2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ඡන්දය කලින් තැබීම හොඳද? නරකද?

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 16 වැනි මහ මැතිවරණය මෙම වසරේ අප්‍රේල් මස අවසානයේ පැවැත්වෙන බවට මේ වනවිටත් ඉඟි පළවී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වෙන 08 වැනි මහ මැතිවරණය ලෙසද මෙය හඳුන්වා දිය හැකිය. ජනාධිපතිවරණයට පසුව මහමැතිවරණය හෝ මහමැතිවරණයට පසුව ඒ ආසන්න දිනයකදී ජනාධිපතිවරණය මීට පෙර පවත්වා ඇත. නිමාවට පත්වූ මෙරට 07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනුණු ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මහ මැතිවරණය ද තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ පවසති.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හතරහමාරක කාලයක් ගත වූ පසුව පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ බලය ජනපතිවරයාට හිමි වේ. ඒ අනුව ලබන මාර්තු 01 දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ බලය ජනපතිවරයාට හිමිවන අතර මාර්තු 02 දින හෝ මාර්තු 03 වැනි දින පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේ වුවහොත් නාම යෝජනා බාරගෙන සති 5කට අඩු නොඅඩු 07කට නොවැඩි කාලය තුළ මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ පනතේ සඳහන් වේ. ඒ අනුව ආසන්නතම දිනය ලෙස අප්‍රේල් 23 හෝ 24 දින මැතිවරණය පැවැත්විය හැකි බවට අනුමාන කර ඇත.

මෙම තත්ත්වය තුළ සිංහල දෙමළ අලුත් අවුරැදු නිවාඩුවට ගම්බිම් බලා ගොස් නැවත සේවා ස්ථානවලට පැමිණි පසුව යළි සතියක් ඉක්මවා ගිය පසු ඡන්දයක් පැවැත්වුවහොත් නැවත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ගම්බිම් බලා නොයන තත්ත්වයක් උදා වේ යැයි පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් විසින් සිය නායකයන් දැනුම්වත් කොට ඇති බවද වාර්තා වේ. වත්මන් ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයන් පවසා ඇත්තේ අලුත් අවුරැදු සමයට පෙර මහමැතිවරණයට යා යුතු බව වුවත් විපක්ෂය පවසා ඇත්තේ මහමැතිවරණය අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණය ගැන දේශපාලන වේදිකාවේ ඇසෙන කතාබහ මෙන්ම මහමැතිවරණයත් ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව දේශයේ අපි මහජනතාවගෙන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනකුගෙන්ද විමසීමක් කළෙමු.

ඡන්දයක් ඕනෑම නෑ
සජීව - අතුරුගිරිය

දැන් රටේ හැමෝම කතා වෙන්නේ මහමැතිවරණයක් පැවැත්වීමේ උවමනාව පිළිබඳව. නමුත් මගේ මතයනම් ඇත්තටම මැතිවරණයක් අවශ්‍ය නැහැ කියලා. මොකද මොන මැතිවරණ තිබ්බත් බලයට එන්නේ ඔය පාර්ලිමේන්තුව තුළ ඉන්න පාලකයන්ම තමයි. මේ පක්ෂ දෙකම දැන් මාරැවෙන් රට කළා. නමුත් ජනතාවට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයක් ඇත්තටම අවශ්‍ය නැහැ. ආණ්ඩු මාරැ වුණාට ඔවුන් කරන්නේ එකිනෙකාට චෝදනා කරගනිමින් සිටීමයි. ජනතාව ගැන බලන්නෙ නෑ. ආණ්ඩුවක් බලයට එන්න ඕන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ජනතාවට සහන සලසන්න. නමුත් මේ ආණ්ඩු කිසිම එකකින් ජනතාවට සෙතක් සැලසුවේ නැහැ. රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවේ වැරදි හොයන්න යහපාලනයට ඡන්දෙ දුන්නා. නමුත් යහපාලනය යටතේත් කළේ ඒකම තමයි. දැන් මේ වත්මන් ආණ්ඩුව බලයට ආවෙත් ජනතාවට සහන දෙන්නම් කියලා. නමුත් තවමත් එහෙම වුණේ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් නෙවෙයි කොහොමත් ඡන්ද ඕන නෑ.

පාලන ක්‍රමයම වෙනස් විය යුතුයි 
මොහොමඩ් - මාලිගාවත්ත

රට කරනවා කියලා රට හදනවා කියලා ආපු කවුරැත් ජනතාවට මොනයම් දෙයක්වත් කළේ නැහැ. මගේ මතය තමයි මේ පාලනය වෙනස් විය යුතුයි කියන එක. විකල්ප බලවේගයකට අවස්ථාවක් දිය යුතුයි කියන එක. එහෙම නැතුව කොහොම කිව්වත් ඡන්දයකට ගිහින් වැඩක් නැහැ. මොකද ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් ජනතාවගේ සල්ලිවලින් මැතිවරණ පවත්වලා වැඩක් නැහැ. මේ පාලන තන්ත්‍රය තමයි වෙනස් විය යුත්තේ. එහෙම නැතුව හතු පිපෙනවා වගේ මැතිවරණ පවත්වලා වැඩක් නැහැ. කිසි තේරුමක් නෑ.

ඉක්මනටම තියෙන තරමට හොඳයි
ජයලත් - අතුරුගිරිය

ඉක්මනින් ඡන්දයක් තියන එක හොඳයි. එතකොට අලුතින් වැඩ පටන්ගන්න පුළුවන්. ජනතාවට තවත් සේවය කරන්න පුළුවන්. වැඩ රාශියක් කරන්න පුළුවන්. පසුගිය රජය යටතේ කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නැහැ. ජනතාවට සේවයක් වුණෙත් නැහැ. හෙට අනිද්දා වුණත් මැතිවරණයක් පවත්වන්න පුළුවන්නම් හොඳයි. ජනාධිපතිවරණයට පස්සේ කොහොමත් දැන් ඕන මහමැතිවරණයක්. 

අලුත් කණ්ඩායමක් හදන්න ඡන්දයක් ඕනෑ
පියසිරි - හෝමාගම

රට ගොඩනැගීමේ සෞභාග්‍යයේ දැක්ම යටතේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. දැන් එතුමට ගමනක් යන්න නව පාර්ලිමේන්තුවක් ඕන. අලුතින් වැඩ කරන්න අලුත් කණ්ඩායමක් ඕන. ඒ අලුත් කණ්ඩායම එතුමාට හදන්න ඡන්දයක් ඕන. පසුගිය ආණ්ඩුවෙන් මේ ජනතාවට මෙන්ම රටටත් වැඩක් සිදුවුණේ නැහැ. ඒ නිසා මේ රට ගොඩනැගීමට දැක්මක් තියන නායකයකු ලෙස එතුමාට සහය දෙන්න අනිවාර්යයෙන් මහ මැතිවරණයකට යා යුතුයි.

ආණ්ඩුව වාසිය ගන්නයි හදන්නේ
මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්

අපගේ යහපාලන රජය බලයට ගේන්න තියපු මහමැතිවරණයෙන් පත්වුණ ආණ්ඩුවට තවම වසර පහක් ගතවෙලා නැහැ. ලබන අගෝස්තු මාසය වෙනකල් ඒකට කල් තියෙනවා. මොවුන් වසර හතර හමාරක් වගේ කාලයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ මේ භාරකාර ආණ්ඩුවේ වාසියට. ජනතාවට සියලු දේ දෙන්නම් කියලා බලයට ආවත් මොවුන් තාමත් සමත් වෙලා නෑ ජනතාවගේ ගැටලු විසඳන්න. ඇතැමුන් පවසා තිබෙනවා අප්‍රේල් මාසයේ මැද වගේ වෙද්දි මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. මොවුන් මේ මෙවැනි ප්‍රකාශ කරන්නේ මොවුන්ගේ වාසියට. කොහොමත් ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන්න ඕන නැහැ.

පහුවෙලා ඡන්දෙකට යන්න ආණ්ඩුව බයයි
නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස

මාර්තු මාසයේ 03 වැනිදායින් පසුව ව්‍යවස්ථා බලතල අනුව ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ඊට පෙර විසුරුවන්න එකඟතා ඇතිකරගමු කිව්වට කවුරුත් එකඟ වුණේ නැහැ. දැන් මේ වත්මන් ආණ්ඩුව බලයට එන්න ගොඩක් උත්සාහ කළා. නමුත් ඔවුන් මොනවද කළේ ජනතාවට. මොනවත් කළේ නැහැ. අලුතින් ඡන්දයක් තියලා ආණ්ඩුවක් ගත්තත් මේ අය ඔය ටිකම තමයි කියන්නේ. මොවුන්ට ඕන වෙලා තියෙන්නේ ජනතාව මේ ආණ්ඩුවට කලකිරෙන්න පෙර මැතිවරණයක් පවත්වන්න. තව පහුවුණොත් මේ අයට ඇපත් නැතිවෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකදී. ඒක නිසා තමයි ඔය ඉක්මනින් මැතිවරණ ඉල්ලන්නේ. අපි කියනවා පුළුවන්නම් මේ වසර 5 ඉවර වෙනකල් ඉඳලා මැතිවරණ තියන්න කියලා. කරයිද? නැහැ. කරන්නේ නැහැ.

නිල - නොනිල බලය පාවිච්චි කරන උත්සාහයක්
මන්ත්‍රී බිමල් රත්නායක - ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී

මේ වර්තමාන ආණ්ඩුවට මේ සිංහල අලුත් අවුරැද්දට කලින් මහමැතිවරණයට යන්න අවශ්‍යයි. මොකද එතකොට ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ නිල බලයත් නොනිල බලයත් පාවිච්චි කරලා අවුරැදු උත්සව එහෙම මිලදී අරගෙන ඒවා දේශපාලනීකරණය කරගෙන ඔවුන්ට ඕන විදිහට කරන්න. ඒ වගේම ඔවුන් උත්සාහ කරනවා මේ පාස්කු ප්‍රහාරය නැවත මතක් කරමින් ජනතාව අතර ජාතිවාදය අවුස්සලා මේ මැතිවරණයට යන්න. කොහොමත් මීට කලින් පාර්ලිමේන්තුව විසුරැවන්න 2/3 බලයක් ඕන වුණා. නමුත් එහෙම ලැබුණේ නැහැ. ඒ නිසා මොවුන් කොහොමත් අවුරැද්දට කලින් මේක කරන්න තමයි උත්සාහ කරන්නේ.

අලුත් ගමනක් යන්න ඉක්මන් මැතිවරණයක් ඕන
ඩී.බී. හේරත් - පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී

ලංකාවේ ආසන්නතම මහජන මතය තමයි මේ පසුගිය ජනාධිපතිවරණයෙන් පෙනුණේ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එතුමාගේ දැක්ම ක්‍රියාත්මක කරගෙන යන්නනම් අනිවාර්යයෙන් මහමැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒකේ තර්ක විතර්ක නෑ. මේ රජයට වැඩක් කරන්න අලුත් මූණු වැඩ කරන මන්ත්‍රීවරැන් එක්ක ගමනක් යන්න හැකි ඉක්මනින්ම මහ මැතිවරණයක අවශ්‍යතාව තියෙනවා.

 සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03