2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සංචාරකයන්ගේ අලුත්ම නවාතැන අස්බයිජානය

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

ලොව බොහෝ රටවල විදේශ විනිමය උපයන ප්‍රධානතම මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. ඇතැම් රටවල සංචාරය සඳහා විශාල මුදලක් වැයවන අතර ඇතැම් රටවල අවම පිරිවැයකින් සංචාරය කළ හැකිය. එවැනි රටවල් අතරට අලුතින් එක්ව ඇත්තේ අසර්බයිජානයයි. ලොව බොහෝ සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් අසර්බයිජානයේ සංචාරය සඳහා ශ්‍රී ලාංකිකයෝද එක්ව සිටිති. මෙතෙක් ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි, මාලදිවයින වැනි රටවල සංචාරයේ නිරත වූ ඔවුන්ගේ  නවතම සංචාරක දේශය බවට අසර්බයිජානය පත්ව තිබේ.

අසර්බයිජානයේ ආර්ථික හා සමාජ සංවර්ධන මධ්‍යස්ථානය සඳහන් කරන අයුරින් එය ලොව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන රටවල් 148ක් අතරින් 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. 2010 සිට 2016 කාලයේ වැඩිම සංචාරක ආකර්ශනය දිනාගත් රටවල් දහය අතර අසර්බයිජානයද විය. 2017 වසරේ එය ලොව වේගයෙන්ම සංවර්ධනය වන සංචාරක ආර්ථිකයක් (46.1% කින් වැඩි වීමක්) පෙන්වූ රට බවට පත් විය.

අසර්බයිජානය නැගෙනහිර යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ සන්ධිස්ථානයක පිහිටි යුරේසියාවේ දකුණු කොකේසස් කලාපයේ පිහිටි රටකි. නැගෙනහිරින් කැස්පියන් මුහුදත්, උතුරින් රුසියාවත්, වයඹ දෙසින් ජෝර්ජියාවත්, බටහිරින් ආර්මේනියාවත්, දකුණින් ඉරානයත් එයට මායිම්ව තිබේ. 1918 දී සිය නිදහස ප්‍රකාශයට පත් කළ අසර්බයිජාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලොව පළමු මුස්ලිම් බහුතර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය විය. 1920 දී සෝවියට් සංගමයට අනුබද්ධ වීමෙන් පසු එය හැඳින්වූයේ අසර්බයිජියානු සෝවියට් සමාජවාදී ජනරජය ලෙසිනි. නූතන අසර්බයිජාන් ජනරජය 1991 අගෝස්තු 30 වැනි දින සෝවියට් සංගමය බිඳවැටීමට මඳ කලකට පෙර එහි නිදහස ප්‍රකාශයට පත් කළේය. වර්තමානයේ එහි ඉහළ ආර්ථික සංවර්ධන වේගයක්, ඉහළ සාක්ෂරතාවක් සහ අවම විරුකියා අනුපාතයක් පවතින රාජ්‍යයකි.

අසර්බයිජානියානු ජනතාව තුර්කි ජනවාර්ගික කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ ප්‍රභවය කොකේසස් සහ මැදපෙරදිගය. අසර්බයිජානියානු සංස්කෘතිය, අසර්බයිජානියානු භාෂාව, අසර්බයිජානියානු කලාව, අසර්බයිජානියානු සාහිත්‍යය, අසර්බයිජානියානු ජනප්‍රවාද, අසර්බයිජානියානු සංගීතය, අසර්බයිජානියානු නැටුම්, අසර්බයිජානියානු සාම්ප්‍රදායික ඇඳුම, අසර්බයිජානියානු අනන්‍යතා කුසලාන සංවර්ධනය කිරීම සඳහා රජය විශාල වෙහෙසක් දරයි. අසර්බයිජානියානු භාෂාව තුර්කි, කෂ්කායි, ගගාවුස්, ටර්ක්මන් සහ ක්‍රිමියානු ටාටර් යන භාෂා සමඟ සමීපතාවක් දක්වයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා එරට රජය බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබේ. රටවල් 93ක සංචාරකයන්ට සංචාරක වීසා බලපත්‍ර අන්තර්ජාලයෙන් ලබාගැනීමට පහසුකම් සපයා ඇති අතර .විදේශීය ව්‍යාපාරිකයන් ආකර්ශනය කර ගැනීම සඳහා 2016 දී බදු රහිත සාප්පු පද්ධතියක් හඳුන්වා දෙන ලදී. දින 90 ක කාලයකට අසර්බයිජානයට යාමට අදහස් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි (ටර්ක්මෙනිස්තානය සහ ආර්මේනියාව හැර) පුරවැසියන් සඳහා වීසා බලපත්‍් අවශ්‍ය නොවේ.

අසර්බයිජානයේ සංචාරය සඳහා පැමිණෙන වැඩි පිරිසක් යුරෝපීය, ආසියානු සහ උතුරු අමෙරිකානු සංචාරකයන්ය. 2017 දී සංචාරකයන් 1,818,258 ක් එහි පැමිණ තිබේ. ඔවුන්ගෙන් බහුතරය රුසියානු, අරාබි, ඉරාන සහ කසකස්තාන සංචාරකයන් වූ අතර සුළු පිරිසක් යුරෝපීයයෝ වූහ. අසර්බයිජානය 2007 දී සංචාරක හෝටල් 320ක් ඉදි කළ අතර මේ වන විට එය හෝටල් 540ක් දක්වා වර්ධනය වී තිබේ.

2019 දී වාර්ෂිකව අසර්බයිජානයට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 3.1 ක් දක්වා වර්ධනය විය. එය 2018 ට සාපේක්ෂව 11.4% ක වර්ධනයකි. එම කාලය තුළ යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම 224,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එය 2018 ට වඩා සියයට 14.7%කින් වැඩිවීමකි.

අසර්බයිජානය සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කළේ 2002 -2005 අතර කාලයේය. 2010 – 2014 කාලයේ නව සංචාරක සංවර්ධන සැලසුම් ආරම්භ කළේය. එරට දළ ජාතික නිෂ්පාදනයට සංචාරක කර්මාන්තයෙන් විශාල දායකත්වයක් හිමිවේ. එහි අගනුවර වන බාකු නගරයට අමතරව විවිධ දේශගුණික තත්ත්වයන් සහ විවිධ ශාක හා සත්ව විශේෂ සහිත සහිත ගන්යා, ලංකරන්, නක්චිවන්, ගබාලා සහ ෂකී වැනි ප්‍රදේශවල සංචාරක හෝටල රැසක් ඉදිකිරීමට රජය පියවර ගත්තේය. ෂකී නගරය වැදගත් වන්නේ එහි ඇති පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි හේතුවෙනි. ක්‍රි.ව. 1763 ඉදිවූ ෂකී ඛාන්ගේ මාලිගාව, සොහොන් සහ බලකොටු එහි දැකිය හැකිය. ද නක්චිවන් ප්‍රදේශය මීට වසර 3,500කට පෙර ආරම්භ වූ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ මූලස්ථානයක් වූ අතර ලුණු පතල් හා සොහොන් ගෙවල් රැසක් එහි දැකිය හැකිය. ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈත ඉතිහාසයක් ඇති කැස්පියන් මුහුද අසල පිහිටි ලංකරන් නගරය ද සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රදේශයකි. බාකූ පැරණි නගරයේ ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක ස්මාරක ගණනාවක් ඇත. ක්‍රි.ව. 2000 දී එහි පැරණි නගරයේ ඇති ෂිර්වාන්ෂා මාලිගාව සහ මේඩන් කුලුන අසර්බයිජානයේ පළමු යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ලෙස නම් කෙරිණි.
අසර්බයිජානයේ කඳුකර සංචාරක ව්‍යාපාරය සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියව තිබේ. ගුසාර් සහ ගබාලා ප්‍රදේශවල විශාල සංචාරක නිකේතන දෙකක් (ටුෆන්ඩග් සහ ෂහඩාග්) ඉදි කෙරුණේ එහෙයිනි. මුහුදු මට්ටමේ සිට මීටර් 2,500 – 3,000ක් (අඩි 8,200 – 9,800) උසින් පිහිටි මෙම නිකේතනවල හිම ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. 1999 දී ආරම්භ කරන ලද ‘මවුන්ටන් ස්පෝර්ට්ස් ක්ලබ්‘ නමැති ක්‍රීඩා සමාජය මගින් කඳුකර සංචාරක ව්‍යාපාරය දිරිමත් කරනු ලැබේ. කොකේසස් කඳුකරයේ ගිනිකොන දෙසින් පිහිටි කියුබා කලාපයේ කයිනලිග්, අසර්බයිජානයේ උසම කඳුකර ගම්මානයයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2,250 (අඩි 7,380) කි. ගම වටා ගුහා ගණනාවක් දැකිය හැකිය.

අසර්බයිජානයේ ඇති තවත් වැදගත් සංචාරක ආකර්ශනයක් වන්නේ එහි ඇති ජාතික වනෝද්‍යාන අටයි. සැන්ගසූර්, ෂිර්වන්, ඇග්-ජෙල් හර්කාන්, අල්ටියාගච්, අබ්ෂෙරොන්, ෂාඩාග් (එය දකුණු කොකේසස්හි ඇති විශාලතම වන උද්‍යානයයි) සහ ගයිගල් එම වනෝද්‍යාන වේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04