2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කොරෝනා කටට කිට්ටු වෙන ඉතාලියේ - ද. කොරියාවේ අපේ කට්ටිය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

කොරෝනා වෛරස් රෝග වසංගතය (Covid - 19) පිළිබඳ යළිත් උණුසුම ඉහළ යමින් පවතී. ඒ චිනයෙන් බැහැරව අක්‍රමණශීලී ලෙස කොරෝනා වෛරසය ලොව තවත් රටවල් කිහිපයකම පැතිර යාමට පටන් ගැනීමත් එම රටවල්වලින් මරණ වාර්තා වන්නට පටන් ගැනීමත් හේතුවෙනි.

මේ වනවිට අමතරව රටවල් 40ක පමණ රෝගය පැතිර යමින් රෝගය වැළඳුණු සංඛ්‍යාව 80900 ඉක්මවා ගොස් තිබේ. දැනටමත් මෙම කොරෝනාව වෛරසය හේතුවෙන් මියගිය ගණන 2796කි. මින් බහුතරය චීනය තුළ වුවත් ගෙවී ගිය සතිය වනවිට දකුණු කොරියාවේ 11 දෙනෙක් ද ඉරානයේ 19 දෙනෙක් ද සහ ඉතාලියේ 9ක් ද මිය ගොස් සිටියහ.

ප්‍රධාන වශයෙන් චීනයේ පැතිරෙමින් තිබූ කොරෝනා වෛරස් ආසාදනය මේ වනවිට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය තුළද සීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් ලොව පුරා සෑම රටක්ම ගෝලීය කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා දැන් සිටම සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය 25 වැනිදා අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබිණි.

නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 1146ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 11ක්, ලෙස වාර්තා වී ඇත. විදෙස් මාධ්‍ය පවසනා ආකාරයට දකුණු කොරියානු හමුදා භටයන් 18 දෙනෙක් සහ එරට සිටින අමෙරිකානු සෙබළෙක් ද මෙම වෛරසයට ගොදුරු වී සිටිති. චීනය හැරැණු විට කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද දකුණු කොරියාවෙන්ය. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූයේ ඩේගු නගරයෙනි.

මේ වනවිට සංක්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20000කට අධික පිරිසක් දකුණු කොරියාවේ වෙසෙන බවත් එරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඩේගු නගරයේ ශ්‍රී ලාංකිකයන් 915 දෙනකු පමණ සිටින බවත් විදේශ සබඳතා අමත්‍යාංශය කියයි. දකුණු කොරියාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා එරට තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මෙරට ප්‍රජාවේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීමට උපකාරක කවුළුවක් මෙන්ම පැය 24 පුරාවටම ක්‍රියාත්මක දුරකතන සේවාවක් ද එරට තානාපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබේ.

තානාපති කාර්යාලයේ පොදු දුරකතන අංක වන (0082) – 2-735-2966, (0082) – 2-735-2967, (0082) – 2-794-2968 හෝ සසංගා නිකපිටිය, පළමු ලේකම් (0082) – 10-7222-1352, සෙනරත් යාපා. උපදේශක (රැකියා හා සුබසාධන) – (0082) – 10-3389-2227, නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් (0082) – 10-4084-0855, සමන්තා සේනානායක, තෙවැනි ලේකම් (රැකියා සුබසාධන) – (0082) – 10-7499-2966 යන අංක අමතා වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි බව විදේශ සේවා අමත්‍යාංශය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවයි.

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයෙන් යුරෝපා කලාපයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලි රටටයි. එරටින් වෛරසය අසාදිතයන් 359 දෙනකු හමුවී ඇති අතර පුද්ගලයන් 13 දෙනකු මිය ගොස් ඇත. මේ හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළියද අතරමග නවතා දැමීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.

ඉතාලියේ ලොබ්බාර්ඩ් ප්‍රදේශයට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. මේ වනවිට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් 104,000ක් පමණ සිටින අතර ඉන් සියයට 60ක් සිටින්නේ ලොබ්බාර්ඩ් ප්‍රදේශයේය. කෙසේ වෙතත් ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී නැතැයි විදේශ කටයුතු අමත්‍යාංශය පවසා ඇත.

ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන දැක්වීම සඳහා ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දුරකතන අංක 02ක් ස්ථාපිත කර ඇත. ඒ අනුව 0039-06-884-0801 සහ 0039-06-885-4560 යන දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව අතර දේශ සීමා තුළ දුම්රිය ගමනා ගමනය ද නවතා ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉතාලියේ සංචාරය කළ පුද්ගලයකු මගින් ලතින් අමෙරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලයෙන්ද පළමුවරට කොරෝනා රෝගියෙකු හමුවී ඇති බවයි.

මේ අතර කොරියාවේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14ක නිරෝධනයකට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 26 වැනිදා තීරණය කර තිබේ. කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටු රැස්වීමේදී ඉතාලිය හා මැද පෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අවුරුදු නිවාඩුවට මෙරටට පැමිණීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුකර තිබේ.

► සටහන - හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04