2020 මාර්තු 07 වන සෙනසුරාදා

මහ බැංකුව දැන දැනම අපි අමාරුවේ දැම්මා ඊ.ටී.අයි. තැන්පත්කරුවෝ දුක කියති

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

මෑත ඉතිහාසය තුළ අපේ රටේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය සමාගම් ගණනාවක් සඳහා ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. මෙවැනි සමාගම් කිහිපයක් මුහුණපෑ ප්‍රබල මූල්‍ය අර්බුද හේතුවෙන් ඒවා කඩාවැටීමට ලක්විය. ගෝල්ඩන් කී සිදුවීම, සක්විති රණසිංහ සිදුවීම හා ප්‍රමුඛ ඉතිරි කිරීමේ බැංකුවේ සිදුවීම මේ සඳහා උදාහරණ සපයයි.

එවැනි අර්බුද රාශියක මතක ජනතාවගෙන් වියැකෙන්නට මත්තෙන් ETI සමාගම හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම දැඩි අර්බුදයක පැටලිණි. 24,700කට අධික ගනුදෙනුකරුවන්ගේ රුපියල් බිලියන ගණනක මුදල්වලට වූ අසාධාරණය කිසිදු පාර්ශ්වයකට සුළුකොට තැකිය නොහැකිය. ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරුකීමේ ස්වාධීන සංගමය ඉකුත් දිනක මහබැංකුව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය. ඉන් පලක් නොවුණු තැන එම සංගමයේ සාමාජික සාමාජිකාවෝ ඒකරාශි වී බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිට ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රුඳී සිටිමින් විරෝධතාවයක නිතර වූහ.

ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ මුදල් වංචාව සිදුකර මේ වන විට වසර තුනක පමණ කාලයක් ගතවී තිබේ. එහෙත් ඔවුනට කිසිදු සාධාරණ විසඳුමක් ලැබුණු බවක් පෙනෙන්නට නැත. ඒ අනුව ඒකරාශී වූ ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරුකීමේ ස්වාධීන සංගමය බොරැල්ල වෝඩ් පෙදෙසේ ඊ.ටී.අයි. මූල්‍ය සමාගම ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අද වනවිට දින 13ක් ගතවී තිබේ.

ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රවෘත්ති, මාධ්‍ය වාර්තා පළවෙද්දී සත්‍යග්‍රහය ආරම්භ කළ ඊ.ටී.අයි. මූල්‍ය සමාගම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටට අප ගියේ ඔවුනට යම් තරමක හෝ ශක්තියක් වීමේ අරමුණිනි. ඔවුන් හා සිදුකළ කතාබහේ දී කිසිදු රසබර කතාවක් අසන්නට නොවිණි. ඇසුණා නම් ඒ සියල්ල හද පාරවන කඳුළු කතා පමණය.

මේ එවැනි දුක්බර කතාවක් අප හමුවේ කී අශෝක අලස් මහතාගේ වේදනාත්මක අදහස්ය.

“මම අවුරුදු තිස්පහක් ඉතාලි රටේ සේවය කළා. ඒ කියන්නේ 1980 ඉඳලා 2014 වෙනකම් ඉතාලියේ දුක් විඳලා රස්සාව කළා. බිරිඳට දරුවන්ට හොඳ අනාගතයක් හදන්න ඕනෑ කියන අදහසින් මම නොවිඳිනා දුක් වින්ඳා. මේ අතරේ මගේ ලොකු දුව සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් හිටියා. ඇයට ශක්තියක් වෙන්න ගෙදර ඉන්න හිතලා රට රැකියාවෙන් ඉවත්වෙලා ආවා. අවුරුදු ගාණක් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ලක්ෂ 29 ක් ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත් කළා. ලැබෙන පොලියෙන් ජීවත් වෙන්න තමයි හිතාගෙන හිටියේ. හැබැයි 2017 දෙසැම්බර් වෙනකම් මට පොලී මුදල් ගන්න පුළුවන් වුණා. 2018 ජනවාරි මාසේ මුලදී මේ ආයතනය කඩා වැටිලා කියලා දැනගත්තා. මට සල්ලි ගන්න විදිහක් නැතිවුණා. මගෙ දුවලා දෙන්නට ඉගෙන ගන්න වියදම් කරන්න නැතිව ගියා. මේ වෙද්දී මට අවුරුදු 59 ක් වෙනවා. මේ වයසත් එක්ක මට දැන් රට යන්න පුළුවන් වුණත් නැවත රැකියාවක් හොයාගන්න අපහසුයි. අපේ රටේ වගේම ඒ රටෙත් රැකියා ප්‍රශ්නය තියෙනවා. අවුරුදු 35 ක් රට දුක් විඳලා ගෙදර ආවේ දරුවෝ දෙන්නයි නෝනයි එක්ක සතුටින් ඉන්න. ඒත් මට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක්. අපිට අපේ සල්ලි ටික ගන්න තමා මේ සටන ගෙනියන්නෙ. නමුත් ඊ.ටී.අයි. සමාගම ඈවර කරන්න තමයි කළමනාකාරීත්වය අදහස් කරන්නේ.”

මේ නිලන්තිකා පෙරේරා (54) මහත්මියයි. ඇය හැඬූ කඳුළින් අප සමඟ කීවේ මෙවැනි කතාවකි.

“මගේ මහත්තයා මියගියාට පස්සෙ මටයි දරුවන්ටයි ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. දරුවෝ දෙන්නා ඉගෙන ගන්නත් දක්ෂයි. පස්සෙ ජීවත් වෙච්ච ගෙදරයි ඉඩමයි විකුණුවා. ඒ ගත්ත සල්ලි 2015 දී ඊ.ටී.අයි. එකේ දැම්මා. පොලියෙන් ළමයින්ට උගන්වන්න හිතුවා. මුලින් මාස තුනකට දැම්මේ. මහ බැංකුවේ ලියාපදිංචිය තිබුණු නිසා අපිට ගැටලුවක් තිබුණේ නෑ. මාස තුනෙන් තුනට දාලා පස්සෙ මාස හයෙන් හයට දැම්මා. ඊටත් පස්සෙ 2017 දී අවුරුදු 4කට දැම්මා. එදා ඉඳන් හරි විසඳුමක් නෑ. මම රුපියල් 4,450,000 ක් දැම්මා. 2018 ජනවාරි මාසෙ තමයි අපි දැනගත්තෙ මේ ආයතනයේ මුදල් නවත්වලා කියලා. අපි ගනුදෙනු කළේ මහබැංකුව ගැන විශ්වාසයෙන්. මහ බැංකුව තමා මේක වගකියන්න ඕනෑ.”

ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය හා එක්ව සත්‍යග්‍රහයට එක්ව සිටින විශාල පිරිසක් අතරින් අප හා අදහස් දැක්වූ පී.ඩී. ස්වර්ණලතා මහත්මිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ ඇගේ දුක්බර කතාවයි.

“මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළේ. එතනින් විශ්‍රාම ගත්තාට පස්සෙ ලැබුණු මුදලයි අමාරුවෙන් ඉතිරි කර ගත්ත සල්ලියි එකතු කරලා ලක්ෂ නවයක් මේ ආයතනයේ තැන්පත් කළා. මගෙයි දුවගෙයි නමට තමා සල්ලි තැන්පත් කළේ. මුල් දවස් ටිකේ විතරක් මට පොලිය ලැබුණා. හැබැයි ඊටපස්සේ ලැබෙන මුදල අඩු වුණා. මුලින් කීවේ 15% ක් පොලිය දෙනවා කියලයි. දැන් 7% ක්වත් නෑ. මට කසාද බඳින්න ඉන්න දුවකුත් ඉන්නවා. ඒ කටයුතු කරන්නත් ඕනෑ. අපේ බලාපොරොත්තු සේරම නැති වුණා.”

ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පත් කොට අගතියට පත්ව සිටින පිරිස් කෝටිපතියෝ නොවෙති. විදේශ රැකියාවක නිරතව හරිහම්බ කළ කිහිප පෙළක් හෝ රැකියාවෙන් විශ්‍රාම ගිය පසු ලැබුණු මුදලක් ඉතිරි කළ අයයි. නැතිනම් කන කර දේපළක් විකුණා ගත් මුදල සුරක්ෂිතව තැබීමට පියවර ගත් පිරිසකි. මොවුහු සියලු දෙනා අහිංසක මිනිස්සු වෙති. ඔවුන් වෙතින් අසන්නට ලැබෙන දුක්බර කඳුළු කතා අපමණය. ඒ අතරින් අපට අදහස් දැක්වූ ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරුකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මෙසේ පැවසුවාය.

“අපට අයිති ව්‍යාපාරයක් තිබුණා. ඒක විකුණලා වෙනත් ව්‍යාපාරයක් පටන්ගන්න ඉඳිද්දී අර විකුණපු සල්ලි ටික මාසයකට තැන්පත් කළා. ඊ.ටී.අයි. ආයතනයේ අත්පත්‍රිකාවක් දැකලයි මේකට යොමු වුණේ. මහ බැංකුව අනුමතයි පොලිය හොඳයි. ඒ නිසා හොයලා බලලා තමයි මම ඒකට යොමු වුණේ. එම අත්පත්‍රිකාව දකින කෙනකුට තේරෙනවා මහබැංකුව පූර්ණ අධීක්ෂණය කරනවා. නියාමනයක් තියෙනවා කියලා. 2017-07-04 තමා ඒ පත්‍රිකාව මුද්‍රණය කරලා තිබුණේ. පස්සෙ දැනගන්න ලැබුණා. 2016-06-22, ඒ කියන්නේ අර පත්‍රිකාව මුද්‍රණයට පෙර එවකට සමාගමේ සභාපතිවරයා මහ බැංකුවට ලිපියකින් දන්වලා තියෙනවා සමාගම ඉතා ද්‍රවශීලතාවයක පවතිනවා. තැන්පතුකරුවන්ගේ මුදල් නැවත ගෙවීමේ අපහසුතාවක් පවතිනවා කියලා. එහෙම තියෙද්දී තමයි පත්‍රිකා ගහලා ජනතාව මුලා කරලා තියෙන්නේ. එතකොට පැහැදිලියි මෙතන දිගටම වංචාවක් කරලා කියලා. ඊ.ටී.අයි. ආයතනයේ තැන්පතුකරුවන් 24,700 ක් ඉන්නවා. එතනින් දුප්පත් අහිංසක මිනිස්සු පිරිසක් එකතුවෙලා තමයි මේ සංවිධානය පිහිටුවාගෙන හැමෝම වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කර ගන්න බලන්නේ.

අර කියන ලිපිය බලලාවත් මහබැංකුව අවශ්‍ය නියාමනයක් කරලා නෑ. එහෙම වුණා නම් තැන්පතුකරුවෝ අමාරුවේ වැටෙන්නෙ නෑ. මේ නිසා සම්පූර්ණ වරද මහ බැංකුවෙන් බාරගත යුතුයි. අවුරුදු ගාණක ඊ.ටී.අයි. ගිණුම් වාර්තා අපි ළඟ තියෙනවා. ඒ සියල්ල පිළිගත නොහැකි බව සහ කඩාවැටෙන ආයතනයක් කියලා දන්වලා තියෙනවා. එහෙම තියෙද්දී මහබැංකු නිලධාරීන් ඇයි මෙහෙම කළේ? එහෙම කරලා තැන්පතුකරුවන්ගේ රුපියල් බිලියන 33 ක් වංචා කරලා තියෙනවා. මේ කරුණු හේතුවෙන් අපි සංගමය විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ බැංකුවට විරුද්ධව නඩුවක් පවරා තිබෙනවා. ඒ විතරක් නෙමේ ස්වර්ණමහල් ආයතනයත් මේ විදිහට තැන්පතු අරගෙන තිබුණා. ඒවටත් වෙච්ච දෙයක් නෑ. අන්තිමට ඒ මුදල් ඊ.ටී.අයි. ගත්තා වගේ ගිණුම ඊ.ටී.අයි. එකට මාරු කරලා. මේ අය හැමෝම කරලා තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ජාවාරම් කිරීම විතරයි. අසරණ මිනිස්සු එදාවේල කන්න නැතිව දුක් විඳිනවා. ජාවාරම් කරපු මිනිස්සු නිදහසේ සුරසැප විඳිනවා. අපි ඉල්ලන්නේ වගකිව යුතු නිලධාරීන් මැදිහත්වෙලා කරුණාකරලා අපට සාධාරණයක් කරන්න කියලයි.”

හතු පිපෙන ලෙස මූල්‍ය ආයතන රට පුරා බිහිවෙයි. අත්දැකීම් කොතෙක් ඇතත් ජනතාව ජාවාරම්කරුවන්ට මුලාවෙති. දැනටමත් රටේ මූල්‍ය ගැටලු රාශියකි. ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ ගැටලුව ඉන් කැපී පෙනෙයි. මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව අපි අවධාරණය කරමු.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03