2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

චීන බඩුවලට ලංකාවේ දොර වැහුණෝත්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

ශ‍්‍රී ලංකාව හා චීනය අතර වෙළෙඳ හා සංචාරක සම්බන්ධතා දියුණු තියුණු වී තිබේ. තවදුරටත් වර්ධනය වෙමින් පවතින අවකාශය තුළ කෝවිඩ් - 19 වෛරසය නොසිතූ ඉරණමකට තල්ලු කර ඇති බව පෙනේ. ගුවන් ගමන් සීමා කර ඇත. වරාය මෙහෙයුම් පාලනය කර තිබේ. එය ආනයන හා අපනයන අංශවලට බරපතළ සේ බලපා ඇත. එක තීරයක්, එක මාවතක් චීනය මෑත කාලය තුළ අනුගමනය කළ දර්ශනයයි. මුහුදු මාර්ගයෙන් ආසියාව හරහා යුරෝපයට ඇතුළු වන අතර එමගින් අලුත් සැපයුම් මාර්ගයක් විවෘත වෙයි. ජාත්‍යන්තරය පුදුමයෙන් බලා සිටියදී සේද මාවතට එකතු වන රටවල්වල ආර්ථික උදාව වෙනුවෙන් ලෝක බැංකුවට විකල්පයක් සේ AIIB නොඑසේනම් ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුව පිටිට වූ චීනය එයින් විශාල පෙරුළියකට ගමන් කරමින් සිටියේය. වෛරසයේ බලපෑම බරපතළ අභියෝගයක් වී තිබේ. මෙරට ගනුදෙනුකරැවන් පවා අලෙවියට ඇති භාණ්ඩයක් මිල දී ගන්නට කලින් චීනයෙන් ගෙන්වන ලද එකක් දැයි අහන තැනට පත්ව ඇත. මෙම තාවකාලික තත්ත්වය ගැන පුළුල් අවධානයක් යොමු කළ යුතුය.

චීන ශ‍්‍රී ලංකා සම්බන්ධතා ගැන යමක්

1949 දී මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසු ප‍්‍රතිපත්තියක් අනුව රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා අරඹන ලද මුල්ම රටවල් අතරින් ශ‍්‍රී ලංකාව ද එකකි. එය ගැන චීන ජාතිකයන් අතර ළෙන්ගතුකමක් තිබේ. එතැන් සිට ගෙවුණ දශක හත තුළ විවිධ අභියෝග හා අවස්ථා හමුවේ දෙරට අතර සම්බන්ධතා නොබිඳී පැවැතිණ. දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සහයෝගීතාව අභිබවා ජන සංවිධාන හා මිත‍්‍ර සංගම් අතර බැඳීමක් තිබේ. ජනයා අතර පෞද්ගලික දැනහැඳුනුම්කම් ඇති කිරීම දක්වා එය ව්‍යාප්ත වී ඇත. චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග්ගේ දැක්ම අනුව සේද මාවත දර්ශනය ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදී පළමුවෙන් එයට එකඟ වූ රටවල් අතර ද ශ‍්‍රී ලංකාව මුල් තැනකය.

සේද මාවත යනු ආසියාවේ රටවල් අතර පැවැති ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික ප‍්‍රවාහය නැගෙනහිර සහ බටහිර සමඟ ගොඩබිමින් ඓතිහාසිකව යා කරන ලද මාර්ගයයි. චීනයේ නිපදවන සේද රෙදිපිළි සැතපුම් 6,500 ක් පමණ දුර ගෙවා යුරෝපීය රටවලට වෙළෙඳාමේ ගිය ගොඩබිම් මාර්ගය මෙම මාවතෙහි පසුබිම් කතාව බව දැක්වෙයි. අවුරැදු දෙදහස් දෙසීයකට පමණ කලින් පැවැති මෙම වෙළෙඳාම චීන ශිෂ්ටාචාරයේ වර්ධනයට බෙහෙවින් දායක වී තිබේ. ඉන්දියානු උප කලාපය, සහ අරාබිය යන ඉපැරණි ජනාවාස සම්බන්ධ කරගනිමින් ඒවායේ ආර්ථික සහ සමාජ ප‍්‍රගමනයට සේද මාවත මගින් සිදු කරන ලද මෙහෙවර විවිධ පැතිකඩවලින් සොයා බලන්නට පර්යේෂකයෝ සමත්ව සිටිති. මෙයින් වසර දහස් ගණනකට කලින් ලෝකය පුරා බැඳීම් ඇති කරන ලද්දේ වෙළෙඳාමේ ගිය දූතයන් මුල් කරගෙනය. වර්තමානයෙහි යෝජනා වී ඇති සේද මාවත මුහුද ඔස්සේ සකස් කරනු ඇති අතර තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය විශ්ව ව්‍යාප්තියක් බවට පත්ව ඇති මෙකල එහි ප‍්‍රයෝජන අති මහත් විය හැකියැයි සැලකේ.

කැන්ටන් ප‍්‍රදර්ශනය මෙම වසරේ නැත

කැන්ටන් වෙළෙඳ ප‍්‍රදර්ශනය මෙරට ව්‍යවසායකයන් අතර ඉතාම ජනප‍්‍රිය තැනකි. හොංකොං නගරයට ආසන්න එනම් විවෘත ආර්ථිකය මුලින්ම භාවිතයට පැමිණි ගුඇන්ග්ෂූ ප‍්‍රදේශයේ පිහිටි කැන්ටන් නගරය 1953 දී අරම්භ කරන ලද මෙම ප‍්‍රදර්ශනය නොනවත්වා සංවිධානය කරන ලද අතර මෑත දශකය තුළ වසරකට දෙවතාවක් පවත්වන්නට උනන්දු වූ බව දැක්වේ. වර්ග මීටර් මිලියනයකට වඩා විහිදුණ මෙම භූමියෙහි ඇති අලුත් දේ දැක බලාගැනීම සඳහා ලෝකයේ නන් දෙසින් එක ප‍්‍රදර්ශන වාරයකට ලක්ෂ දෙකක පමණ වෙනත් රටවල පිරිස් එන බව දැක්වෙයි. කෙසේ වෙතත් 2020 කැන්ටන් වෙළෙඳ ප‍්‍රදර්ශනය අත්හිටුවන බව එහි සංවිධායකයන් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එහි ප‍්‍රදර්ශන භූමිය ලෝකයේ විශාලතම වෙළෙඳ සංකීර්ණය සේ සැලකෙන වෝල්මාට් අංගන හැත්තෑ එකක් තරම් විශාලය. එහි අලෙවියට නැති දෙයක් නැත. බලශක්ති, ඉදිකිරීම්, කෘෂි සහ රසායනික අංශවල අලුත්ම දේ එහි ඇති අතර නවතම අංග වශයෙන් රොබෝවරුන්ට ද ශාලා ඉඩකඩ වෙන්වී තිබුණි. ලාංකිකයෝ දහස් ගණනින් වාර්ෂිකව එහි යන අතර එතැනදී ඇනවුම් කරන දේ මෙරටට ගෙන්වා ගැනීමට සියලු පහසුකම් තිබේ. නමුත් මෙම වසරේ අවලංගු කිරීම සමඟ සබඳතා සීමා විය හැකිය. එහෙත් වෙළෙඳ හා ව්‍යාපාර අංශ ඉදිරියේ චීනය අමතක කළ යුතු රටක් නොවේ. 2014 දී ඉබෝලා වෛරසය පැතිරෙන විට කැන්ටන් ප‍්‍රදර්ශනයට ඇතුළු වූ සියලුම දෙනාගේ උශ්ණත්වය මැන බලා නිරෝගී පුද්ගලයන්ට පමණක් දොරටු විවෘත කළේය. නමුත් විද්‍යාව හා තාක්ෂණය දියුණු, ප‍්‍රතිකාර වෙනුවෙන් නොයෙක් ඖෂධ ඇති කාල වකවානුවක වෙළෙඳාම සහ සංචාරක යන ප‍්‍රධාන ආර්ථික කටයුතු මගහැරෙන තෙක් ඉවසනු හැර අනෙක් දෙයක් සඳහා කරගත හැකි යමක් නැති බව පෙනේ.  

චීනයෙන් මෙරටට ගෙන්වන දේ ගැන අදහසක්

විශාල පරාසයක රෙදිපිළි, යන්ත‍්‍ර සූත‍්‍ර, වාහන, ආහාර, විදුලි හා විද්‍යුත් උපකරණ සහ ප්ලාස්ටික් නිෂ්පාදන චීනයෙන් මෙරටට ගෙන්වයි. සුදු ලූනු, ඉඟුරු, පළතුරු, සහල් සුළු ප‍්‍රමාණයක් හා ඖෂධ වර්ග ද තිබේ. 2000 වසරේදී මෙරටට ලෝකයේ නොයෙක් රටවල ගෙන්වන ප‍්‍රමාණයෙන් සියයට 3.5 ක් චීනයෙන් බව දැක්විණ. නමුත් 2017 වනවිට එය සියයට 20 දක්වා ඉහළ ගිය අතර මෙරටට වැඩිම ආනයනය කරන රට බවට ද පත්විය. පසුගිය වසර පහ තුළ ගෙන්වන දේ අතරින් සියයට තිහක් විදුලිය හා විද්‍යුත් උපකරණ බව රේගු වාර්තා දක්වයි. ජංගම දුරකතන, රේඩියෝ සහ රූපවාහිනී යන්ත‍්‍ර සහ නොයෙක් විදුලි උපකරණ ඒ අතර විය. ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය රෙදිපිළි, යකඩ, වාහන හා වාහන අමතර කොටස් රසායනික ද්‍රව්‍ය, බෝට්ටු හා දැල් ආම්පන්න යනා දී වශයෙන් මෙරටට ගෙන්වන දේ විශාල පරාසයක් පුරා පැතිරී තිබුණි.

ආනයන හා අපනයන අංශවල පුළුල්වීම පදනම් කරගෙන දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන සාකච්ඡා ඇරඹී තිබුණි. 2014 වසරේ දී මූලික සාකච්ඡාවලින් පසු හය වතාවක් අදහස් හුවමාරැ කරගෙන ඇති අතර දෙරටටම ගැලපෙන වෙළෙඳ රාමුවක් ගැන තවමත් නිශ්චිත අදහසක නැත.  

කෙසේ වෙතත් ගුවන් හා මුහුදු ගමන් බිමන් සීමාව සමඟ දෙරට අතර වෙළෙඳාම සීමා වී තිබේ. කොවිඩ් -19 වෛරසය එන්නට කලින් චීනයෙන් ගෙන්වන්නට බොහෝ දේ තිබුණ නමුත් අද වනවිට එය ස්වභාවිකවම පාලනය වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් චීණ භාණ්ඩ හිඟයක් වාර්තා වෙන්නට බැරි නැත. එය කෙලින්ම මිල ගණන් සඳහා බලපාන්නට ඉඩ තිබේ. ඉන්දියාව හා චීනයෙන් ලොකු ලූනු ආනයනය තාවකාලිකව නතර වීම හේතුවෙන් වෙනත් රටවලින් ගෙන්වන අතර එසේ නොවුණිනම් අද වනවිට ලොකු ලූනු මිල දෙගුණ තෙගුණ වීම වැළැක්විය නොහැකිය.

චීන වෙළෙඳ භාණ්ඩ හිඟය පදනම් කරගෙන රට තුළ අතවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩි විය නොහැකි බව ආණ්ඩුවේ අදහසයි. මිල වැඩි කරන්නට ඉඩ නොදෙන බව දැනටමත් ප‍්‍රකාශයට පත් කර තිබේ. එහෙත් එය නියාමනය කරන්නේ ආණ්ඩුව නොවේ. චීනයෙන් ගෙන්වන දේ නතර වුවහොත් විකල්ප තැන්වලින් ගෙන්වා භාණ්ඩ සුලබ කළ යුතුය. නැතිනම් මිල පාලනය කළ නොහැකිය. ජනවාරි මාසයේ මෙරට උද්ධමන අනුපාතිකය සියයට 7.2 කි. පසුගිය දෙසැම්බර් මාසයට වඩා ඉහළ නැග තිබේ. ආණ්ඩුව සෑහෙන බදු අඩු කර ජනතාවට සහන සලසන පියවර හමුවේ පවා මෙම මිල වැඩිවීමට හේතුව කුමක්ද? චීනයේ වෙළෙඳාම තාවකාලිකව සීමා සහිත වීම එක පැත්තක් විය හැකිය. නමුත් මෙම තාවකාලික පසුබිම මත පාරිභෝගිකයන්ට අපහසුතා ඇතිවීම වැළැක්වීමට වගකිවයුතු අංශ වගබලාගත යුතුය.

ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03