2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

විපක්ෂය පරද්දන්න හැදූ ආණ්ඩුවේ ණය යෝජනාව

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

පසුගිය ආණ්ඩුව සමයේ  විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක වූ කොන්ත්‍රත්කරුවන්ට සහ පොහොර ආනයනකරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම ඇතුළු වෙනත් වියදම් පියවීම සඳහා රුපියල් කෝටි 36,700ක අමතර මුදලක් ලබාගැනීමට වත්මන් ආණ්ඩුව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරෝධතාව පළ කිරීම මත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේය. අතුරු සම්මත ගිණුමට සංශෝධන එකතු කිරීම සඳහා ගෙන එන ලද මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරෝධය දැක්වූයේ ආණ්ඩුව ණය ගැනීමේ සීමාව ඉහළ දැමීමට උත්සාහ කිරීම නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබිණි.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළේ යහපාලන රජය ආණ්ඩුව කොන්ත්‍රත්කරැවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවා නොමැති බිල්පත් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා දමා ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් බවත්, එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේම කොන්ත්‍රත්කරුවන්ට ගෙවිය යුතු හිඟමුදල් ගෙවීමට විරුද්ධත්වය පළ කිරීම නිසා එම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා  කියා සිටියේය.. 
රජයේ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ මූලික සිද්ධාන්තයක් බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. “එසේ වුවද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ණය සීමාව ඉහළ දැමීමට විරුද්ධ වන බව පවසමින් විපක්ෂය වගකීම් විරහිත ලෙස කටයුතු කර තිබේ. මෙම යෝජනාව සම්මත කරගැනීමට ඉඩ නොදීම වරදක් බව දැන්වත් වැටහෙනවා නම් එය නිවැරදි කිරීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට තිබෙනවා යැයි” ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එහෙත් එක්සත් ජාතික පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන්  සංවර්ධන වැඩකටයුතු සඳහා විරෝධයක් නොමැති වුවද ආණ්ඩුව ණය ප්‍රමාණය වැඩි කර දැමීමට උත්සාහ කරනුයේ එම මුදල් ඉදිරි මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ යටි අරමුණකින් බැවින් එය පරාජය කිරීමට තමන් සූදානමින් සිටි බවය.

2019 වසරේ රජයේ ඇස්තමේන්තු ආදායම බිලියන 2380කි. වියදම බිලියන 4550කි. මෙම ආදායම හා වියදම අතර පරතරය පියවීම සඳහා ණය ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති හෙයින් ආණ්ඩුව මෙම ණය ඉල්ලීමට  කටයුතු කර තිබේ.

මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයාද වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාවේ සඳහන් වූයේ 2019 වසර සඳහා අනුමත කෙරුණු අයවැය ප්‍රතිපාදන මේ වනවිට අවසන්ව ඇති බැවින් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා රජයේ වියදම් සඳහා මුදල් ලබා දීමට භාණ්ඩාගාරයට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවකි. නොවැම්බර් මාසය සඳහා අනුමත මුදල රුපියල් බිලියන 2400ක් වුවද ලැබී ඇත්තේ රුපියල් බිලියන 1600කි. දෙසැම්බර් මාසයේ එය රුපියල් බිලියන 1800 කට වඩා ලබාගත නොහැකිය. ඒ අනුව නියමිත ඇස්තමේන්තුවට වඩා රුපියල් බිලියන 600ක හිඟයක් පවතී.

එම යෝජනාවේ අන්තර්ගත කරුණුවල සංක්ෂිප්තයක් පහත දැක්වේ. 2019 දෙසැම්බර් මාසය වනවිට නොපියවන ලද වියදම් පහත පරිදිය.

2019 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණ වියදම් සඳහා මැතිවරණ කොමිසමට නොගෙවා ඇති සමස්ත මුදල රුපියල් මිලියන 1188කි. ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයට අමතරව තවත් මිලියන 400 ක අවශ්‍යතාවයක් ද ඇති බව වාර්තා වේ.  සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග හා වෙනත් සේවා සැපයීම සඳහා රුපියල් මිලියන 25,696ක වියදමක් දරා තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පොහාර සැපයුම්කරැවන්ට ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 23,949කි. මෙම මුදල් නොගෙවීම මත පොහොර සැපයුම අඩාල වී තිබේ. ත්‍රිවිධ හමුදාවට සහ මහා භාණ්ඩාගාරයෙන් යැපෙන මහජන ආයතන සඳහා සපයන ලද සේවා වෙනුවෙන් මෙතෙක් නොගෙවා ඇති මුදල රුපියල් මිලියන 5490කි. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා දායක වූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නොමැති මුදල මිලියන 18,449කි. මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්  සඳහා නොගෙවා ඇති මුදල මිලියන 6862කි. පාසල් සංවර්ධන ව්‍යාපෘති සඳහා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 2824ක් වන අතර ගම්පෙරළිය ව්‍යාපෘති, උතුරේ සංවර්ධන ව්‍යාපෘති සහ නැවත පදිංචිකිරීම් සඳහා මෙතෙක් නොගෙවා හිඟ වශයෙන් ඇති මුදල රුපියල් මිලියන 3114කි. ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 1990ක් ගෙවා නොමැත. වෙනත් ප්‍රාග්ධන වියදම් සඳහා මාස 2 කට වඩා කල් ඉකුත් වූ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු ක්‍රමක්ෂය මුදල මිලියන 13,281කි. ඒ අනුව පුනරාවර්තන වියදම් සඳහා මිලියන 101 ක් සහ අදාළ ආයතන විසින් මිලියන 55 ක් සැපයුම්කරුවන්ට ගෙවා නොමැත. 

පසුගිය කාලයේ සමස්ත ආර්ථිකයම අඩපණ විය. පොහොර ආනයනකරුවෝ ආනයනයෙන් හා බෙදාහැරීමෙන් ඉවත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වී ගොවිතැන හා අනෙකුත් භෝග වගාව අනතුරකට මුහුණ පෑවේය. රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීම අඩාල වීමෙන් පිළිකා රෝහල ඇතුළු බොහෝ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති විය. මාස 3ක් 4ක් වැනි කාලයක් පුරා ගෙවීම් සිදු නොකිරීම මත මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් ඇති විය. ඇතැම් කොන්ත්‍රාත්කරුවන් බැංකුවලින් ලබාගෙන තිබූ ණය වාරික ගෙවීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ නිවෙස් වෙන්දේසි කෙරිණි. ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ හා සේවා සැපයූවන්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යෑම අසීරු විය. බැංකු ණය ගෙවාගත නොහැකිව 700කට අධික සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් සංඛ්‍යාවක් වැසී ගියේය. 400කට ආසන්න තේ කම්හල් ප්‍රමාණයක් ණය අර්බුදවලට මුහුණ දී සිටී.  මහා බැංකු වාර්තාවලට  අනුව මෙරට ඇති මූල්‍ය සමාගම් 42ක් වැනි සංඛ්‍යාවකින් 20ක් පමණ මූල්‍ය අර්බුදවලට මුහුණ පා තිබේ. පසුගිය කාලයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවට බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව 167කි. එහෙත් ලංකා ඛණිජතෙල් සංස්ථාව පවත්වාගෙන යනුයේ රුපියල් මිලියන 10,000ක අලාභයක් සහිතවය. ඒ අනුව ඉහත කී බඳවා ගැනීම් සිදු කර ඇත්තේ වගකීමෙන් තොරවය. සංස්ථාවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල් මිල සූත්‍රයක් ගෙන එන ලද අතර එම බර පැටවෙන්නේ මහජනයා වෙතය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 2511 දෙනකු බඳවා ගැනීමට කටයුතු කිරීම මත ඒ සඳහා වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 990කි.

ජාතික ආදායමෙන් 4%ක් දක්වා අයවැය පරතරය අඩුකරන බවට පසුගිය රජය පොරොන්දු වුවද එය සිදු වූයේ නැත. මේවන විට එය 7%ක් පමණ වේ. මා 2015දී රජය බාර දෙන විට පැවතියේ 5% ලෙසිනි. රාජ්‍ය ණය ප්‍රමාණය ජාතික ආයමෙන් 70%ක්ව පැවතිණි. පසුගිය වසර පහ තුළ එය 90% දක්වා වර්ධනය වී තිබේ. ඔවුන් අපට බාර දුන්නේ ඉහළ බදු සහ ඉහළ පොලී අනුපාතයක් සහිත ආර්ථිකයකි. ආර්ථික වර්ධනය 3% ටත් අඩුය. එය දකුණු ආසියාතික රටකින් වාර්තා වූ අවම ආර්ථික වර්ධන වේගයයි. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි අපගේ අරමුණ වන්නේ 2025 වන විට අයවැය හිඟය 4%කට වඩා අඩුවෙන් හා ණය ප්‍රමාණය 70% වැනි අගයක තබා ගැනීමය.

අපගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වනුයේ දේශීය නිෂ්පාදකයන් නඟා සිටුවීම සහ ඔවුන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපළක් සකස් කිරීමය. ඉදිරි පස් වසර තුළ වැවිලි කර්මාන්තය ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කරනු ඇත. තේ, කුරුඳු ගම්මිරිස් ඇතුළු වෙනත් වගාවන් සඳහා අපනයන වෙළෙඳපොළක් නිර්මාණය වනු ඇත. ඒ අනුව වැවිලි ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් සඳහා මසකට රුපියල් 1500ක වැටුපක් ගෙවීමට වැවිලිකරුවන්ට හැකිවනු ඇතැයි” අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03