2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ඇයි මේ ගුරුවරු විදුහල්පතිවරු ස්ට්‍රයික්?

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

මේ දිනවල රට පුරා වැඩවර්ජන, විරෝධතා, අකුරට වැඩ කිරීම් හා උද්ඝෝෂණ රැල්ලක් පැන නැගී තිබේ. මෙම වැඩවර්ජන සියල්ලම පාහේ වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්ය. පසුගිය 26 වැනිදා ද රට පුරා ගුරුවරුන් යන විදුහල්පතිවරුන් ලෙඩ වූයේ ද වැටුප් විෂමතාවයන් මුල්කර ගනිමින්ය. ඊට සම්බන්ධ වූ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කියා සිටියේ වැඩවර්ජනය සාර්ථක බවය.

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සඳහා විධිමත් හා සාධාරණ වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන්නේ රිචඩ් පතිරණ අධ්‍යපන ඇමැතිවරයාය. එය කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එම වැටුප් ක්‍රමය තුළ විදුහල්පතිවරුන්ට ද ගුරුවරුන්ට ද යුක්තිය ඉටුකර තිබිණි. එහෙත් පසුව බලයට පත්වූ එජාප ආණ්ඩු වරින්වර චක්‍රලේඛ නිකුත් කරමින් රිචඩ් පතිරණ මහතාගේ වැටුප් ක්‍රමය අවුල් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරුන් අතර ද ගුරුවරුන්ගේ ශ්‍රේණි අතර ද වැටුප් විෂමතාවක් ගොඩනැගී ඇත. වත්මන් විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කර ඇත්තේ ද සියලු චක්‍රලේඛ අහෝසිකොට නව වැටුප් ක්‍රමයක් මගින් වැටුප් විෂමතා ඉවත් කළ යුතු බවය. එහිදී සෑම ගුරුවරයකුගේම වැටුප ඉහළ යන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

පසුගිය වසර ගුරු - විදුහල්පති වැටුප් විෂමතා අරගලවල තීරණාත්මක වසරක් විය. එම වසරේ මාර්තු 13 වැනි දින මෙන්ම සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින තුළ අසනීප වාර්තා කිරීමට ගුරු - විදුහල්පති දෙපිරිස කටයුතු කළහ. එසේ වුවද යහපාලන ආණ්ඩුව විසින් 2019 වසරේ ජනවාරි 27 වන දින දුම්රිය, විශ්වවිද්‍යාල අනධ්‍යන යන ගුරු විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් සෙවීම සඳහා ඇමතිවරුන් දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබිණි. එම කමිටුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ජනවාරි 29 වැනි දින සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර වැටුප් විෂමතා එම කමිටුව විසින් පිළිගනු ලැබිණි.

එහි ප්‍රතිඵල ලෙස ගුරු සේවය වෙනම සේවයක් ලෙස පිළිගෙන එය “සංවර්ධන සේවාවක්” බවට පත්කොට වැටුප් වැඩි කිරීමට තීරණය විය. එය ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් අගය කරනු ලැබුවද එවැනි කටයුත්තක් කිරීම සඳහා මාස 06ක පමණ කාලයක් ගතවන හෙයින් අතුරු වැටුපක් ගෙවන ලෙස වෘත්තීය සමිති විසින් යෝජනා කෙරිණි. එම අතුරු වැටුප් ගෙවීමේදී අනුගමනය කළ යුත්තේ 2018 සැප්තැම්බර් මාසයේ පැවති එස්. රනුග්ගේ වැටුප් කොමිසම විසින් යෝජනා කරන ලද වැටුප් වැඩි කිරීම බවට වෘත්තීය සංගම් විසින් පෙන්වා දෙනු ලැබිණි. එහෙත් එය ක්‍රියාත්මක නොවීය.

මෙම කාලයේදී නව ආණ්ඩුව බලයට පත්විය. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය තුළද ගුරු - විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත්කොට ඔවුන්ට වැටුප් වැඩි කරන බව සඳහන්ව තිබිණි. එහි ප්‍රතිඵලය වශයෙන් රජය විසින් ද ගුරු - විදුහල්පති සේවය සංවෘත සේවාවන් ලෙස පිළිගෙන අමත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඊට ලබා දී තිබේ. 2019 දෙසැම්බර් 18 වැනි දින වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගුරු විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී ද වැටුප් විෂමතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම. සාකච්ඡා කළ අතර විසඳුමක් ලබාදීම සම්බන්ධව මාසයක කාලයක් අධ්‍යාපන අමත්‍යවරයාට ලබාදීමට වෘත්තිය සමිති එකඟතාවය පළ කළේය. පසුගිය ජනවාරි 21 වන දින එම කාලසීමාව ඉක්මවා ගිය පසු විෂය භාර අමත්‍යවරයා සහ වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාවේදී වැටුප් වැඩි කිරීම සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කෙරිණි. පසුදින 26 වැනිදා රජ පුරා ගුරු - විදුහල්පතිවරැන් ලෙඩ වූයේ එය ක්‍රියාවට නැංවීම බල කරනු පිණිසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

අවුරැදු 23ක් පුරාවට බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ප්‍රායෝගිකව ලබාදීමට කටයුතු කර නැහැ. වැටුප් විෂමතාවලට විසඳුම් ලබා ගැනීම සඳහා ලංකා ගුරු සේවා සංගමය තනි සංවිධානයක් වශයෙන් මෙන්ම අනෙකුත් ගුරු වෘත්තීය සංගම් සමඟ එකතු වී විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒත් ආණ්ඩුව විසින් පොරොන්දු ලබාදීම් සිදුකළත් ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු නොකොට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැවටීමට ලක්කර තිබෙනවා. වත්මන් රජය විසින් ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටු කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්

වත්මන් රජයේ ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කර නව වැටුප් ව්‍යුහයක් සැකසීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුයි. එම කාර්යය ඉටු කිරීමට කාලයක් ගතවන නිසා අතුරු වැටුප් ගෙවීමට කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. එසේ නොමැති වුවහොත් අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. 

ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ

අවුරුදු 23ක් කාලය පුරාවට වැටුප් විෂමතාවලට ලක්වී තිබෙන විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජය අවධානය යොමු කළ යුතුයි. විදුහල්පතිවරයකු ලෙස තුන් වැනි ශ්‍රේණියට බදවා ගත් පසු අවුරුදු 06ක් සේවය කොට දෙවැනි ශ්‍රේණියට උසස් වීමක් හිමි වෙනවා. එතකොට තවත් අවුරුදු 06ක් දෙවැනි ශ්‍රේණියේ කටයුතු කළ යුතුයි. උසස් වීම් ලැබීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වය සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙන්නේ විදුහල්පති සේවයට පමණයි. මේ තිබෙන සියල්ල ඉක්මනින් විසඳන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

සටහන - හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04