2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ට්‍රම්ප් බඩගින්නේ තැබූ අපූරු නිල සවාරිය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

කොක් නයිදෙගේ සාදයට ගිය හිවල් හාමිට මුහුණ දෙන්නට සිදුවූ අබග්ගයට සමාන අලකලංචියකට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙදා මුහුණ දුන්නේය. ඔහුගේ පළමු ඉන්දීය සංචාරයේදීය. මස් නැත්නම් කෑම එපා කියනා තරම් හරක් මස්, හැම්, බේකන් සඳහා   ගිජුකමක් දක්වන ට්‍රම්ප්ට මෙදා දින දෙකක් වෛවාරන්න එළවළු පළතුරු සලාද පළඟාන් රැසක් මැද තනිව සුසුම් හෙළන්නට  සිදුවිය. පෙරුම්පුරා මෙන් සිය ආසියානු මිතුරා මෝදි බලන්නට ගිය ට්‍රම්ප් මේ අලකලංචියට මුහුණපෑවේ මෝදි නිර්මාංශිකයකු වූ හෙයිනි. ඒ මදිවාට ට්‍රම්ප්ගේ දිව පිනවන මස ලබාදෙන ගවයා ඉන්දීයාවේ පූජනීය වන්දනීය වස්තුවකි. එහි සමහර ප්‍රාන්තවල ගව මස, ගව ඝාතනය තහනම්ය. ඒ නිසා හා හා පුරා කියා ඉන්දියාවට පැමිණි ට්‍රම්ප් මෙලනියා යුවළට වෛවාරන්න පෙනුමෙන් යුතු මසාලා සුවඳ හමන ඉන්දීය කෑම වට්ටෝරු අනුව සැකසුන එළවළු පළතුරු පළඟාන් දැකබලා සැනසෙන්නට සිදුවිය. 

රතු පලස් එලා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි උජාරු ලෙස සිය කැපී පෙනෙන අමෙරිකානු මිතුරා තමන් උපන් නගරයටම ‍ගෙන්වා ගත්තේය. ලෝකේ ලොක්කන් තමන් උපන් පළාතට ගෙන්වා ජනතාව අතර කැපී පෙනෙන හාදයකු වන්න මෝදි දක්ෂයෙකි. මෙයට පෙර අහමදාබාද් නගරය වෙත  ජපාන අගමැතිවරයාද ඇතුළු රාජ්‍ය නායකයන් ගණනාවක්ම ගෙන ආවේය. ඔහු මෙවර ලොකේට ලොක්කා හැටියට සැලකෙන ට්‍රම්ප් කැඳවාගත්තේ තමන්ගේ ජනප්‍රියත්වය හොඳටම බැසගොස් රටපුරා වාර්ගික කෝලාහලද ඇරුඹී ඇති සමයකය. අහමදාබාද් ගුවන්තොට සිට ඇරඹුණු ට්‍රම්ප්ගේ ගමන පුරා සිදුවූ රස සිද්ධි එමටය.

ට්‍රම්ප් බටහිර ඉන්දියාවේ අහමබාද් සිට නව සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය වෙත කැඳවාගන ගියේ අතිශය උත්කර්ෂවත් ලෙස සැරසූ මඟකය. ට්‍රම්ප්, මෝදි සහ මෙලනියා ට්‍රම්ප්ගේ රුව රැගත් බැනර් සහ පුවරු විශාල ප්‍රමාණයක් මාර්ගය අවට සවිකර තිබුණි. අපූරු කාරණය වුයේ ඔහු ගිය මඟ කිලෝමීටර් තුනක් ඇතුළත අයාලේ යන සුනඛයන් සහ වීථි ගවයන් ඉවත්කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් කලින්ම යොදවා තිබීමය. ඒ මදිවාට ඒ මග දෙපස තිබූ “මුවහත්කාරයන්ගේ මුඩුක්කු” ට්‍රම්ප්ට නොපෙනෙන ලෙස ලහිලහියේ තාප්පයක් ඉදිකර තිබීමය. මේ මුඩුක්කුවාසීහු අවට සුපිරි හෝටලවල පිහියා මුවහත් තියා එදාවේල සරිකර ගන්නා දුප්පතුන්ය. මේ අන්දමට අරපරෙස්සමට ලෝකෙන් ලොකුම ක්‍රිකට් පිටිය ලෙස හැඳින්වෙන සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය වෙත ට්‍රම්ප් කැඳවාගන ගියේ දස දහසකට වැඩි ජන එකතුවක ජයගෝසා සහිත පිළිගැනීමක් ලබාදෙන්නටය. පසුව ආරංචි වූයේ මේ ජනරැළියට එන අයට රුපියල් 200ක සන්තෝසමක් ලබාදී තිබූ බවයි. ඒ කතාව සනාථ කරන්නටදෝ ට්‍රම්ප්ගේ කතාව අවසන් වී මෝදි කතාව අරඹනවාත් සමගම එකා දෙන්නා බැගින් ජනතාව මගහැර යන්නට වූහ. එතැනදි ට්‍රම්ප් ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවකගේම නම් වරද්දමින් කතා කළේය.

ට්‍රම්ප් සහ මෙලනියා ඊළඟ ගමනාන්තය වූයේ අහමදාබාදයේම ගාන්ධි ආශ්‍රමයයි. සති ගණනකට පෙර සිට එය සුනු පිරියම් කර නව මුහුණුවරක් දෙන්නට යෙදුණි. ගාන්ධි නිවසේදී ට්‍රම්ප් කුතුහලයට පත්කළ උපකරණයක් ඔහුට මුණගැසුණි. ඒ ගාන්ධි සිය කර්දාර් සළු වියාගන්නට භාවිතා කළ දේශිය රෙදි විවීමේ යන්ත්‍රය හෙවත් චරකයකි. ට්‍රම්ප් යුවල මේ අපුරු යන්ත්‍රය අතපත ගෑවේ සැබෑ කුතුහලයෙනි. ඉන්පසු ට්‍රම්ප් අතට ලැබුණේ රාමුකරන ලද සිතුවම් දෙකකි. එකක් ට්‍රම්ප්ගේම උඩුකය රුවකි. අනෙක ගාන්ධි සංකල්පයක් අනුව ඇඳ තිබූ නපුරට ඉඩනොදී ඇස් කන් මුව වසා සිටිනා වඳුරන් තිදෙනා සහිත සුප්‍රකට චිත්‍රයේ පිටපතකි. වැඩි සංචාරයන්ට අකමැති ට්‍රම්ප් ඒ ගිය සංචාර කිහිපයේදීත් ලැබූ අසීරුම භෝජන සංග්‍රහයන්ට මුහුණ දුන්නේ මේ ගමනේදීය.
ට්‍රම්ප් කටබඩ පුරා කෑමට ප්‍රසිද්ධ තැනැත්තෙකි. කඩචෝරැ සඳහා ප්‍රසිද්ධ ඔහුගේ ප්‍රධානම ආහාරය හැම්බර්ගර්, ඝනමස් කුට්ටි යෙදු ස්ටේක් සහ ඩයට් කෝලා මෙන්ම  ග්‍රිල් කළ මස් කුට්ටිය. නමුත් අහිංසාවාදයේ පියා ගාන්ධි උපන් නිවසේදී ඔහුට ලැබුණේ අමුතුම සැම්පලයක ආහාර වට්ටෝරුවකි.

ගාන්ධි ආශ්‍රමයේදී පිළිගැනීමේ පානයන් හැටියට දොඩම්-පේර යුෂ දෙවගය මුසුකළ රස කළ ටින් බීම සහ කුරුම්බා වතුර සහිත ටින් හතරේ පැකට් තිබුණි. ඒ හැර එතැන ඒ වෙලාවේම තේ-කෝපි සාදාදෙන කවුන්ටරයෙන් සුප්‍රකට ඩාජී ලිං හෝ ඇසෑම් තේ ද, ග්‍රීන් ටී හෝ ලෙමන් ටී ද නැතිනම් ඉංග්‍රිසි පන්නයට හෝ අමෙරිකන් ආරට තැනූ තේ සප්පායමක්ද ලබාගන්නට අවස්ථාව උදාකර තිබුණි. එතැන කටගැස්මට චොකෝ චිප් ඇතුළු බිස්කට් මෙන්ම බැදපු ආමන්ඩ් මද සහ කජුද, ඇප්‍රිකොට් සමග වියලි මිදිද දක්නට ලැබිණි.

දහවල් පුංචි බඩගින්නට කෙටි කෑම හැටියට මල් ගෝවා සහ තිරිඟු ඇට යොදා අලුත් වට්ටෝරුවකට තැනූ අමුතු සමෝසා ද කඩල පිටියෙන් හැදූ කමාන් නමැති ඉන්දියානු රසකැවිල්ලද පිළිගන්වා තිබිණි.

අතුරුපසද විවිධය. ඇපල් පයි පුඩිම, යහමින් කජු යොදා තැනූ කජු කට්ලී සමග හිතේ හැටියට එවේලේම කෑලි කපා කන්නට දේශිය පළතුරු ඕනෑතරම් එහි විය. අවාසනාවකට මෙන්  කෙචප් යෙදූ මැක්ඩොනල්ඩ් කඩචෝරු සහ ඩයට් කෝලාවට හුරු ට්‍රම්ප්ගේ දිවට මේ අපූරු විවිධ රසැති කෑම අමුතු විය.

ඉන්දියානු ජනපති නිවස රාෂ්ට්‍රපතිභවනේ පැවති භෝජන සංග්‍රහයද අමුතු එකකි. ගවමස් නැති අඩුව එහිදි පිරිමසා තිබුණේ එළු මසිනි. පැය 12ක් පදම් කර ග්‍රීල් කළ එළුමස් මෙන්ම විශේෂයෙන් එළු මස්කුට්ටි දමා තැනූ බිරියානි බත්ද සපයා තිබුණි. චොර්බා නමැති දෙහි කොත්තමල්ලි සූපය මුලින් පිළිගන්වන ලදි. බදින ලද නිවිති කොළ, අල සහ මුං ඇට ආනම තවත් විශේෂයකි. හිමාලයානු හතු සහ අල මුසුකර තැනූ වෑංජනයක්ද ඉන්දියානු සුප්‍රකට රසය දෙන ගරම් මසාලා වෙනුවට ගම්මිරිස් සුදුලූනු කුඩු යෙදූ සැමන් වෑංජනයද දක්නට ලැබිණි. ඉන්දීය ජනපති මැදුරේත් නොවරදින රාජකීය පරිප්පු කරියද නොඅඩුව තිබුණි. අතුරු පසට ලුනු කැරමල් සෝස් යෙදු වැනිලා අයිස් ක්‍රීම්ද කිරෙන් තැනූ ඉන්දීය පස්තෑල වර්ගයක්ද පිළිගන්වන්නට යෙදුණි. නමුත් මේ අමුතු කෑම එකක්වත් අමුත්තන්ගේ සිත්ගත් බවක් දක්නට නොලැබුණි.

ට්‍රම්ප් සහ මෙලනියා යුවළ සමඟ මෝස්තර ශිල්පිනියක සහ ඇඳුම් බිස්නස්කාරියක වන ට්‍රම්ප් දියණිය ඉවන්කාද ඇගේ සැමියා කුෂ්නර්ද මේ ගමනට එක්ව සිටියහ. ට්‍රම්ප් දියණිය ඇගේ අරුමෝසම් බව නිසාම කාගේත් අවධානය දිනාගත්තාය. මේ පිරිස ටාජ්මහල් කරා ගිය අතර එතැනදී ඡායාරූප ගණනාවක්ම ගත්තේය. ඉවන්කා සිටින ඉන් එක ඡායාරූපයක් පරිගණක මගින් ඔපදමා සකසා ඇති බවට සමාජ මාධ්‍ය රැල්ලක්ද නැගුණි. මේ ඡායාරෑපය තමා ඉඟසුඟ මිටින් ගතහැකි තරම් සුන්දර යැයි පෙන්වන්නට ඉවන්කා ෆොටෝෂොප් ශිල්පය යොදා සකසා ඇතැයි චෝදනාවක්ද එල්ල වී තිබේ. නමුත් සමස්තයක් හැටියට දෙරටේම නාහෙට නාහන විසේකාර වයස්ගතයන් වන රාජ්‍ය නායකයන් දෙදෙනා නම් මේ නිල සංචාරයෙන් හිතේ හැටියට සතුටු වූ බව පෙනී ගියේය.

සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03