2020 මාර්තු 07 වන සෙනසුරාදා

මහ මැතිවරණ සූදානම

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

19 ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ වසර හතරහමාරක කාලය ඉක්ම ගිය සැණින් ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව පසුගියදා විසුරුවා හරිනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා මාර්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි.

2015 අගෝස්තු 17 වැනිදා අවසන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා දේශපාලන පක්ෂ සියල්ලම මේ වනවිට ඉන්නේ එකම තරග බිමේය. මෙවර මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබාගැනීම පසුගිය බදාදා (04) ආරම්භ වූ අතර එය අවසන් වන්නේ ලබන 16 වැනිදායින්ය. 

මැතිවරණ කොමිසමෙන් අප කළ සොයා බැලීමකදී මේ වනවිට ස්වාධීන කණ්ඩායම් පහක් නාමයෝජනා ලබාදී ඇති බව සඳහන් වේ. ඉන් හතරක් යාපනය සහ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින්ද, එක් කණ්ඩායමක් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්ද නාම යෝජනා බාරදී ඇත. එසේම මැතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත් බාරගැනීම පසුගිය සිකුරාදා ආරම්භ වූ අතර එයද මාර්තු 16න් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එසේම මෙම මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගන්නා ආකාරයත් නාමයෝජනා සංඛ්‍යාවත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලයිස්තුවට නම් 22ක් ලබාදිය යුතු අතර තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාව 19කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැයිස්තුවට නම් 21 ලබාදියයුතු අතර තෝරාගන්නා සංඛ්‍යාව 18කි. කළුතර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා නම් 13ක් ලබාදිය යුතු අතර තෝරා ගන්නා සංඛාව 10කි. මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 15ක් ලබා දියයුතු අතර තෝරා ගන්නා සංඛ්‍යාව 12කි. මාතලේ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 8ක් ලබාදිය යුතු අතර තෝරාගන්නා සංඛ්‍යාව 5කි. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා යෝජනා ලැයිස්තුව නම් 11ක් ලබාදිය යුතු අතර තෝරා ගන්නා සංඛ්‍යාව 8කි. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 12ක් ලබාදිය යුතු අතර තෝරාගන්නා සංඛ්‍යාව 9කි. මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 10ක් ලබාදිය යුතු අතර තෝරාගන්නා සංඛ්‍යාව 7කි. හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 10ක් ඇතුළත් විය යුතු අතර තෝරා ගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව 7කි. එසේම යාපනය දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 10ක් ඇතුළත් කළ යුතු අතර තෝරාගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7කි. වන්නි දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 9ක් ඇතුළත් කළ යුතු අතර තෝරාපත් කර ගන්නා සංඛ්‍යාව 6කි.

ඊට අමතරව මඩකලපු දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 8ක් ඉදිරිපත් කළයුතු අතර තෝරාපත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5කි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 10ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරා පත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 7ක් ඉදිරිපත් විය යුතු අතර තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4කි. කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 18ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරා පත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 15කි. පුත්තලම දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 11ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් කර ගන්නා සංඛ්‍යාව 8කි. අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 12ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරා පත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 9කි. පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 8ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5කි. බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 12ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් කරගන්නා මන්ත්‍රි ධුර සංඛ්‍යාව 9කි. මොණරාගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 9ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් කරගත යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6කි. රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා පත්‍රයට නම් 14ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 11කි. කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලැයිස්තුවට නම් 12ක් ඉදිරිපත් කළ යුතු අතර තෝරාපත් ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 9කි.

ඒ අනුව නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහ තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහත පරිදි වෙයි. පිළිගත් දේශපාලන පක්ෂ නාමයෝජනා ලබාදීමේදී ඇප මුදල් අවශ්‍ය නොවන බව මැතිවරණ පනතේ සඳහන් වේ. එහෙත් ස්වාධීන කණ්ඩායම් සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ඇප මුදල් වෙන් වෙන් වශයෙන් ගෙවීමට සිදුවේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට රු. 44,000ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයට රු.42,000ක්ද, කළුතර දිස්ත්‍රික්කයට රු.26,000ක්ද, මහනුවර දිස්ත්‍රික්කයට රු.30,000ක්ද, මාතලේ දිස්ත්‍රික්කය සඳහා රු.16,000ක්ද, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රු.22,000ක්ද, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රු.24,000ක්ද, මාතර දිස්ත්‍රික්කය සඳහා රු.20,000ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රු.20,000ක්ද, යාපනය දිස්ත්‍රික්කය සඳහා රු.20,000ක්ද, වන්නි දිස්ත්‍රික්කය සඳහා රු.18,000ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා රු.16,000ක්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා රු.20,000ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා රු.14,000ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා රු.36,000ක්ද, පුත්තලම දිස්ත්‍රික්කය සඳහා රු.22,000ක්ද, අනුරාධපුරය දිස්ත්‍රික්කය සඳහා රු.24,000ක්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා රු.16,000ක්ද, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රු.24,000ක්ද, මොණරාගල දිස්ත්‍රික්කය සඳහා රු.18,000ක්ද, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා රු.28,000ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා රු.24,000ක්ද ලෙස ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කළයුතු බව මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය හරහා දැනුම් දී ඇත.

ඡන්දය සඳහා වියදම් වන මුදල මේ වනවිට ගණන් බලා නොමැති වුවත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදල කෝටි හාරසිය පනහකි. එහෙත් මැතිවරණයෙන් පසුව කොමිසම විසින් සිදුකළ ගණනය කිරීම්වලට අනුව කෝටි පන්සිය පනහ දක්වා වියදම ඉහළ ගොස් තිබූ බව දැනගන්නට තිබිණි. එම මුදලිනුත් කොටසක් පමණක් මේ වනවිට රජය විසින් ගෙවා ඇති අතර තවත් මිලියන 1188ක් ගෙවීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එම මුදලවත් නොගෙවා මහමැතිවරණයට මුදල් ඇස්තමේන්තු කළහැකිදැයි යන්න ඕනෑම කෙනෙකුට ඇති ගැටලුවකි. එහෙත් රජයෙන් අදාළ වියහියදම් දැරිය යුතු වන අතර ඒ කර ඇරිය නොහැක්කේ මේ වනවිටත් ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කර ඇති නිසාය.

මහමැතිවරණය සඳහා රාජකාරි කිරීමට රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට මේ වනවිට තීරණය කර තිබේ. එම සමයේදී ආරක්ෂාව සිදුකරන ආකාරය සම්බන්ධව තවමත් නිශ්චිත අදහසකට කොමිසම පැමිණ නැත. ඊට අමතරව නාමයෝජනා ලැයිස්තුවට අනුව අපේක්ෂකයන් සඳහා අංක ලබාදීමද කුමන ආකාරයෙන් සිදුවේද යන්න තවමත් කොමිසම විසින් තීන්දු කර නොමැති අතර ඒ සම්බන්ධව අවසන් නිගමනය එළඹෙන සතියේ පැවැත්වෙන කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි සඳහන් වේ.

ඒ අනුව මැතිවරණය සඳහා සියලු පක්ෂ මේ වනවිටත් සූදානම් වෙමින් සිටින අතර නාමයෝජනා ලබාදීමේ අවසන් දිනයේදී ප්‍රධාන පක්ෂ බොහෝ විට නාමයෝජනා ලැයිස්තු ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එසේ නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව මැතිවරණ සටන ආරම්භ වන අතර ඒ අතරතුර කාලයේ සිදුවන බොහොමයක් දේ මැතිවරණ ඉතිහාසයට එකතු වන බව කිවයුතුය.

♦ ගයාන් ගාල්ලගේ

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03