2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

අප්‍රේල් විභාගේ

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

මහ මැතිවරණයේදී මොකද වෙන්නේ...?

මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න නම් පාර්ලිමේන්තුව විසුරැවන විට රටේ තිබෙන දේශපාලන තත්ත්වය ගැන සොයාබැලිය යුතුය. ඒ වගේම ඡන්දෙකට යන්න මේ තරම් හදිසියක් ආණ්ඩුවට තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයටත් උත්තරයක් තිබිය යුතුය.

මෑතකාලීන දේශපාලනය තුළ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අතර ලොකු කාලසීමාවක් තිබෙනවාට බලයේ ඉන්න පක්ෂය කැමැති නැත. විධායක ජනාධිපති ක්‍රමය රට ඇතුළේ ස්ථාපිත වීමෙන් පස්සේ ජනාධිපතිවරණය ජයගත් වහාම මහ මැතිවරණය පැවැත්වීම ජයගත් පක්ෂයට විශේෂ වාසියක් වී තිබෙන අයුරැ නිරීක්ෂණය කළ හැක. 1988 ප්‍රේමදාස ජනාධිපතිවරයා ජයගෙන මාස තුනක් ඇතුළත මහ මැතිවරණය තබා ජයගත්තේය. 93දී ඔහුගේ ඝාතනය වීමත් සමඟ ඇතිවූ දේශපාලන අලකලංචි මැද්දේ තාවකාලිකව රටේ ජනාධිපති පදවියේ දිවුරැම් දුන් ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට නොයා මහ මැතිවරණයට ගියේය. ප්‍රතිඵලය වූයේ මෙරට දේශපාලනයට, හදිසියේ කඩාපාත් වූ චන්ද්‍රිකාගේ පොදුජන එක්සත් පෙරමුණට ජය ලැබීමය. ඊට පසුව 1994 පැවැති ජනාධිපතිවරණයේ ජයද චන්ද්‍රිකාට හිමිවිය.

වසර 10ක් ඉක්ම යාමෙන් පසුව 2004 දී පැවැත්වූ මහ මැතිවරණයේ ජයගැනීමට චන්ද්‍රිකා සමත්වූයේ 2001 දෙසැම්බර් 05 වැනිදා සිට පැවැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව අවුරැදු දෙකහමාරකදී ගෙදර යවමිනි. ඒ සමඟ 2005දී ජනාධිපතිවරණය පැවැත්වුණු අතර මහින්ද එහිදී තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. 2010 දී මහින්ද ජනාධිපතිවරණය පවත්වා විශිෂ්ට ජයක් ලබාගත් අතර ඊළඟට මහ මැතිවරණය පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට වැලේ වැල් නැති කරමිනි. ඒ කාලයේ විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එන මන්ත්‍රීවරැන්ට සියලු දොරටු විවෘත වී තිබුණු අතර මහින්දගේ වචනවලින් එය හැඳින්වූයේ සැලූන් දොර වශයෙනි. මේ සැලූන් දොරේ ආනුභාවයෙන් අද විපක්ෂයේ සිටි ඇතැම් මන්ත්‍රීවරැ හෙට රජයේ ඇමැතිවරු බවට පත්වූහ. එහෙම ආණ්ඩුව කොතරම් ශක්තිමත්ව තිබුණත් 2015දී මහින්දත් පරාජය විය. සිරිසේන මහතා ජනාධිපති විය.

සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩිකළේ යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණයි. වැඩිදවසක් නොගොසින් ඒ බව සිරිසේන මහතාට අමතක වූ ආකාරයත් දකින්නට ලැබිණි. මේ දෙපාර්ශ්වය ගිවිසගත් දිනසියයේ වැඩසටහනේ අවසන් අංකය වී තිබුණේ මහ මැතිවරණයයි. ගිවිසගත් ආකාරයටම මාස 03කින් මහ මැතිවරණයකට යාම යූ.එන්.පී.යේ අවශ්‍යතාව වී තිබිණි. ජනාධිපතිවරණ ජයේ උණුසුම නික්ම යාමට පෙර මහමැතිවරණය පවත්වා ජාතික ආණ්ඩුවකට නොගොස් ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබාගෙන තනිවම ආණ්ඩුවක් පිහිටුවීම යූ.එන්.පී. නායකයන්ගේ අරමුණ වී තිබිණි. එම අරමුණු පීලි පැන්නවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ඔහු සමඟ ඒ වනවිට පෑහී සිටි ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස කිව්වේ දැන් ඡන්දයකට ගියොත් යූ.එන්.පී.ය ආණ්ඩුව තනිවම පිහිටුවනු ඇති බවය. එසේ වුණොත් තමන්ට සිදුවන්නේ ජාතික ආණ්ඩුවක කටයුතු කිරීමට නොව යූ.එන්.පී. ආණ්ඩුවේ වලිගයක් වීමට බව ඔවුන්ගේ මතය විය. ඒ වනවිට බැඳුම්කර ගනුදෙනුව මගඩියක් බවට හඬක් නැගෙමින් තිබූ අතර ඒ පිට දමා සිරිසේන මහ ඡන්දය පැවැත්වීම දසින් දවස කල් දැම්මේය. පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ඒ වනවිට තිබුණේ ජනාධිපතිවරයා අතේය. මැයි 15 වැනිදා සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව වුවද පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ ජනාධිපති බලය වෙනස් නොවීය. අවසානයේ පාර්ලිමේන්තුව විසුරැවා හැර අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණය පවත්වන විට ජනාධිපතිවරණයේ ජය ලබා මාස 08ක් ගතවී තිබුණි. යූ.එන්.පී.යට තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි විය. පරාජයට පත්ව සිටි මහින්දලා දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටීමද එම ප්‍රතිඵලයට බලපෑම් කළ ලොකු සාධකයක් විය.

මහ මැතිවරණයෙන් පසුවද ආණ්ඩුව හරි පාරේ යාම සිතාමතාම අතහැර දැමූ බවක් පෙනුණේය. ඊළඟට සිදුවූ දේ දැන් අතීතයට එක් වී හමාරය. දැන් මහින්දලා ජනාධිපතිවරණය ජයගෙන ශක්තිමත් වී මහ මැතිවරණයට ඉහළම විශ්වාසයකින් තරග වදින විට යූ.එන්.පී.යට සිදුවී තිබෙන්නේ තමන් තරග කළ යුතු ලකුණ හෝ සොයාගැනීමට දඟලන තත්ත්වයකි. ආණ්ඩුව අතේ තිබියදී කළ නොහැකි වූ දේ ගැන මේ වනවිට යූ.එන්.පී. නායකයන් කනගාටු නොවෙනවා නම් ඒ ගැන පුදුම විය යුතුය.

විපක්ෂය එසේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයක සිටියත් ආණ්ඩුවටද හැකි ඉක්මණින් මහ මැතිවරණයකට යාමේ උවමනාවක් තිබෙන බවද පෙනෙන්නට තිබේ. සමහරවිට 2015 දී යහපාලන ආණ්ඩුව මහ මැතිවරණය මාස 08ක් කල්දමා ලබාගත් ප්‍රතිඵලය ගැන සිතා එසේ හදිසි කරනවාදැයි කියන්නත් බැරිය. පවතින පාර්ලිමේන්තුවෙන් වැදගත් පනතක් හෝ සම්මත කර ගැනීමට තරම් හැකියාවක් ආණ්ඩුවට නොහැකිවීමද එක් හේතුවක් විය හැකිය.

ඒ බව පසුගියදා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව හකුලා ගැනීමට සිදුවීමෙන් පැහැදිලි විය. එසේ වුවද ආණ්ඩුව ඡන්දයට හැකි ඉක්මණින් යා යුතු බවට ඉඟිකළේ මේ සිද්ධියෙන් පසුව නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසුව දිගටම කිව්වේ හැකි ඉක්මණින් මහ මැතිවරණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බවය. නමුත් පාර්ලිමේන්තුවට වසර 05 සම්පූර්ණවීමෙන් පසුව එය විසුරැවා හැර මහ මැතිවණයකට යා යුතු යැයි කියූ මන්ත්‍රීන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටියහ. ඔවුන් සමහරන් පෙන්වා දී තිබුණේ වසර 05 සම්පූර්ණ නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුප අහිමි වන මන්ත්‍රී සංඛ්‍යාව 60කටත් අධික බවය. කෙසේ වුවද එවැනි තර්කයක් ගෙන ඒම මහජනතාවගේ පැත්තෙන් සාධාරණ නොවන බව තවත් පිරිසකගේ මතය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විසුරැවා හැරීමට හැකියාව ලැබෙන පළමු දිනයේම එය සිදුකිරීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වී තිබූ බව එයට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම නැගුණු හඬ යටපත් වීමෙන් පැහැදිලි විය.

තවත් පිරිසක් පෙන්වා දෙන්නේ යූ.එන්.පී.ය දැඩි ලෙස භේදභින්නව සිටි මේ අවස්ථාව ආණ්ඩුවට මහ මැතිවරණයේදී ඉහළම වාසියක් ලබාගැනීමට හේතුවනු ඇති බවය. එසේ වාසියක් වීමට නම් විපක්ෂය කැඩී බිඳී තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ආණ්ඩුව පසුගිය මාස තුන තුළ ජනතාවගේ සිත දිනාගෙන තිබීමද ඔවුන් තුළ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ඇතිකර දීමට සමත්ව සිටීමද අවශ්‍යය.

ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පියවර ගණනාවක් මෙරට බොහොමයක් ජනතාවගේ හිතදිනා ගැනීමට සමත්ව තිබෙන බව ඇත්තය. එසේ වුවත් රටේ පාලනය නිසි පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇති යන විශ්වාසය ජනතාව තුළ තහවුරැ කිරීමට තවමත් ආණ්ඩුව සමත්ව නැති බව පෙනෙන යථාර්ථයයි. ආණ්ඩුව පොරොන්දු වූ ඇතැම් දේ තමන්ට ලැබී නැතැයි විවිධ ජන කොටස් දැඩි ලෙස කියා සිටිති. ගුරැවරැ සහ විදුහල්පතිවරැන්ගේ විරෝධය රජයේ පාසල් එක දිනකට අකර්මණ්‍ය කිරීමට තරම් බලවත් විය. ඔවුන් කියන්නේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බවය. වතු කම්කරැ වැටුප් ප්‍රශ්නයද මෙලෙසම තීරණාත්මක සටනකට මුලපිරැවේය. මේ සිදුවීම්වලින් පෙනෙන්නේ රටේ ජනතාව ආණ්ඩු ලබාදෙන පොරොන්දු ලෙහෙසියෙන් ඉවත දැමීමට සූදානම් නැති බවය. ආර්ථික පීඩනයද තවම අඩු වී නැත. අලුත් අවුරැදු කාලය එළඹෙන විට එම පීඩනය දැනට වඩා අඩුවී නොතිබුණොත් ආණ්ඩුව බලාපොරොත්තු වන විශාල වාසිය නොලැබී යාමටද ඉඩ තිබෙන බව පැහැදිලිය.

පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ සජිත්ලාගේ පාර්ශ්වයද අලුත් ගමනකට ආරම්භය ලබාගැනීමට සූදානමින් සිටී. සජිත්ට අහිමි වන විපක්ෂනායක ධුරයේ සිට ඔහු ආණ්ඩු විරෝධී බලවේගයේ නායකත්ව අසුනට යාමද සිදුවනු ඇත. එහි අනාගතය යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි තීරණ සමඟ බැඳී පවතින බවද පැහැදිලිය. මේ දෙදෙනාට එකඟත්වයකින් වැඩ කිරීමට නොහැකි වුවොත් කුමක් සිදුවනු ඇතිදැයි කිව නොහැක. එහෙත් නිසැකවම එහි වාසිය ආණ්ඩුව සතු වනු ඇත.
මෙහෙම බලාගෙන යනවිට ජනාධිපතිවරණ ජයග්‍රහණයකින් පසුව හැකි ඉක්මනින් මහ මැතිවරණයකට යාමට හැම ආණ්ඩුවක්ම කැමැත්තෙන් පසුවීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත.

  ශශීන්ද්‍ර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03