ කර්මාන්තය දියුණු කිරීමට තිරසාර විසඳුම් අපි සැලසුම් කරමින් ඇති බවද සභාපතිවරයා කීවේය.
යක්කලමුල්ල - ජේ.කේ.එල්. චාමින්ද