2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

උත්සව කාලෙදී රටේ බඩු මිල කොහේ නවතීද?

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම එතෙක් පැවැති බදු ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ ඇතිකළ අතර සමහර බදු වර්ග මුළුමනින්ම අහෝසි කෙරිණි. තවත් බදු විශාල ලෙස අඩුකළ අතර බදු ගෙවීම් පරාසය ද පුළුල් කිරීමක් සිදුවිය. එසේ වුවද එම බදු වෙනස්වීම් හරහා සිදුවිය යුතු භාණ්ඩ සහ සේවා මිල පහළ යාමක් මෙතෙක් සිදුවී නැත. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ නැංගා විනා අඩුවන ලකුණකුදු දැකිය නොහැකිය. ආණ්ඩුව බලාපොරොත්තු වූ සහන ජනතාවට නොලැබේ නම් ජාතික ආදායම අහිමිකරගෙන බදු අඩුකිරීමෙන් සිදුවූයේ අවාසියක් මිස වාසියක් නොවේ.

ජනතාවට සහන ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයා විශාල කැක්කුමකින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කාටත් පෙනෙන්නට තිබේ. මේ වන විට ඔහු දිනපතා වෙළෙඳපොළේ බඩු අලෙවි වන මිල ගණන් පවා තමා වෙත ගෙන්වාගෙන විශ්ලේෂණයක යෙදෙමින් සිටී. එහෙත් බඩු මිල අඩුකිරීමේ සටන ජනාධිපතිවරයා පිටම පටවා ඇඟ ගලවාගැනීමට කිසිවකුටත් නොහැකිය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් පමණක් නොව පෞද්ගලික අංශවලින්ද ඔහුට සහාය දිය යුතුය. ව්‍යවසායකයන් බොර දියේ මාළු බාන්නට පටන්ගතහොත් තමන්ගේ ව්‍යාපාරවලටම එය පාරා වළල්ලක් වනු ඇති බව සිතාගත යුතු වෙයි. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් ඔවුන්ගේ ව්‍යාපාරවලට අත්වන ඉරණම කුමක්ද යන්න ඔවුන්ම පුරෝකථනය කළ යුතු වේ.
වර්තමානයේ පවතින මිල මට්ටම් අනුව ළඟ එන උත්සව සමයේ දී භාණ්ඩ හා සේවා මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. 

දේශීය ආදායම් කොමසාරිස් නදුන් ගුරැගේ පවසන්නේ වැට් බදු ඉවත් කිරීමෙන් ලැබෙන සල්ලි ව්‍යාපාරිකයන් සාක්කුවේ දමාගන්නා බවය. ඒ ප්‍රකාශයේ යම් පමණක හෝ සත්‍යයක් ඇති බව කිව හැකිවන්නේ එම මුදල රටේ ජනතාවට තවම නොලැබීම නිසාය.

ඔහුගේ සංඛ්‍යාලේඛන අනුව පෙර වැට් බදු ගෙවූ එහෙත් බදු සහන නිසා දැන් අයනොකරන ව්‍යාපාරිකයන්ගේ සංඛ්‍යාව 22,971 ක් වෙයි. මුලදී වැට් බදු අයකළේ වසරේ පිරිවැටුප රැපියල් මිලියන 12ට වැඩි අයගෙන් වන නමුත් මේ වන විට බදු ගෙවිය යුත්තේ පිරිවැටුප මිලියන 300කට වැඩි අය පමණි. එම ව්‍යාපාරිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණ ස්වකීය ලිපිගොනු අවලංගු කරගත යුතු නමුත් එසේ නොකර එම බදු සහනය තම සාක්කුවට දමාගනිමින් සිටී.

මෙතෙක් කල් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මසකට ලක්ෂ 5 ක් බදු ගෙවූ නමුත් නව සංශෝධන අනුව ඔවුන් ගෙවිය යුත්තේ රුපියල් 25,000 කි. බදු නොගෙවා ඉතිරිවන මුදල් ජනතාවට සහ ව්‍යාපාරිකයන් යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් ලෙස යෙදිය යුතුය. රජය තම බදු අඩුකළා සේම ඔවුන් තම භාණ්ඩ හා සේවාවල මිල අඩුකර ජනතාවට සහන සැලසිය යුතු බව කොමසාරිස් ජනරාල්වරයා කියයි. බදු සංශෝධන නිසා රජයට අහිමිවන ආදායම රැපියල් මිලියන 407,818 ක් වන අතර එම සහනය කිසිවෙක් ළඟ රඳවා තබාගැනීම අසාධාරණ වේ.

බේකරි හෝටල් සහ ආපනශාලා හිමියන් භාණ්ඩ මිල අඩු නොකිරීම පිළිබඳ ඍජුව මැදිහත් වීමට පාරිභෝගික සේවා අධිකාරියට පුළුවන. ඔවුන් ඒ සඳහා පියවර ගත යුතු බවට ජනාධිපතිවරයා ලිපියකින් උපදෙස් දී ඇති බවද ඔහු සිහිපත් කරයි.

තම සේවකයන් වෙනුවෙන් උපයන විට බදු ගෙවූ රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සමාගම්වල වියදම් අඩුවන අතර ලාභ වැඩිවෙයි. එම අය රටේ ආර්ථිකයට දායක විය යුතු වේ. මහා භාණ්ඩාගාරයේ සහනාධාරවලින් යැපෙන විදුලිබල මණ්ඩලය වැනි ආයතන තමන් නිසා භාණ්ඩාගාරය මත පැටවී තිබෙන බදු බර අඩුවන ලෙස කටයුතු කළ යුතු වේ.

මෙයට පෙර අවුරැද්දකට ලක්ෂ 12 ක් ඉපැයූ අය ආදායම් බදු ලෙස වසරකට රැපියල් 24,000 ක් ගෙවා තිබුණද නව සංශෝධන අනුව බදු සීමාව ලක්ෂ 30 ක් දක්වා ඉහළ නංවා තිබේ. මෙම වාසිය ද ජනතාවට ලැබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරික සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ ළඟ එන උත්සව සමයේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවය. මෙයට එක හේතුවක් වන්නේ චීනයේ දැනට උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වයයි. ලබන සිංහල අවුරුදු උත්සවයට පෙර මෙම තර්ජනය අවම වී චීනය යථා තත්ත්වයට පත්වේ යැයි සිතිය නොහැකි බව ඔහු කියයි.

අපි ආනයනය කරන භාණ්ඩවලින් 95%ක් පමණ ගෙන්වන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා. ඒ රටවලට යන්න බැරි වෙනවා. වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට දුෂ්කර වේවි. දැනට චීනයේ භාණ්ඩ නිෂ්පාදනය පහළ බැස ඇති නිසා ලොව අනිත් රටවලින් චීනයට භාණ්ඩ යැවිය යුතු වෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. එහෙම වෙනත් රටවලින් බඩු යැවූ විට අපි වාගෙ සෙසු රටවලට භාණ්ඩ ආනයනය කිරීම අපහසු වෙන්න පුළුවන්. විශාලම ජනගහනයක් ඇති චීනයට බඩු යවන විට අනිත් අයට භාණ්ඩ නැතිවෙන්න ඉඩ තියෙනවා.

දැනටමත් රටේ භාණ්ඩ මිල ඉහවහ ගිහින්. සමහර භාණ්ඩ හිඟයි. වෙනදා නම් ජීවන වියදම් කමිටුව රුස්වෙලා භාණ්ඩ මිල ගැන සමාලෝචනය කරනවා. තීරණ ගන්නවා. ජීවන වියදම් කමිටුව අලුත් ආණ්ඩුව රැස්කර නැහැ. අප කැඳවලා නැහැ. භාණ්ඩ මිල පිළිබඳ කිසිදු පසු විපරමක් නැහැ. අද ඇතිව ඇති තත්ත්වය අනුව සාමාන්‍ය වෙළෙඳුන් නැත්තටම නැතිවෙලා යාවි. සුපිරි වෙළෙඳසල්වලට විශාල සහන ලැබෙනවා. ඒ අයට බඩු ලැබෙන්නේ මාස තුනක ණය පදනමක් අනුවයි. විශාල වට්ටම් දෙනවා. ක්‍රෙඩිට් කාඩ් පහසුකම් දෙනවා. නිෂ්පාදකයන් ද සුපිරි වෙළෙඳසල්වලට අසීමිත පහසුකම් දෙනවා. සුපිරි වෙළෙඳසල් අයිතිකරැවන් වැඩි වශයෙන් විජාතිකයන්. අලුතින් දිවයින පුරා වෙළෙඳසල් විවෘත කරනවා. සාමාන්‍ය වෙළෙඳසල් යටකරගෙන සුපිරි ජාලය උඩට පිපෙනවා. ඒවායේ බඩු මිල කියන තරම් අඩුවිල්ලක් නැහැ. එහෙත් එක තැනකින් සියල්ල ගන්න පුළුවන් නිසා පාරිභෝගිකයන් යනවා. ඉදිරියේ දී රටේ භාණ්ඩ වෙළෙඳපොළට සුපිරි වෙළෙඳසල් විශාල බලපෑමක් සිදු කරාවි.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්:-

බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා. ඉදිරි උත්සව සමයේ දී තවත් ඉහළ යාවි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමට බලපාන විශේෂ හේතුවක් නම් දැනගන්න නැහැ. මෙයට පෙර නම් භාණ්ඩ මිලේ තිබුණේ උච්ඡාවචනයක්. ඒ කියන්නේ අඩු වෙනවා. වැඩි වෙනවා. එහෙත් දැන් කාලෙක සිට එකදිගට වැඩි වෙනවා. ආණ්ඩුව මොන පියවර ගත්තත් මිල වැඩිවීම වළක්වාගන්න බැරිවෙලා තියෙනවා. වැට් බදු සහන නිසා කිසිදු බඩුවක මිල පහළ ගිහින් නැහැ. වාසි ලබාගන්නේ ව්‍යාපාරිකයන්. විශේෂයෙන් ආනයනකරුවන් විශාල ලාභ ගන්නවා. කෑම හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, කුළුබඩු ආදී සියල්ලේම මිල ඉහළ ගිහින්. බිත්තර පෙට්ටියක් රුපියල් 2400 වැඩිවෙලා. ලීටර් 20 පොල්තෙල් කෑන් එක රැපියල් 7000 යි. කෑලි මිරිස් කිලෝව රුපියල් 840 යි. බී ලූනු, රතු ලූනු, අර්තාපල්, මස්, මාළු මිල විශාල ලෙස ඉහළ ගිහින්. රුපියල් 50ට පාලනය කරලා තිබුණු පොල් ගෙඩිය රුපියල් 80 යි. එහෙම තියෙද්දි ආපනශාලාවල ආහාර ද්‍රව්‍ය මිල පහළ දමන්න පුළුවන්කමක් නැහැ. අපි ආහාර අලෙවි කරන්න ඕනෑ අනිකුත් ද්‍රව්‍යවල මිල අනුවයි. අද තියෙන තත්ත්වයේ හැටියට නම් මිල පහළ දමනවා වෙනුවට යළිත් ඉහළ යාවි.

වැට් බදු නිසා පැණි බීමවල පමණයි මිල අඩුවෙලා තියෙන්නේ. එය කවුරුත් ඉල්ලපු දෙයක් නොවෙයි. ආහාර මිල පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැතිවීමයි මෙයට හේතුව. අපි කී පාරක් මෙය පෙන්වා දී තිබෙනවාද? එහෙත් නොසලකා හැරලා. ජනාධිපතිවරයාට භාණ්ඩ මිල සොයන්න පොළේ යන්න වෙලා තියෙන්නේ. හැමදාම එය කරන්න බැහැ. ඉන්දියාව බී ලූනු ආනයනය තහනම් කරලා නිසා මිල වැඩිවෙලා.

අපි නම් යෝජනා කරන්නේ අඩු වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකවත් හඳුනාගෙන රට තුළ එකම මිලකට අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවයි. එහෙම නැතිනම් රටේ ආහාර ද්‍රව්‍ය මිල ඉදිරියේ දී තවත් ඉහළ යාම වළක්වන්න බැහැ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ වැට් බදු අඩුකිරීම නිසා යම් මිලක් අඩුවූවා නම් ඒවායේ සහනය තම සංගමයේ සාමාජිකයන් ජනතාවට ලබා දී ඇති බවය. තවමත් සහනයක් නොදුන් බේකරි හිමියන් වෙතොත් ඔවුන්ගෙන් එම සහනය ලබාදීමට සංගමය කටයුතු කරන බවද කියයි.

&දේශීය ආදායම් කොමසාරිස්තුමා ජනතාවට දුන් බදු සහන බේකරි, අවන්හල් සහ හෝටල් හිමියන් කොල්ලකන බවට කළ ප්‍රකාශය අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. එය කරුණු නොදැන කළ ප්‍රකාශයක්. බේකරි හිමියන් කැඳවා ලබන සතියේ අප සාකච්ඡාවක් පවත්වා එහෙම සහන නොදුන් අය ඉන්නවා නම් ඒ ගැන උපරිමයෙන් ක්‍රියා කරනවා.කොහොම වුණත් වැට් බදු ඉවත් කළාට ඒ සහනය තවම හරිහැටි නිෂ්පාදකයාට ලැබී නැහැ. දැනට මිල අඩු වෙනවා වෙනුවට ඇතැම් දේ මිල වැඩි වෙලයි තියෙන්නේ. මාගරින්, පාම්තෙල්, එළවළු, මස් මාළු ආදියේ මිල තවත් වැඩිවෙලා. දැන් සිදුවෙලා ඇත්තේ බේකරි නිෂ්පාදකයන්ගේ පිරිවැය තවත් වැඩිවීමයි. එහෙම තත්ත්වයක් මත තවදුරටත් මිල අඩුකිරීමක් ගැන සලකා බැලිය නොහැකියි.

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ - පාරිභෝගික කටයුතු හා තොරතුරු - අසේල බණ්ඩාර:-

ළඟ එන අවුරුදු උත්සව සමයේ බඩු මිල ඉහළ යාමට විශේෂ හේතුවක් මා නම් දකින්නේ නැහැ. දැනට ඇති ප්‍රධාන ප්‍රශ්නය සහල් මිල. ඒ වුණත් ඉදිරියේ දී ගොයම් කැපෙන නිසා මිල පහළ යාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එළවළු මිල දැන් අඩුවෙමින් පවතිනවා. තව සතියක් දෙකක් යනවිට තවත් අඩු වෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරියේ ඉහළ යාවි යැයි සැකක් බියක් ඇතිකරගත යුතු නැතැයි මහජනතාවට කියනවා.

බොහෝ අය කියනවා චීනයේ තත්ත්වය නිසා මිල වැඩි වේවි කියලා. ඒත් එය සත්‍යයක් නොවෙයි. චීනයෙන් අපි ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අරැමෝසම් බඩුයි වැඩිපුර ගෙන්වන්නේ.

බදු සහනය නිසා බොහෝ ඒවායේ මිල දෙසැම්බර් 1දා සිට පහළ යා යුතුයි. සමහරැ අඩු කළේ නැහැ. අපි ඒ අය සමඟ සාකච්ඡා කරලා අඩු කරන්න කියලා කිව්වා. සමාගම් ලිඛිතව දැනුවත් කළා. භාණ්ඩ වර්ග 23,000 ක් මිල අඩු කරලා ඇති බවට ඔවුන් දැනටමත් අපව දැනුවත් කරලා තියෙනවා. ඒ වාසිය පාරිභෝගිකයාට නොලැබුණාය කියලා කියන්න බැහැ. අප තවම නීති මගින් ක්‍රියා කරන්න පටන් ගත්තේ නැහැ. ඉදිරියේ දී තවත් තද පියවරවල් ගන්නවා. නඩු දැමීම අඩු කරලා වෙළෙඳුන් දැනුවත් කරලා මෙය ඉටුකර ගන්නයි උත්සාහ කරන්නේ. එහෙම බැරිම වුණොත් වැටලීම් කරලා නීති මගින් ක්‍රියා කරන්න වෙනවා.

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03