2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

පැය 8 ගමන පැය 3ට බස්සන දකුණු අධිවේගයේ අලුත් කෑල්ල

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

මෙරට පවතින අධික වාහන තදබදය නිසා දිනකට අහිමිවන මිනිස් පැය ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය. පාරට බහින සෑම කෙනෙකුටම අකමැත්තෙන් වුවද අධික වාහන තදබදයට මුහුණ දීමට සිදුව ඇත්තේ අපේ රටේ ඇති බහුතරයක් වූ මාර්ග පද්ධතිවල ඇති අඩු පහසුකම් නිසාවෙනි. අධික මාර්ග තදබදයට විසඳුම් ලෙස අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳව විවිධ රජයන් යෝජනා ඉදිරිපත් කළද එය සැබෑ කරගැනීමටද විශාල කාලයක් ගෙවා දැමීමට සිදුවිය.

කෙසේ නමුත් අද වනවිට ලංකාවේ සැමට අධිවේගී මාර්ග සිහිනය සැබෑවක් බවට පත්ව තිබේ. එළඹෙන 23 වැනිදායින් පසුව කොළඹ - දකුණ යා කෙරෙමින් ඉදිකෙරුණු දකුණු අධිවේගී මාර්ගයද සම්පූර්ණ වශයෙන්ම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මෙම අධිවේගී මාර්ගය නිසා ජනතාවට අත්වන්නේ විශාල වාසියකි. මෙතෙක් කොට්ටාව සිට මාතර ගොඩගම දක්වා පමණක් අධිවේගී මාර්ගයේ පැමිණි පිරිසට මේ මස 23 වැනිදායින් පසු තවත් කිලෝමීටර් 96ක් දුර ගමන් කිරීමට හැකියාව පවතියි. ඒ මාතර ගොඩගම සිට මත්තල දක්වාය. කොට්ටාව සිට මත්තල දක්වා ඇති මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 222කි.

මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්වීම හේතුවෙන් මෙතෙක් කලක් කොළඹ සිට දකුණට විවිධ රාජකාරි කටයුතුවලට මෙන්ම සංචාරක කටයුතුවලට පැමිණි විශාල පිරිසකට සෙත සැලසේ. කොළඹ සිට හම්බන්තොටට ඒමට වෙනදා පැය 06ත් 08ත් අතර කාලයක් ගෙවා දැමීමට සිදුවිය. එහෙත් මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්වීමත් සමග පැය තුනකටත් වඩා අඩු කාලයකින් කොළඹ සිට හම්බන්තොටට පැමිණීමේ හැකියාව පවතියි. අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ගය පැයට කිලෝ මිටර් 120ක වේගයෙන් යා හැකි ප්‍රමිතියකින් ඉදිකර තිබේ. එහෙත් මෙහි ගමන් කරන්නන්ට මෙහි යා හැකි උපරිම වේග සීමාව වන්නේ පැයට කිලෝමීටර් 100ක් පමණි.

මාතර සිට මත්තල දක්වා ඉදිකෙරුණු අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 96කි. අදියර හතරක් යටතේ මෙහි ඉදිකිරීම් සිදුකෙරුණි. ඒ  කිලෝමීටර් 30ක දුරකින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස පළමු අදියර ලෙසත්, කිලෝමීටර් 26න් සමන්විත බෙලිඅත්ත සිට වැටිය දක්වා වූ කොටස දෙවැනි අදියර ලෙසත්, කිලෝමීටර් 15න් සමන්විත වැටිය සිට අන්දරවැව දක්වා වූ කොටස තුන්වැනි අදියර ලෙසත් හා කිලෝමීටර් 25ක් සමන්විත අන්දරවැව සිට මත්තල හා හම්බන්තොට දක්වා වූ කොටස සිව්වැනි අදියර ලෙසත්ය.

සිව්වැනි අදියර ලෙස ඉදිවන මාර්ගය කොටස මත්තල ගුවන් තොටුපළේ සිට අතුරු අධිවේගී මාර්ගයක් ලෙස පැමිණ අන්දරවැවදී අධිවේගය හා සම්බන්ධ වී හම්බන්තොට දෙසට හෝ කොළඹ දෙසට ධාවනය කිරීමේ හැකියාව සලසා තිබේ. මාතර සිට හම්බන්තොට දක්වා එන මෙම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු 09කින් සමන්විතය. ඒ මාතර ගොඩගම ප්‍රදේශයේ දැනට තියෙන පිටවීම් හා ඇතුළුවීමේ දොරටුවෙන් පසු පිළිවෙළින් අපරුක්ක, බෙලිඅත්ත, කසාගල, අඟුණකොළපෑලැස්ස, වැටිය, සූරියවැව, මත්තල හා හම්බන්තොට ලෙසය.

බෙලිඅත්ත පිටවීමේ දොරටුවෙන් පිටවෙන පිරිසට තංගල්ල ඇතුළු අවට ප්‍රදේශ රැසකට ඉතා පහසුවෙන් යා හැකි වන අතර කසාගල හා අඟුණකොළපෑලැස්ස පිටවීමේ දොරටුවෙන් පිටවෙන පිරිසට මිද්දෙණිය වීරකැටිය ඇතුළු ප්‍රදේශ රැසකට පහසුවෙන් යා හැකිය. එමෙන්ම බරවකුඹුක සිට සූරියවැව, මත්තල හා හම්බන්තොට දක්වා වන කොටස්හි වැඩ මේ වනවිට අවසන් කර මහජනතාවට එය විවෘත කර තිබේ. මෙම කොටස තුළින්ද ඉතා කෙටි කලක් තුළ සූරියවැව, හම්බන්තොට, මත්තල හා කතරගම ඇතුළු ප්‍රදේශ රැසකට යාමට හැකියාව පවතියි. 
වැඩ නිමවී ඇති අදියර 03 කොටසෙහිදී ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ බරවකුඹුක ප්‍රදේශයෙන් අධිවේගයට ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු පිහිටුවා තිබේ. බරවකුඹුක ප්‍රදේශයෙන් අධිවේගයට ඇතුළු වී මත්තල හෝ හම්බන්තොට දෙසට යන පිරිස් සඳහා දෙවැනි පිටවීමේ දොරටුව පිහිටුවා ඇත්තේ සූරියවැව ප්‍ර‍දේශයේය. ඒ සූරියවැව සිට හම්බන්තොට දක්වා දිවෙන අඩි 100 මාර්ගයේ නමඩගස්වැව ප්‍රදේශයේය. මෙහිදී අධිවේගී මාර්ගයෙන් පිටවීමේ දොරටුවක් මෙන්ම අධිවේගයට ඇතුළු වීමේ දොරටුවක්ද පිහිටුවා තිබේ. අධිවේගයේ සූරියවැව දොරටුවෙන් ඇතුළුවන පිරිස හම්බන්තොට හෝ මත්තල දෙසට ධාවනය වීමේදි සූරියවැව සිට කිලෝමීටර් 04ක් පමණ දුර ගිය පසු අධිවේගී මාර්ගය අන්දරවැව ප්‍රදේශයේදී දෙකට බෙදීමකට ලක්වෙයි. ඒ මත්තල දෙසටත් හා හම්බන්තොට දෙසටත් ලෙසය. මේ ස්ථානය හඳුන්වා ඇත්තේ “ANDARAWEWA SYSTEM INSTERCHANGE” (අන්දරවැව සිස්ටම් ඉන්ස්ටර්චේන්ජ්) ලෙසය.

මෙහි ඇති විශේෂත්වය නම් මේ ස්ථානයේදී කිසිවකුටත් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ පිටවීමට අවස්ථාව නොලැබීමයි. මෙම හුවමාරැවේ සිට මත්තල දෙසට ගමන් කරන්නෙකුට පිටවීමේ දොරටුවක් පිහිටුවා ඇත්තේ සූරියවැව ගොන්නොරැව හරහා හම්බන්තොට දිවෙන ප්‍රධාන මාර්ගයේ මත්තල හන්දියේය. අන්දරවැව හුවමාරුවේ සිට මත්තල දක්වා ඇති දුර කිලෝමීටර් තුන හමාරකි. මෙම ස්ථානයේ අධිවේගී මාර්ගයට ඇතුළුවීමේ දොරටුවක්ද පිහිටුවා තිබේ. එමෙන්ම මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට පැමිණෙන පිරිස හා කතරගම ඇතුළු අවට වන්දනාවේ පැමිණෙන පිරිසට ඉතා පහසුවෙන් මත්තල හන්දියෙන් අධිවේගයට ඇතුළුවීමේ පහසුකම තිබේ.

එමෙන්ම සූරියවැව පිටවීමේ දොරටුව පසුකර හම්බන්තොටට යායුතු රථවාහන සඳහා මත්තලට නොගොස් අන්දරවැව හුවමාරුවේ ඉදිකර ඇති හම්බන්තොට අතුරු අධිවේගී මාර්ගය ඔස්සේ ඉතා කෙටිකලක් තුළ හම්බන්තොටට ළඟාවීමේ හැකියාව පවතී. අන්දරවැව හුවමාරුවේ සිට හම්බන්තොට දක්වා ඇති දුර කිලෝමීටර් 14කි. එය හම්බන්තොට මාතර ප්‍රධාන මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ ඉදිකර තිබේ. මෙම ස්ථානයෙන්ද අධිවේගී මාර්ගයට ඇතුළුවීමේ දොරටුවක් ස්ථාපනය කර තිබේ. මෙහි ස්ථාපනය කර ඇති අධිවේගයට ඇතුළුවීමේ දොරටුව නිසා හම්බන්තොට මාගම්පුර වරායේ සිට පිටවෙන වාහන හා හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ආරම්භ වන අනෙකුත් කර්මාන්තශාලා සඳහාද විශාල පහසුවක් අත්වෙනු ඇත.

මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමේදී මුල්තැනක් ගන්නේ නිල්වලා නදියේ ජල ගැලීම් මඟින් පහත්බිම් ආරක්ෂා කර ගැනීමට මුල්තැනක් ලබාදී තිබීමයි. එමෙන්ම මාතර ප්‍රදේශයේ කිරළකැළේ වනෝද්‍යානයට හානි නොවන ලෙස මාර්ගය ඉදිකිරීමද තවත් විශේෂත්වයකි. එමෙන්ම දන්දෙණිය වන රක්ෂිතයට සිදුවන හානිය අවම කර තිබීම, මදුනාගල උණුවතුර ළිංවලට මේ මාර්ගයේ සැලැස්මෙන් කිසිදු හානියක් සිදු නොවීම හා එම මාර්ග පද්ධතිය නවීන පරිදි සංවර්ධනය කිරීම හා රිදියගම වනාන්තරයට මෙන්ම හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතයට කිසිදු හානි නොවන සේ මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

දකුණේ සංචාරය සඳහා පැමිණෙන පිරිසට මෙම අධිවේගී මාර්ගය වාසි රැසක් අත්කර දීමට සමත් වී තිබේ. කොළඹ සිට අධිවේගී මාර්ගයෙන් පැමිණ හම්බන්තොට පිවිසුමෙන් එළියට යන පිරිස සඳහා මාගම්පුර වරායට, බූන්දල වනඋයනට, හම්බන්තොට කුරුළු උයනට, වියළි කලාපීය උද්භිද උද්‍යානයට ඉතා පහසුවෙන් හා කෙටිකලක් තුළ යා හැකිය. එමෙන්ම මත්තල පිටවීමේ දොරටුවෙන් එළියට යන පිරිසට මත්තල ගුවන්තොටුපොළට, තිස්සමහාරාම හා කතරගම පුදබිම් වෙත මෙන්ම යාල, කිරින්ද, වැඩිහිටි කන්ද ඇතුළු ස්ථාන රැසකට ඉතා පහසුවෙන් යා හැකිය. මත්තල පිටවීමේ දොරටුවේ සිට විනාඩි 30ක් වැනි කෙටි කලකින් කතරගම පුදබිමට යාමට ද බැතිමතුන්ට හැකිය. එමෙන්ම සූරියවැව නමඩගස්වැව පිහිටා ඇති සූරියවැව පිටවීමේ දොරටුවෙන් මදුනාගල උණුදිය උල්පත්වලට, රිදියගම සෆාරි උද්‍යානයට හා මීගහජඳුර මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයට විනාඩි 30කටත් අඩු කාලයකින් යා හැකිය.

මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්වීම නිසා රටේ සමස්ත ජනතාවටම විශාල සෙතක් අත්වෙයි. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන අග නගරය වන කොළඹ හා දකුණ අතර ඉතා කෙටිකලක් තුළදී සම්බන්ධ වීමේ හැකියාව මෙම අධිවේගී මාර්ගය නිසා  උදා වී ඇත. වෙනදා හම්බන්තොට සිටින කෙනෙක් සිය අස්වනු අරගෙන හෝ වෙනත් කටයුත්තකට කොළඹට යාම සඳහා අඩුම පැය හයක් හෝ අටක් ගතකළ නමුත් අධිවේගී මාර්ගය නිසා හම්බන්තොට සිට කොළඹට යන්න ගතවන්නේ පැය දෙක හමාරක් හෝ 03ක් වගේ ඉතා කෙටිකලක් පමණි. ඒ හරහා විශාල කාලයක්ද ඉතුරු වෙයි.

එමෙන්ම මෙම අධිවේගී මාර්ගය නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළත් එකට යා වීම විශේෂ ආර්ථික වාසියක් ලබා දීමටද හේතුවකි. හම්බන්තොට මාගම්පුර වරායට එන සියලුදෙනාට ඉතා කෙටි කලකින් කොළඹට ළඟාවීමට හැකි වීමත් හා ඉදිරියේදී හම්බන්තොට ඉදිවීමට යෝජිත කර්මාන්තපුරය සඳහාද මෙම අධිවේගී මාර්ගය ඉතා වාසිදායකය.

සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04