2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

අභියෝග මැද ජනතා අපේක්ෂා මල්පලගැන්වීම

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

ජනතා සිතුම් පැතුම් සහ දේශපාලනය අතර ඇත්තේ අනුල්ලංගනීය සබඳතාවකි. ඒ බොහෝ දේශපාලන තීන්දු තීරණ ඍජුවම ජනතා අපේක්ෂා මල්පල දරන්නත්, සුණු විසුණු කරන්නත් හේතු වී ඇති නිසාය. පසුගිය යහපාලන නම් වූ දේශපාලන සංකල්පය පිළිබඳ වූ ජනතා අපේක්ෂා පෙන්නුම් කළේ ද ඒ යථාර්ථයයි.

යහපාලන බලාපොරොත්තු එහි න්‍යායචාර්යවරු විසින් තත්ත්පරයෙන් තත්ත්පරයට විනාඩියෙන් විනාඩියට සුණු විසුණු කලෝය. ඉන් අපේක්ෂා භංග වූ ජනයා නැවත රට දෙසට හරවන්නට ගෝඨාභය රාජපක්ෂගේ ජාතික නායකත්වය සමත් විය. ඒ සෞභාග්‍යයේ දැක්ම* ප්‍රකාරවය. දේශපාලන ලියකියවිල්ලකට එහා ගිය අර්ථ පූර්ණ ජාතික අවශ්‍යතාවයක් ඒ තුළ විද්‍යාමානය. එහි ප්‍රධාන ඉලක්කය චතුර්විධ ප්‍රවේශයකි. පුරවැසියා රටට සමාජයට ආදරය කරන වැඩදායී අයකු කිරීම, සතුටින් ජීවත් වන පවුල් ඒකකයක් බිහිකිරීම, සියලු දෙනාට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් ගොඩනැගීම සහ සෞභාග්‍යමත් දේශයක්, ඒ යථාර්ථවාදී ප්‍රවේශයයි. එය යථාර්ථයක් කිරීම දැඩි අභියෝගයකි.

එකී අභියෝගය සමාජගත කිරීම පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය දිනෙන් දින තහවුරැ කරමින් දවස් සියයක් ගතව තිබේ. මේ පසුවිපරම ඒ ගෙවී ගිය ඒ සෞභාග්‍යයේ දින සියය පිළිබඳවය.

ශ්‍රී ලාංකීය භූමියේ වටිනා සම්පත මානව සම්පත බව රජය නිවැරදිව සිය ප්‍රතිපත්ති ප්‍රකාරව හඳුනාගෙන තිබේ. ඒ නිසා ඒ සම්පත නව ප්‍රවණතා කෙරෙහි අවධානයට ලක් කරමින් පෙරට ගැන්මට දීර්ඝ කාලීනව, කෙටි කාලීනව සැලසුම් ක්‍රියාත්මකය. ලෝකය ජය ගන්නා පෞරැෂයකින් යුත් දරුවෙක් නිර්මාණය කළ හැකි අධ්‍යාපනයට රට සූදානම්ය. ඒ සඳහා පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරේ. ඉන් මව්පියන්ගේ ජනප්‍රිය පාසල් පිළිබඳ වූ මානසික ගැටලුව අවම වනවා සේම අධ්‍යාපනයේ සම අවස්ථා සියලුම දරැවන්ට උරුම වේ. උසස් පෙළ සමත් සිසුන් සැමට එක්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර දීමට රජය ගත් අභියෝග රටේ තරැණ පරපුරේ හෙට දවස දීප්තිමත් කිරීමකි. ඒ අනුව පසුගිය වසර විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් එක් ලක්ෂ අසූඑක් දහසකට උපාධියක් සඳහා වූ වරම් හිමිවෙයි. ඒ සඳහා පවතින සරසවිවලට 50% ක් වැඩිපුර ඇතුළත් කෙරෙනු ඇත. ඊට අනුසාරීව විශ්වවිද්‍යාල විද්‍යායතන සියයක් වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මකව තිබේ. එසේම වෘත්තීය ඉලක්ක කරගත් විවෘත විශ්වවිද්‍යාල සහාය රජය අපේක්ෂා කරයි. ඉන් තවත් ලක්ෂයකට අධික සිසුන් පිරිසකට උපාධියට මග සැලසෙයි. එසේම ලෝක ප්‍රවණතාවන්ට අනුකූල උසස් අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපනය කෙරේ. එසේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම්ලත් සියල්ලන්ට තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට රජය තැබූ පියවර සාධනීයය.

අපේ රට දීර්ඝ කාලයක් අපේක්ෂා කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සිහිනය යථාර්ථවත් කිරීමට නව රජය පියවර ගෙන ඇත. අධ්‍යාපනය පිළිබඳ කාර්යසාධන බළකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කෙරේ. මෙතෙක් පැවති එක් එක් රජයන්ට සහ අමාත්‍යවරැන්ට අනුව වෙනස් වන අධ්‍යාපන ක්‍රමයට ඉන් තිත තැබේ.

දිළිඳුකම පිටුදැකීම මේ රටේ නිදහසින් පසු පැවති සියලු රජයන්හි ප්‍රධාන මාතෘකාවය. විවිධ රජයන් ඒ සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළ ද අපේක්ෂිත ඉලක්ක සපුරා නැත. අදටත් මේ රට මැදි ආදායම් රාජ්‍යයකි. රටේ දිළිඳුකම පිටුදැකීම ද ඉලක්ක කරගත් කාර්යසාධන බළකායක් පිහිටුවා දිළිඳු පවුල්වල නිපුණතාවයක් නැති සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන්ට ඒ යටතේ රුකියා ලක්ෂයක් බිහි කෙරේ. ඊට සමගාමීව එම ජනකොටස් ඉලක්ක කරගත් යටිතල පහසුකම් සංවර්ධනය කාර්යක්ෂම කෙරේ. ඒ අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කෙරේ. පානීය ජල සබඳතා එක් ලක්ෂ පනස් දහසක් ලබාදීමට යෝජිතය. ග්‍රාමීය ආර්ථිකය ඉලක්ක කොටගත් වෙළෙඳසල් ජාලයක් රට පුරා ස්ථාපනය කිරීමට කෙටුම්පත් සකසා අවසන්ය. තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ද ලබා දෙයි.

ඉඩම් අමාත්‍යංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, බිම් සවිය සහ අනෙකුත් රේඛීය ආයතන ඒ වෙනුවෙන් වග වෙයි.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත. අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ද ඉදිරි මාසයේ සිට ක්‍රියාවට නැංවේ. එසේම රටේ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රැපියල් 1000 ක් කිරීමට මාර්තු 1 වැනිදා සිට රජය පියවර ගෙන තිබේ.

වසර 2015ට පෙර ලෝකයේ පිරිසුදු නගර අතර පෙරමුණට ආ කොළඹ නගරය අකාර්යක්ෂම නගර පාලනය හේතුවෙන් ගඳ ගැසූ අයුරැ, අපද්‍රව්‍ය තැනින් තැන ගොඩගැසී තිබූ අයුරැ ඔබට මතකය. පොලිස් දෙපාර්තමේන්තුවේ හා සෙසු කණ්ඩායම්වල දැඩි අවධානය ඒ සඳහා යොමුකොට කොළඹ හා දිවයිනේ සියලුම නගර හා පරිසර ජන වාසයක සුදුසු තත්ත්වයට අද පත්කොට තිබේ. එසේම රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත්කොට ඔවුන් සඳහා වාසස්ථානයට සුදුසු පරිසරයට බලපෑමක් නොවන ඉඩකඩම් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ජාතික ආර්ථිකයට බරපතළ ලෙස බලපෑ අවිධිමත් ආයෝජන සැලසුම් ප්‍රසම්පාදන සහ කළමනාකරණ කාර්යක්ෂම කිරීමට රජය තැබූ පියවර ප්‍රශංසනීයය. ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක පිහිටා ක්‍රම සම්පාදන කාර්යාංශයක් පිහිටුවීමට යෝජිතය. රාජ්‍ය ආයෝජන, ප්‍රසම්පාදන, ව්‍යාපෘති විශ්ලේෂණ ආදී වූ බොහෝ වගකිව යුතු කාර්යයන් එයට පැවරේ.

සාම්ප්‍රදායික සුළු කර්මාන්තකරැවා මේ රටේ අමතක වූ පිරිසකි. ඔවුන් දිරිගැන්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත්වීම් ලබාදීමට රජය පියවර ගෙන ඇත. ගම්මිරිස්, කුරැඳු ඇතුළු සුළු අපනයන බෝග ගොවියා පත්ව සිටි ඉරණම ද ඛේදජනකය. මෙම ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීම තුළින් සහ ප්‍රතිඅපනයනය මාෆියාව ජනතාව මේ ඉරණමට ඇද දමා තිබුණි. ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සුළු අපනයන භෝග ආනයනය අවසන් කළේය.

අනුකූලතා සහතිකය (COC) එක් දිනක දී නිකුත් කිරීම, නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ දී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනක දී අනුමත කිරීම, සැහැල්ලු වාහන සඳහා රියැදුරැ බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදුකිරීම ආදිය ද සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පහසු කරවයි. ජනවාරි 1 වැනිදා සිට මාධ්‍යවල ප්‍රචාරණය වන ගීත සඳහා අදාළ ගායික ගායිකාවන්ට කර්තෘභාග ගෙවීම ආරම්භ කර ඇත. ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨමාලා හදාරන අයට සහ ගුරැ පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රුගෙන යාමට සැලසුම් සකස් කරමින් පවතී.

සරලව ගත් කල වසර සිය ගණනක් පුරන් වූ කෙතක් අස්වද්දන්නේ යම් සේද එවන් අභියෝගයක් රජය සතුය. පස සරැ කරමින් වල් උදුරා දමා විනාශ කළ යුතුය. නිවැරදිව ලියදි නොබැන්ඳොත් වතුර නොරැඳේ. වැට කඩුලු බඳින විට දිරා ගිය දඬු ලී ද වෙයි. කක්කුටු බෙන වසන විට වක්කඩ කැඩී ඇත. වක්කඩ බඳින විට ගංවතුරය. විටෙක නියංය. එසේ වුව කෙත අස්වැද්දිය යුත්තේමය. බැත සරු නොකොට පත සරැ නොවේ. අප දුටු වේ ගෙවී ගිය දවස් සියය තුළ එකී අරගලයයි. අපේ අපේක්ෂා මල්පල ගන්වන්නේ ඒ සියලු අභියෝග මැද පීදෙන කෙතය. 

රට දෙස ආදරයෙන් බැලූ සියල්ලෝ ඒකාත්මිකව සංතෘප්තිමත්ය. ඒ ඒකාන්තයෙන් සෞභාග්‍ය කරා පෙරට යන මාතෘ භූමියේ අනාගතය තවත් සියවස් ගණනාවක් සුරක්ෂිත කරනු ඇති බවට වූ විශ්වාසය මතය.

 තිලාන් පුංචිහේවා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03