2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ජනාධිපතිතුමා හමුවුණොත් කියන්න යන දේ ප්‍රසිද්ධියේ කියන්න බෑ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

- ආචාර්ය ඒ.ටී. ආරියරත්න

1958 වර්ෂයේදී කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයන් හතළිහක් සහ ගුරුවරුන් දොළහක් සමඟ කුළියාපිටිය, කනකොළුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරයකින් ආරම්භ වූ ලෝ සුපතල සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ඔහුය. ජීවිතයේ සැඳෑ සමයේ විශ්‍රාම සුවයෙන් සිටින ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් අප හමුවූයේ මොරටුව රාවතාවත්තේ සර්වෝදය පරිශ්‍ර යේ ඔහුගේ කුඩා කාර්යාලයේදීය. පසුගිය දිනෙක ඔහු සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් අප මෙම සංවාදයට එළඹියෙමු.

සර්වෝදය නිර්මාතෘ විදිහට පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරලා සම්මුතිවාදී දේශපාලනයක් වෙනුවෙන් පෙනී හිටපු ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට සහයෝගය දැක්වූවේ ඇයි?

කිසිසේත්ම නෑ. ඔය කියන්නේ මහේෂ් සේනානායක මහත්මයා ගැන. මම සේනානායක මහත්මයාව දැකලවත් තිබුණේ නෑ. ඡන්ද ප්‍රතිඵල ආවට පස්සේ එක දවසක් මුණගැහුණා. ඡන්ද කාලේ එයාට වැඩකරන්න තියා එයාව දන්නේවත් නෑ. හැබැයි මෙහෙම දෙයක් වුණා. යුද්ධය ඉවරවුණාම අපි ඒ ඒ දිස්ත්‍රික්කවලට ගියා. එහිදී පක්ෂ දේශපාලනයෙන් තොර ජනතා සහභාගීත්ව සම්මුතිවාදී දේශපාලන ක්‍රමයක් හදමු කියලා යෝජනා වුණා. අපි ප්‍රාදේශීය මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ කමිටු හදලා දේශෝදය වැඩපිළිවෙළ පටන් ගත්තා. මේ වැඩ පිළිබඳ 2009න් පස්සේ දිගටම ක්‍රියාත්මක වේගෙන ගියා. ඒ අතර වෘත්තීකයන්ගේ සංගමය කිව්වා අපිත් විකල්පීය ක්‍රමවේදයක් හොයන්න යනවා. අපිත් කැමතියි ඔයගොල්ලන් එක්ක එකතුවෙන්න කියලා.

මේ ජනාධිපතිවරණයේ නොමිනේෂන් දෙන වෙලාවේ රටම දැනහඳුනගෙන හිටපු කිහිපදෙනෙක් එකතු වුණා. ඒ අතර හොඳ අයත් හිටියා. ඔය හිටපු විගණකාධිපතිතුමා, වෘත්තීය සමිතිවල ගාමිණී ගුණවර්ධන මහත්තයා බොහොම හොඳ අය. ඒ ගොල්ලෝ තමයි එකතුවෙලා තීරණය කරලා තියෙන්නේ මහේෂ් සේනානායක මහත්මයා ඉදිරිපත් කරන්න. අපි ඒකට කැන්වසින් කරන්න ගියේ නෑ. සර්වෝදය ඉදිරිපත් වුණා නම් ලැබෙන්නේ ඡන්ද හතළිස් අට දහසක් නෙවෙයි. ජේ.වී.පී. එකට වඩා ලැබෙනවා. මෙතැනදී සම්බන්ධව වුණේ සර්වෝදය නෙවෙයි දේශෝදයත් නෙවෙයි. දේශෝදය එක්ක එකට එකතුවුණු වෙනම කණ්ඩායමක්. හැබැයි සමහරැ හිතුවා මාත් මේක පිටිපස්සේ ඉන්නවා කියලා. ඒවා නවත්වන්න බෑ. නමුත් අපි සම්බන්ධ වුණා කියන එක සම්පූර්ණ මිත්‍යාවක්.

සර්වෝදය යෝජනා කරපු ක්‍රියාත්මක කරපු දුප්පත්කම තුරන් කරන ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලිය විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවලදී පාවිච්චි කළා කියලා ඔබතුමා චෝදනා කරන්නේ ඇයි?

හැම රජයක්ම නොයෙක් දේ අපෙන් ගත්තා. අපෙන් ගත්තා කියලා කිව්වේ නෑ. ගත්තට කමක් නෑ. ඒ ගන්න දේවල් හරියට ඒ පරමාර්ථ ඉෂ්ඨකරන්න ක්‍රියාත්මක කරන්න ඕනෑ. ආණ්ඩු කතාකරන සංවර්ධනයයි අපි කතාකරන සංවර්ධනයයි අතර පරස්පර බවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ඕනෑ වෘත්තීය වශයෙන් ලේඛකයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් පුහුණු කරන ගමන් ඒ පුද්ගලයා තුළ පෞරැෂයේ උදාවක් ඇති කිරීම. සර්වෝදය පළවෙනි ඉලක්කය පුද්ගල පෞරුෂෝධයක් ඇති කිරීම. එම පෞරැෂයේ උදාවක් ඇතිකර ගත්ත අය බොරැ කියන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. පරුෂ වචන කියන්නේ නෑ. එහෙම වුණාම බිහිවෙන්නේ හොඳ පාලකයෝ. හොඳ ලේඛකයෝ. හොඳ වෛද්‍යවරු.

නමුත් ආණ්ඩුවල දේශපාලනිකව ඒ කාරණාව ඉලක්ක කරගන්නේ නෑ. උදාහරණයක් විදිහට ඒ කාලේ පෙරපාසල් තිබ්බේ තුනයි. අපි පෙර පාසල් ක්‍රමයක් හදමු කියලා තීරණය කළා. රටේ පෙරපාසල් අටදහසක් දක්වා හැදුවා. මිසිස් ලීලා ජයසේකර කියලා නෝන කෙනෙක් හිටියා අපිත් එක්ක සම්බන්ධවෙලා තිස් හයදහසක් ගුරුවරු පුහුණු කළා. විෂය නිර්දේශ හැදුවේ එයයි මමයි. මොකද මගේ වෘත්තියත් අධ්‍යාපනය. ඒ මොන්ටිසෝරි නෙවෙයි, අපේ රටට ගැලපෙන ක්‍රමයක්. ඒක අපි ක්‍රියාත්මක කරගෙන ගියා. ආණ්ඩුව හිතුවා මේක හොඳ වැඩක් කියලා. විවෘත විශ්වවිද්‍යාලය මේ විෂය නිර්දේශ ඉල්ලුවා. මම කිව්වා ඒක දෙන්නම් විකෘති කරන්න එපා කියලා. නමුත් ඒ ගොල්ලෝ ඒක විකෘති කළා. ඊළඟට එක එක තැන්වල ඉන්න දේශපාලකයෝ පෙරපාසල් අරගත්තා. අන්තිමට පෙරපාසල් ප්‍රමිතිය නැතිවෙලා දේශපාලනීකරණය වුණා. මේ වගේ උදාහරණ විස්සක් තිහක් මට කියන්න පුළුවන්.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දෙයක් කියන්න තියෙනවා කියලා ඔබතුමා පහුගිය කාලේ කියලා තිබුණා. මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ?

ඒක ඔයාලට කියන්න බෑ. එයා මට අඬ ගහලා ඇහුවොත් කියනවා. මම පස් සැරයක් ජනාධිපතිවරැන්ට මේක කියන්න උත්සාහ කළා. මම කවදාවත් ඔය කාර්යාලවලට ගොඩවෙලා නෑ සර්වෝදයට උදව් ඉල්ලගෙන. ඒක මගේ ප්‍රතිපත්තිය. මාව හම්බවෙන්න කතානායකතුමා පක්ෂ නායකයෝ මෙතැන වාඩිවෙලා කතා කර කර ඉඳලා ගිහිල්ලා තියෙනවා. මේ රට විනාශ කළේ පක්ෂ දේශපාලනය. ඒ නිසා මම කිසිසේත්ම පක්ෂ දේශපාලනය කියන දේට ගෑවෙන්නෙ නෑ. ග්‍රාම ස්වරාජ්‍ය මත පදනම් වෙච්ච පොදුරාජ්‍ය මණ්ඩලයක් බවට මේ රට පත්කරන්න පුළුවන් දැක්මක් මගේ ළඟ තිබෙනවා. ඒ අනුව මම වැඩ කරගෙන ගියා. ඒ ඔක්කොම කඩාකප්පල් කළා මේ සමහර රාජ්‍ය නිලධාරීන්. නමුත් තාම මම ඒක කරගෙන යනවා. තලවිල වගේ ගමකට ගිහිල්ලා බලන්න.

මොන පදනමක් උඩද ඔබතුමා කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඔබතුමාගේ ග්‍රාම ස්වරාජ්‍ය වැඩපිළිවෙළ කඩාකප්පල් කළා කියලා?

ග්‍රාම ස්වරාජ්‍ය ගම්මාන පන්දහසක් ඇති කරන්න අපි කටයුතු කළා. මහ බැංකුවේ හිටපු ලොක්කෙක්ට මම වොෂින්ටන්වල කළ කතාවකට රාජ්‍ය නායකයෝ ප්‍රශංසා කරනවා දැකලා ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. ඒ වෙලාවේ මට ඇවිල්ලා කිව්වා ඩොක්ටර් ආරියරත්නගේ බෞද්ධ ආර්ථිකය මම විනාශ කරනවා කියලා. ඊළඟ සතියේ චක්‍රලේඛනයක් දැම්මා. මම අවුරැදු තිහක් තිස්සේ මහන්සිවෙලා ගොඩනගපු පන්දහස් හයසීයක් දුප්පත් මිනිසුන්ගේ ගම්මානවල ආර්ථික ක්‍රම නැති කළා. නමුත් අපි බලාපොරොත්තු වුණේ දේශීය මධ්‍යගත ග්‍රාම ස්වරාජය ක්‍රමයක්. උඩින් පහළට නෙවෙයි පහළින් ඉහළට පරිණාමය වන දේශපාලන අර්ථ ක්‍රමයක්.

මම රාජ්‍ය නායකයෙක් හම්බවෙලා කියන්න අදහස් කළේ මේ රට ජාතියක් වශයෙන් එකට එකතුකරන්න පුළුවන් ක්‍රමයක්. නමුත් ඒක ප්‍රසිද්ධියේ කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම වුණොත් ඒක කරන්න දෙන්නේ නෑ. නමුත් රාජ්‍ය නායකයෙක්ට විකල්පීය සංවර්ධන ක්‍රමයක් තුළින් ඒක කරන්න අවස්ථාවක් තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේක ජනාධිපතිතුමා විතරයි දැනගත යුත්තේ කියලා. නමුත් අනාගතයේදී මම කවදාවත් සම්මුඛ සාකච්ඡා ඉල්ලන්න යන්නේ නෑ. සිරිසේන මහත්තයාගෙන් පෞද්ගලිකව හම්බවෙලා දෙවරක් ඉල්ලුවා. ලැබුණේ නෑ. එතුමා මාව ඊයේ පෙරේදත් අතින් අල්ලගෙන ගියා. නමුත් ඒ වෙලාවේ ලැබුණේ නෑ. ඒක මගේත් රටේත් අවාසනාව.

ඔබතුමා ඔය කියන අවාසනාව මේ වතාවේ නැතිකරගන්න පුළුවන් වෙයිද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්න කිව්වොත් මම යනවා ගෝඨාභය මහත්තයාට බොහොම ගරැකරනවා. මං වැඩිය එතුමා ගැන දන්නේ නෑ. මං දන්න කරැණු දෙක තුන නිසා මම එතුමාට ගරැකරනවා. ඒ වගේම එදත් අදත් දෙකේදීම මට බොහොම කිට්ටුවෙන් හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා. දේශපාලන වශයෙන් නෙවෙයි පෞද්ගලිකව. මම හිතනවා අදත් ඒ සම්බන්ධය ඇතියි කියලා. මම කවදාවත් යමක් ඉල්ලන් ගිහිල්ලා නෑ. පළවෙනි සැරයට එතුමා ජනාධිපතිතුමා වුණාම මම සුභපැතුවා. එතුමා ටික කලක් හරි නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක්. ඒ වගේම එදා කතරගමට ගිය පාද යාත්‍රාව මමයි මොරටුවේදී පිළිගත්තේ. මොරටුවේ දේශපාලනඥයෝ එදා බයවුණා. නමුත් පක්ෂ දේශපාලනයට මම ගියේ නෑ. ඒත් කවුරැ හරි ප්‍රජාතන්ත්‍රවාදය වනසන්නට උත්සාහ කළොත් මම ඒකට විරුද්ධව වැඩ කළා. මේ ජාතික ප්‍රශ්නය විසඳගන්න වෙනම ක්‍රම තිබෙනවා. අවුරුද්දක් හමාරක් ඇතුළත ඒක කරන්න පුළුවන්. මට අවශ්‍ය ඒක කියලා ඒ ගැන හිතලා බලන්න කියලා කියන්න. සමහර විට ඒකෙන් බැරිවෙන්න පුළුවන්. ඒකට කමක් නෑ.

නමුත් ඔබතුමාට යහපාලන ආණ්ඩුව කාලයේදී රාජ්‍ය තන්ත්‍රයට මැදිහත් වෙන්න ලැබුණා. ඒකෙන් යමක් කරන්න බැරි වුණාද?

මට කතානායකතුමා කතා‍කරලා කිව්වා ව්‍යවස්ථාදාය‍ක සභාවට ඔබතුමා එනවා නම් අපිට ලොකු උදව්වක්, ගෞරවයක් කියලා. මං කිව්වා ඔය දේශපාලනය කියලා. එතුමා කිව්වා අපොයි නෑ කියලා. මම එතකොට කිව්වා දේශපාලනඥයෝනේ වැඩිපුර ඉන්නේ කියලා. කතානායකතුමා කිව්වා ඒක ඇත්ත... එත් මේකේ දේශපාලනයක් නෑ මම ගැරන්ට් කරනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විරුද්ධ පක්ෂයේ නායකතුමාත් මාත් වෙනුවෙන් මෙහි සාමාජිකත්වය ගන්න කියලා ඉල්ලා සිටිනවා කිව්වා.
කොන්දේසි කිහිපයක් පිට මම ඒ සාමාජිකත්වය අරගන්න එකඟ වුණා. එක, මට බස් ගාස්තුවවත් ගමන් ගාස්තුවවත් පඩියක්වත් එපා. දෙවැනි එක, පොලිස් ආරක්ෂාව මට එපා කිව්වා. තෙවැනි එක පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්වත් මට විරුද්ධ වුණොත් මම ඕක බාර ගන්නේ නෑ. හතරවැනි එක දේශපාලන බලපෑමක් කළොත් මම නැගිටලා යනවා කියන එක. මම හිතනවා මම හිටපු වසර තුන තුළ පත්වීම් සීයට සීයක් සාධරණයි කියලා. සැක එකක් තිබුණා. ඊටපස්සේ මොනවා වුණාද කියලා මම දන්නේ නෑ.

දැන් ඔබතුමා ජීවන ගමනේ සැඳෑ සමයට එළඹිලා. සර්වෝදය ව්‍යාපාර තුළ සහ ජාතික වශයෙන් ඔබට තිබුණු පරමාර්ථය අද ඉටුවෙලා තියෙනවාද?

අද සර්වෝදයේ කිසිම දේකට මම සම්බන්ධව නෑ. ඉන්න තැනක් දෙන්න කියලා මම මේ තැන ඉල්ලාගත්තා. එක අරමුණක් විදිහට පෞද්ගලිකව මගේ ජීවිතයේ පෞරැෂයෝධය ඇති කරගන්න මම කටයුතු කළා. අද මට හතුරෙක් කියලා කෙනෙක් නෑ. අධ්‍යාත්මික වශයෙන් තමා මේ අරමුණ තිබුණේ. අද මම සතුටුවෙනවා. ලක්ෂ ගණනින් මේ රටේ දුප්පත් ජනතාවට උපකාර කරලා අද බිම් අඟලක් මට නැතුව මට කියලා සල්ලි නැතුව... මම අද නිර්ධනයෙක්. මගේ පුතෙක් දෙන එකෙන් අපි දෙන්නා ජීවත්වනවා. ලොකු සතුටක් තිබෙනවා... මම දුප්පත්කම නැතිකරන්න ගිහිල්ලා කෝටිපති වුණේ නෑ.

 සංවාද සටහන : චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04