2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

බදුයුදීන්ගේ හිතවතකුගේ නිවසෙන් මතු වූ කෝටි ගණන් ඩීල් ෆයිල්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 06:45 71

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වශයෙන් වූ දැවැන්ත අමාත්‍ය ධූරයක් දැරූ රිෂාඩ් බදියුදීන් මහතා දැන් මන්ත්‍රීවරයෙකි. යහපාලන ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු ද වන රිෂාඩ් පිළිබඳ සියලු රටවැසියන් කතිකා කළ වෙනත් වසරක් 2019 තරම් නොවීය.

ආණ්ඩු බලය අතැතිව සිටි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉකුත් වසර පුරාම මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන්, මහජනතාව වන රටවැසියන්ගෙන් මෙන්ම රිෂාඩ් අමාත්‍ය ධූරය දැරූ අමාත්‍ය යටතේ ඇති ඇතැම් වෘත්තීය සමිති සංගම් හා දේශපාලන පක්ෂ ඒකරාශී වෙමින් දැඩි විරෝධයක් එල්ල කළේය. එහි උච්ඡතම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන එනු ලැබීය. ඒ සෑම අවස්ථාවකදීම අමාත්‍යවරයාට එරෙහිව දැඩි ලෙස චෝදනා එල්ල කෙරිණි. ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනා හා විවේචන එල්ල කෙරිණි. මේ සියලු අවස්ථාවන්හිදී ආගමික සංවිධාන හා ජාතික සංවිධාන ගණනාවක නායකයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් නොවුණු පසුබිමක පසුගියදා හදිසියේම ඔහුට අයත් බව කියා ලිපි ගොනු රැසක් සඟවා තිබූ කොළඹ නගරයේ නිවසක් පිරික්සීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබිණ. ඒ අනුව ඉකුත් 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සැක කටයුතු නිවසක් පරික්ෂාවට ලක්කර තිබිණ. එම නිවස රිෂාඩ් මහතාගේ සොහොයුරාගේ හිතවතකුට අයත් එකක් බවද කියැවිණ. එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් ලිපිගොනු රාශියක් අත්අඩංගුවට ගත්බව වාර්තා විය.

එම ලේඛන තුළ සතොස යටතේ සිදුකළ රුපියල් කෝටි ගණනකට අයත් ලිපි ලේඛනතිබී ඇතැයිද පැවසිණ. රහසිගතව හා සුරක්ෂිතව අසුරා තිබූ බව කියන ලිපි ගොනු අතර මීට වසර තුන හතරකට පෙර පකිස්තානයෙන් ගෙන්වූ සහල් තොගවලට අදාළ ලේඛන තිබී ඇතැයි ද වාර්තා වේ. විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර කිහිපයක් සමඟ විදුලි ජනක යන්ත්‍ර ගණනාවක් ද හමුව ඇතැයි දැනගන්නට තිබේ. මෙම විදුලි ජනන යන්ත්‍ර කිලෝ වොට් 20 බැගින් බව අඟවා ගෙන්වීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් එසේ පෙන්වා දී කිලෝ වොට් 10 ධාරිතාවෙන් යුත් යන්ත්‍ර කූඨ ලෙස ගෙන්වා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය.

දිවයින පුරා ප්‍රදේශ රුසකින් මිලට ගත් වටිනා ඉඩම් පිළිබඳ විස්තර රාශියක් තිබී ඇති අතර විවිධ පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මිලට ගෙන ඇති බවත් අනාවරණය වී තිබිණ. මේ ආකාරයට අක්කර ගණනාවකින් යුත් ඉඩම් ඔප්පු තිබූ බව පැවසේ. මෙසේ අත්අඩංගුවට පත්වූ ලිපිලේඛන ආශ්‍රයෙන් ඉකුත් සමයේ සිදුව ඇතැයි චෝදනා නැගුණු ගනුදෙනු රාශියක තොරතුරු හෙළිකර ගැනීමට හැකියාව ඇතැයි පැවසේ.

ඒ අතර සැකයට බඳුන් වූ තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සතොස ආයතනය තුළ සිදු වූ ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන පෞද්ගලික නිවසක සඟවා තිබීමය. වැඩිදුරටත් වාර්තා වූයේ මෙම හදිසි වැටලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පිවිසි රිෂාඩ් බදියුදීන් 90 දශකයේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අයෙකි. 2000 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට එක්ව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් 2001 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. එවකට මනාප 9276ක් ලැබූ ඔහු එජාපය සමඟ සන්ධානගතව ආණ්ඩුව පිහිටුවා 2004 මැතිවරණයේදී මනාප 15981ක් ලබා ජයග්‍රහණය කොට තිබිණ. නැවත 2010 වසරේ රිෂාඩ් මනාප 27,461ක් ලබා තිබිණ. එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ඔහු උතුරු වසන්තය සංවර්ධන ක්‍රියාවලිය යටතේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගෙන තිබුණි.

යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතුවලට වෙහෙසුණු රිෂාඩ් බදියුදීන් විල්පත්තු වන විනාශ චෝදනාවට ඔහු කොටු වන්නේ එහිදීය. 2011 සහ 2012 වසරවලදී ඉවක් බවක් නැතුව විල්පත්තු වනය විනාශ කරන බව කියමින් බොහෝ පාර්ශ්වවල චෝදනාවට ලක්වූයේ මේ අතරය. පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික නායකයෝ මේ විරෝධතාවලට පෙරමුණ ගත්හ. කෙසේ වෙතත් 2015 මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ඔස්සේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට එන්නට රිෂාඩ් සමත්ව සිටියේය.

ඉන් අනතුරුව ඔහුට එල්ල වූ බරපතළ චෝදනාවක් වූයේ 2017 වසරේ සතොස ගබඩාවකට සීනි ප්‍රවාහනය කළ බහාලුමක තිබී කොකේන් කිලෝ 218ක් අත්අඩංගුවට පත්වීම පිළිබඳවය. එය ටික කලකින් යටපත් වුවද විල්පත්තු අර්බුදය විටින් විට සමාජයේ දැඩි කතාබහට ලක්විය.

මේ ආදී කොටගෙන ආගමික හා ජාතිවාදී වශයෙන් බදියුදීන්ට එරෙහිව චෝදනා නැගිණ. අන්තවාදියකු වශයෙන් ඔහුට වඩාත් හංවඩු ගසන්නනට තෝතැන්න වූයේ පසුගිය වසරේ වූ පාස්කු ප්‍රහාරයයි. ඊට පෙර දූෂිතයැයි කියන ගනුදෙනු රාශියක ස්ථිර නොවූ තොරතුරු රාශියක් කරළියට පැමිණියේ රිෂාඩ්ගේ නම යටතේමය. ඒ අතර පකිස්තානයෙන් ගම්මිරිස් ගෙන්වා ලංකාවේ ගම්මිරිස් බව අඟවමින් ප්‍රති අපනයනය කිරීමට සහාය වීම එක් චෝදනාවකි.

මේ අතර උතුරු පළාතේ සභාව නියෝජනය කළ රිෆ්කාන් බදියුදීන් නැමැත්තා චෝදනාවට ලක්වූ ඇමැතිවරයාගේ සොහොයුරා වේ. ඔහුට එරෙහිව විවිධ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා රාශියක් පවතින අතර ඒ පිළිබඳ තොරතුරු ද වාර්තා වේ. කෙසේ වෙතත් ඉකුත් වසරේ වූ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ්ට එරෙහිව පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය දැඩි කතාබහකට ලක්වූ එකකි.

එකපිට එක එල්ල වූ චෝදනා අප්‍රමාණය. සියල්ල රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ල වීම ජනතාවට සැකයක් නැති හැඩය. එහෙත් ක්‍රියාත්මක වූ නීතියක් අද වනතෙක් දකින්නට නැත. එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි මෙහෙයුම පිළිබඳව ජනතාව පසුවන්නේ අවධානයෙනි.
► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04