2020 මාර්තු 07 වන සෙනසුරාදා

අපේ උද්ඝෝෂණ ඩීල් සහ ගේම් දේශපාලනයට එරෙහිවයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

අපේ රටේ උද්ඝෝෂණ නැති දිනයක් නැති තරම්ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රණවිරුවන්, ගුරුවරුන්, රැකියා විරහිත උපාධිධාරීන්, දුම්රිය සේවකයන් වැනි විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන උද්ඝෝෂණ මාසය පුරාම දැකිය හැකිය. මෙම උද්ඝෝෂණ නිසා සාමාන්‍ය ජනතාවට සිදුවන අවහිරතා අවම කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙනම ස්ථානයක්ද සූදානම් කර දුන්නේය. 

පසුගිය කාලය පුරා මෙරට පැවැති බොහෝ උද්ඝෝෂණ සමඟ ඈඳී තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නමයි. එම පක්ෂය උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවන්නේ කුමන අරමුණකින්ද යන්න අප විමසා සිටියේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවගෙනි.

උද්ඝෝෂණ යනු ජනතාවගේ සැබෑ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කළ හැකි ආකෘතියක්. එමඟින් ජනතා ප්‍රශ්න සමාජය තුළ සංවාදයට ලක්කිරීමට අවකාශ සැලසෙනවා. අපි ශිෂ්‍ය කම්කරු, ගොවි, පරිසර වැනි ඕනෑම ප්‍රශ්නයකදී විශාල මැදිහත්වීමක් සිදු කරනවා. අද ජනමාධ්‍ය හසුරැවන කුඩා කණ්ඩායමක් තමයි ජනතා ප්‍රශ්න මොනවද කියල තීරණය කරන්නේ. සැබෑ ප්‍රශ්න ඔවුන් පෙන්වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය දේවල් පමණක් මාධ්‍ය තුළ මාකට් කරනවා. අප පෙනී සිටින්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබඳවයි. ඒ නිසයි අපි උද්ඝෝෂණවල නිරත වෙමින් පවතින ආණ්ඩුවල ඇස් ඇරවීමට කටයුතු කරන්නේ. යනුවෙන් සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ දුමින්ද නාගමුවය. එම පක්ෂය ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම තරග වැදීමට තීරණය කර තිබේ. විවිධ උද්ඝෝෂණ මෙහෙයවීම හරහා එම පක්ෂය මෙරට දේශපාලනය තුළ කිසියම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටී. ඉදිරි මැතිවරණයට මුහුණ දීමේ අරමුණ සම්බන්ධයෙන් දුමින්ද නාගමුව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ හා සජිත් ප්‍රේමදාස කඳවුරේ ප්‍රතිපත්ති දෙකම එකක් බවත්, මෙයට විකල්ප ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, ඒ සඳහා සුදුසුම මග සමාජවාදය බැවින් සමාජවාදය සඳහා පෙළගැසෙන ලෙසට ජනාධිපතිවරණයේදී ජනතාවට පණිවිඩයක් දුන් බවත්, ඉදිරි මහා මැතිවරණයේදී මෙම පණිවිඩය වඩාත් ප්‍රබලව ලබාදීම තම අරමුණ වන බවත්ය.

රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව එම පක්ෂයට තුන්වැනි බලවේගයක් ලෙස මතුවිය හැකිද? මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ මෙරට පළමුවැනි, දෙවැනි හා තුන්වැනි බලවේග ලෙස දැනට ක්‍රියාත්මක වන්නේ එකම දක්ෂිණාංශික දේශපාලනයක් බවයි. තමන්ට අවශ්‍ය තුන්වැනි බලවේගයක් ලෙස මතුවීමට වඩා ධනවාදයට එරෙහි විකල්පයක් ඉදිරිපත් කිරීම යැයි ඔහු කියා සිටියේය.

ජනතාවගේ අවම අයිතීන් රුකගැනීම සඳහා පාර්ලිමේන්තුවට සමාජවාදී නියෝජනයක් හා සටන්කාමී නායකත්වයක් අත්‍යවශ්‍යයි. දැන් පාර්ලිමේන්තුවෙ තියෙන්නේ ඩීල් සහ ගේම් සහිත සම්මුති දේශපාලනයක්. ඒ වෙනුවට ජනතා අයීතීන් වෙනුවෙන් සටන් කරන නායකත්වයක් අවශ්‍යයි. වත්මන් සමාජය ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේ සියලු ප්‍රශ්න පවතින සමාජ ආර්ථික ක්‍රමය හෙවත් ධනවාදය සමඟ බැඳී තිබෙනවා. මෙය වෙනස් කිරීම තුළින් මෙම ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ප්‍රවේශයක් ගැනීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන අරමුණයි. ඒ පුළුල් වෙනස කරන තෙක්, දේශපාලනඥයන්ට ජනතාවගේ ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට, ජනතාව මහජන ව්‍යාපාර තුළ සංවිධානය කිරීම තුළින් එම ගැටලුවලට තාවකාලිකව හෝ  පිළියමක් සෙවිය යුතුයි. එහෙයින් කෙටිකාලීන ඉලක්කයක් වශයෙන් අපි ජනතාව සංවිධානය කරන, ජනතා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජනතාවම මැදිහත් වන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමට කටයුතු කරනවා. දිගුකාලීන වශයෙන් මෙම සමාජ ආර්ථික පදනම විප්ලවීය වෙනසකට භාජනය කොට සමාජවාදය ලෙස හඳුන්වන නව සමාජය බිහිකිරීමට පියවර ගන්නවා.

පසුගිය කාලය පුරා පෙරටුගාමී ජනතා පක්ෂය නිරත වූ විවිධ උද්ඝෝෂණවලින්. ඔවුන් අත්පත් කරගත් සාර්ථකත්වයක් තිබේද යන්නට පිළිතුරු දුන් පුබුදු ජයගොඩ, 

අප සම්බන්ධ වූ අරගලවලින් බහුතරයක් ජයග්‍රහණය කළා. උදාහරණයක් ලෙස සයිටම් ආයතනය වසා දමන ලෙසට කළ උද්ඝෝෂණ, යහපාලන ආණ්ඩුවෙන් ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත අකුලා ගන්නා ලෙසට කළ උද්ඝෝෂණ, සේනා දළඹුවා නිසා වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා කළ උද්ඝෝෂණ, වන විනාශයට එරෙහිව කළ උද්ඝෝෂණ, මහනුවර නගරයේ වායු දූෂණය වළක්වා ගැනීම සඳහා කළ උද්ඝෝෂණ පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා කළ උද්ඝෝෂණ, කම්කරැ අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව කළ උද්ඝෝෂණ, විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව කළ උද්ඝෝෂණ වැනි උද්ඝෝෂණ රැසක් ජයග්‍රහණය කළ හැකි වුණා.

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වධය හා කඩාකප්පල්කාරි ක්‍රියා සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේද පෙරටුගාමීන් වෙතය ඒ සම්බන්ධයෙන් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය හා කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් තම පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවයි. 

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අපේ ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. නවකවධයත් ඇතුළුව විශ්වවිද්‍යාල උපසංස්කෘතියේ ඇති ඇතැම් පසුගාමී ක්‍රියා සම්බන්ධයෙන් අපේ එකඟතාවක් නැහැ. මෙවැනි ක්‍රියා වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කරනවා. මේවාට අපේ නම ගෑවෙන්නේ අපි ඔවුන් සමඟ දේශපාලනය කරන නිසයි. ශිෂ්‍ය බලවේග සමඟ දේශපාලනය කරන විට ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් අපට වගකියන්න සිදුවෙනවා. ඇතැම් බලවේග වෙනස් කර ගැනීමට අපිට පිටත පමණක් නොව එම බලවේග තුළත් අරගලයක් කරන්න සිදුවෙනවා. අපි මූලික වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඔවුන් සමඟ එක්ව සටන් කරන අතරම ඔවුන්ගේ ඇතැම් දුබලතා, පෞරැෂ ගැටලු සහ ආකල්ප වෙනස් කිරීම සඳහාත් කටයුතු කරනවා. ඔවුන්ව දැනුම්වත් කරන අතරම ඔවුන් තුළින්ම එම සංස්කෘතිය වෙනස් කිරීමට මැදිහත් වීමක් අවශ්‍යයි. දේශපාලන මතවාදයක් තුළින් පිරිස දිනාගන්නවා විනා නවකවධය දීමෙන්, හෝ බලහත්කාරය හෝ හිංසා මාර්ගයෙන් හෝ දේශපාලනයට පුද්ගලයන් දිනාගත නොහැකියි. අපි ඔවුන්ව දේශපාලනයට දිනාගන්නේ අපේ දේශපාලන ප්‍රතිපත්ති හා මූලධර්ම තුළින් පමණයි. යනුවෙන් පැවසීය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03