2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

සින්දු කියන දේශපාලකයෝ

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

කලාව සහ දේශපාලන අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. මක්නිසාදයත් මෙම විෂය ද්විත්වය මානව ශිෂ්ඨාචාරගතව මේ වනවිට හැදී වැඩී ඇත්තේ සොහොයුරන් පරිද්දෙනි. එම නිසාම කලාකරැවෝ දේශපාලකයන් වූ අවස්ථාද දේශපාලකයෝ කලාකරැවන් වූ අවස්ථාද ඉතිහාසය පුරා අපට හමුවෙයි. මහ මැතිවරණයේ පෙරනිමිති පහළ වනවිට මේ සමයේ කලාකරැවන්ගේ දේශපාලන කටයුතුත් දේශපාලකයන්ගේ කලා කටයුතුත් අපහට අපමණ දැකගත හැකිය. මේ සටහන අප ලියා තබනුයේ දේශපාලකයන්ගේ කලා කටයුතු පිළිබඳ කියවීමක් පිණිසය.

කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පරාක්‍රමබාහු නිරිඳුන්ද රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ ද කලාවේ නියුතු දේශපාලකයාගේ භූමිකාව අපට කියාපායි. ලාංකික ඉතිහාසය පුරා කලාව ප්‍රිය කළ මෙන්ම කලා කුසලතාවයෙන් හෙබි ජන නායකයෝ රැසක් අපට හමුවෙති. එහෙත් ඔවුන් පිළිබඳ නිසි ගවේෂණයක් සිදුවූවාද යන්න සැකසහිතය. එම නිසාම වර්තමනා දේශපාලකයන් කලාව සිය මහජන ප්‍රසාදය සඳහා යොදාගන්නා අයුරු සෙවීමට අප උත්සුක විය. මෙම සමයේ මහ මැතිවරණය උදෙසා ඇති පූර්ව සූදානම අපගේ නීරීක්ෂණය පහසු කළේය.

ඒ අනුව මෙරට තම මැතිවරණ වේදිකාවෙන් ගී ගයන මහජන නියෝජිතයන් කිහිප දෙනෙක් අපට හමුවිය. එයින් පළමුවැන්නා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංගීත පවුලකින් පැවත එන ජයසේකර මහතා ගායනය විෂයයේ සිය හැකියාව මනාව ප්‍රකට කර ඇත. සුප්‍රසිද්ධ ගායක කිත්සිරි ජයසේකර යනු දයාසිරි ජයසේකරන්ගේ වැඩිමහල් සොහොයුරාය. පූර්ණකාලීන දේශපාලනයේ නියුතුවන ඔහු වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ප්‍රමුඛ ගායන ශිල්පියාය.

දයාසිරි ජයසේකර මහතාගේ ගායන හැකියාව ප්‍රකට වූයේ මීට වසර දහයකට පමණ පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති රියැලිටි වැඩසටහනක් ඔස්සේය. පසුව ඔහු ගායන කළ කී අතිශය ජනප්‍රියත්වයට පත්විය. වරක් ඔහු මාධ්‍යයට ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳ මෙලෙස සටහනක් තබා තිබුණි.

“මම කුඩා කාලයේ සිටම සංගීතය හැදෑරුවා. පාසල් කාලයේ සිටම විවිධ ගීත ගායනා කළා. වයඹ ගීතයත් ගායනා කළේ මගේ කටහඬින්. රුක්මණී තිලකරත්න මැතිනිය මගේ සංගීත ගුරුවරිය. මට ‘ස රි ග ම ප ද නි’ කියලා දුන්නු මගේ පළමුවැනි ගුරුවරයා ආනන්ද රංබණ්ඩාර මහතා. මමයි, මගේ අයියා කිත්සිරි ජයසේකරයි කොළඹ ඇවිත් සංගීත කණ්ඩායමක් පටන්ගත්තා, සිවුසැරයන් කියලා. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාලයට තේරුණ ගමන්. නමුත් විශ්වවිද්‍යාල පටන් ගෙන නැහැ. ඒ කාලයේ මට ආසාවක් ඇතිවුණා මොඩ්ලින් කරන්න. ඒ වගේම චිත්‍රපටවල රඟපාන්නත් ආස හිතුණා. මේවා කරන්න මම කොළඹට ආවා. අයියත් මමත් ලංකාව වටේ තියෙන සංදර්ශනවලට ගිහින් ගෙදර එන්නේ පාන්දර. ඒක ඉතාම රසවත් කාලවකවානුවක්.”

“ඔයා හුඟක් වෙනස් වෙලා, හිත අරන් යන්න, ආලවන්ත නෙත් විදා” ආදි ගීත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රසිද්ධ ගීතයි. වෘත්තීය ගායකයකු පරිද්දෙන්ම ප්‍රතිභාවක් පිළිබිඹු කරන ජයසේකර මහතා දේශපාලන වේදිකාවට සංගීතය මුසුකිරීමේ පුරෝගාමියෙකි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාද පූර්ණකාලීන දේශපාලනයේ නියුතු කලා කුසලතාවයෙන් යුත් මන්ත්‍රීවරයෙකි. අළුත්ගම ජාතික පාසලේ සෞන්දර්ය අංශයේ ගුරුවරයකුව සිටියදී ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ හෙතෙම රංගකලාව සංගීතය මෙන්ම චිත්‍ර කලාවේද සමත්කම් දක්වන්නෙකි. තම දේශපාලන ගමන වෙනුවෙන් ඔහු සිය කලා හැකියාවන් භාවිත කරයි. ඔහු විසින් නිර්මාණය කර ඇති අම්මාවරුනේ, අමා දම්සර වැනි සංවාදශීලී සංගීතාත්මක වැඩසටහන් සැලකිය යුතු ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබේ.

“අළුත්ගම මහා විද්‍යාලයේ වික්‍රම පියදාස කියන ගුරුවරයා යටතේ තමයි මම මුලින්ම නාට්‍ය සහ රංගකලාව පිළිබඳ හැදෑරුවේ. ‘ශ්‍රී වික්‍රම’ කියන නාට්‍යය ජෝන් ද සිල්වා සම්මාන උළෙලට ඉදිරිපත් කරලා බස්නාහිර පළාත් හොඳම නාට්‍යය විදිහට සම්මාන ලැබුවා. පසුව මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය සහ රංගකලාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඒ කාලේම ධර්මසිරි බණ්ඩාරනායකන්ගේ භවදුක, භවතරණ කියන සංචාරක සිනිමාපටවලට දායක වුණා. මේ කාලයේම  තමයි ‘වන වැස්සෝ’ කියන පරීක්ෂණ නාට්‍යය නිර්මාණ කළේ.

පස්සෙ තවත් නාට්‍ය නිර්මාණය කළා. මහපොළ සම්මානය එහෙම ලැබුණා. මීට අමතර දැනට ගීත කිහිපයක් එළියට ඇවිල්ලා තියනවා සුනිල් ආර් ගමගේ, මංජුල හොරවල විතාන වගේ අය ගීත රචනා කරපු. සංගීතවත් කළේ සරත් ද අල්විස්. තවත් ගීත කිහිපයක් එන්නත් තියෙනවා. තව ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කරලා තියෙනවා ‘ඔබ හිනා වුණොත් ඇති’ කියලා.”

පියල් නිශාන්ත මහතා බොහෝ සෙයින් ප්‍රකට වූයේ පබා, කෝපිකඩේ, අමා, පබළු වැනි ටෙලිනාට්‍ය සඳහා දායත්වය ලබාදීම හරහායි. එම කටයුතු සියල්ල ඔහු සිදුකරනු ලැබුවේ පූර්ණකාලීන දේශපාලනයේ නියුතුව සිටියදී වීම විශේෂිතය.

පාර්ලිමේන්තුවේ සිටින කලාව ප්‍රධාන ධාරාව කර නොගත් පූර්ණකාලීන දේශපාලකයන් අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සිටී. පසුගිය ජනාධිපතිවරණය සමයේ ඔහුගේ එම හැකියාවන් ප්‍රකට විය. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සංගීත කණ්ඩායමක් වන මේරියන්ස්, ෆ්ලෑෂ් බෑක්, සකුරා ෆ්ලෑෂ් සහ ජිප්සීස් සමඟ සිය ගායන වාදන හැකියාවන් සජිත් ප්‍රේමදාස ප්‍රකට කළේ වරක් දෙවරක් නොවේ. ගිටාර්, පියානෝ, විදුලි ඕගන්, ඩ්‍රම් සෙට් වැනි සංගීත භාණ්ඩ වාදන කීරීමේ හැකියාවද සජිත් ප්‍රේමදාස මහතා හට ඇත. එසේම ගායන හැකියාව ඔහු සතු බව පසුගිය සමයේ ජනතාවට දැන කියා ගැනීමට ලැබුණි.

විමල් වීරවංශ මහතාද දේශපාලන වේදිකාවේ ගායන හැකියාව ප්‍රකට කරන දේශපාලකයෙකි. ගුණදාස කපුගේ ශූරීන්ගේ ගී ගයන්නට ප්‍රියකරන ඔහු නිතර ගයනු අසන්නට ලැබෙන්නේ ‘දවසක් පැළ නැති හේනේ’ ගීතයයි.  මීට අමතර හරීන් ප්‍රනාන්දු, සුජීව සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන වැනි දේශපාලකයන්ද වේදිකාවේ ගී ගයන්නට ඉදිරිපත් වන දේශපාලකයන් වෙයි.

මෑතකාලීනව බිහිවූ කලා කුසලතාවන් තිබූ රාජය නායකයන් අතර මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් ප්‍රධානය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේද ගායන සහ වාදන කටයුතුවල නිරත විය. එම කටයුතු ඉමහත් ප්‍රසිද්ධියට පත්වූයේය. මහින්ද රාජපක්ෂ මහතා තුළින් ප්‍රකට වූයේ රංගන හැකියාවයි. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘නොමියන මිනිස්සු’ චිත්‍රපයට ඔහු රංගනයෙන් දායක වී ඇත. එසේම ඔහුගේ රංග ප්‍රතිභාව මනාව ප්‍රකට වූ අවස්ථාව වන්නේ බැද්දේ සෙනෙහස ටෙලිනාට්‍යයේ ගමරාලගේ චරිතයයි. මේ අනුව ලාංකික දේශපාලනයේ ඉහළ සිට පහළට කලාවේ දායකත්වය මනාව පැහැදිලි වෙයි.

අප සාකච්ඡා කළේ දේශපාලනය අතරේ කලාව කරන සහ කළ නූතන දේශපාලකයන් පිළිබඳවයි. කලාවෙන් ජනාදරයට පත්ව දියවන්නාව තරණය කළ චරිත මෙරට දේශපාලනයේ අපමණ හමුවේ. ලෝක දේශපාලනයේද එම තත්ත්වය එසේමය. අවසානයේ අප අවබෝධ කරගත යුත්තේ කලාවේ දෙශපාලනයත් දේශපාලනයේ කලාවත් ඓතිහාසික කතන්දරයක් බවයි. එම නිසාම එම විෂයයන්හි අන්තර් සම්බන්ධය පිළිබඳ විවේචනාත්මක අදහස් පළකිරීමෙන් ඵලක් නැත.

චමිඳු නිසල් ද සිල්වා

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03