ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන ගැන ලෝකයේ එතරම් ප‍්‍රසාදයක් නැත. දියුණු වෙමින් පවතින රටවලට පැමිණෙන ඒවායේ බලධාරීහු ඔවුන්ට ගැලපෙන ආකෘති සකස් කර ආදේශ කරති. එක තැනෙක හැදූ ආකෘතියක් තවත් රටක සමාජ සංස්කෘතික ප‍්‍රවාහයට නොගැලපේ. එහෙත් ප‍්‍රදානක ආයතන තම උත්සාහය අත්හරින සූදානමක නැත. තමන් සතු වත්කම් ලෝකයේ කොතැනක හෝ යෙදවිය යුතුය. පොලිය සහිතව ඒවා ආපසු අයකරගත යුතු අතර එය පැවැත්මට සාධකයකි. දුප්පත් හා මැදි ආදායම් රටවලට විකල්ප සීමිතය. අවදානමක් ගෙන අලුත් දෙයක් ගැන හිතන්නට මැලිකමක් දක්වන පාලකයෝ ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතනවල ආකෘතිවලට ගොදුරු වෙති. ඉදිරිපත් කරන යෝජනා ක‍්‍රියාවට නංවන්නට තැත් කරන අතර ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රතිව්‍යුහකරණ වැනි අදහස් සෑම රටකටම පාහේ තිත්ත වී තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන නැවත වතාවක් සාකච්ඡාවක් පවතී. 2016 වසරේ දී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි අතර එයින් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක තාවකාලික ණය සංචිතයේ අවසන් වාරිකය දැනට නියමිත වී තිබේ. මෙම අවසන් වාරිකය ගැන කරන මැදිහත්වීම, නැවත අලුත් සාකච්ඡාවකට පසුබිම වී ඇත. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ජනාධිපතිවරණය සමඟ ඇතිවූ ආණ්ඩු වෙනස මුල්‍ය අරමුදලේ අවසන් වාරික කතාබහ ප‍්‍රමාද කරන ලද අතර සමහරවිට එය මෙම වසරේ ජූනි මාසය තෙක් කල් ගතවීමට ද ඉඩකඩ විවෘතය.
ශ‍්‍රී ලංකාවේ සතුරකු නොවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල
මෙරට ජන සමාජයට ජාත්‍යන්තරය ගැන සැකයක් තිබේ. ලෝකයේ නොයෙක් රටවල කරන මැදිහත්වීම් කෙරෙහි අවිශ්වාසයක් ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන ද එවැනි ප‍්‍රතිචාරයක් තිබේ. ආණ්ඩු පෙරළන ගමනේ දී යක්ෂයන් සේ පෙන්වන මෙම ආයතනවල වැදගත්කම බලයට පත් වූ පසු පෙනෙන බව නොරහසකි. නිදහස ලැබූ කාලයේ සිට අද වන විට මුල්‍ය අරමුදලෙන් ණය ගත් අවස්ථා ගණන දහසයක් බව දැක්වේ. හදිසි සංවර්ධන අවශ්‍යතා පෙන්වමින් ලබාගත් මුදල් නිසි සේ ආයෝජනය කළේ නම් ශ‍්‍රී ලංකාව අද පවතින තැන නතර නොවේ. කළ හැකි ලස්සන පෙන්වන ආණ්ඩු ප‍්‍රදානක ආයතන ණය ගන්නා අතර ව්‍යාපෘතිවල සඳහන් නොවූ තැන්වලට මුදල් වැය කරයි. ආදායමට අනුව වියදම ගලපාගන්නා ලෙස දෙන උපදෙස් කිසිසේත් සැලකිල්ලට ගන්නේ නැත. එයට හේතුවක් තිබේ. ප‍්‍රදානක ආයතනවලින් ලැබෙන අදහස් අනුව රට ඉදිරියට ගෙන ගියහොත් ජනතාවගෙන් විසුමක් නැත. හඳුන්වාදෙන ප‍්‍රතිසංස්කරණ හෙයින් ඇති කරන ආර්ථික දුෂ්කරතා ජනතා විරෝධය අවුලවනු ඇත. එතැනින් ගැනීමේ දී එකක් කියන ආණ්ඩු ඒවා ගැනීමෙන් පසු අනෙකක් කියා තාවකාලික පියවරවලට යයි.
නොබෝදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඇතිවූ අවපාතයෙන් ගැලවෙන්නට ශ‍්‍රී ලංකාව සමත් වී ඇතැයි ප‍්‍රකාශ කළහ. එය ආණ්ඩුවේ හොඳ හිත දිනාගැනීමට කළ ප‍්‍රකාශයකි. එයට පිළිතුරු වශයෙන් මුල්‍ය අරමුදල රටේ හතුරකු නොවන බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. දෙපැත්තෙන් කියැවුණු මෙම වචනවලින් එක කාරණයක් ඉතාමත් පැහැදිලිය. ආණ්ඩුව වහාම මුල්‍ය අරමුදල සමඟ අලුත් සහයෝගීතාවයකට ඇතුළු වනු ඇත.
අලුත් දර්ශනයක් ගැන දේශපාලනඥයන් ජනතාව හමුවේ කියන කතාන්දරය කුමක් නමුත් අවසානයේ දී ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන්ගේ අදහස්වලට එකඟ වන්නට ඉඩකඩ තිබේ. ඉතිහාසයේ සිදුවූ දේ නැවතත් එසේම සිදුවන්නට ඉඩ ඇති අතර ශ‍්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වය එයට වෙනස් නමුත් සම්පූර්ණයෙන් අනෙක් පැත්තක් යැයි සඳහන් කරන්නට සාධාරණ හේතුවක් නැත.
4%ක ආර්ථික වර්ධනයක් ගැනීම
මුල්‍ය අරමුදල පෙන්වා දී ඇති පරිදි මෙම 2020 වසරේ දී 3.7% ක වර්ධනයක් ලබාගත හැකි වනු ඇත. එහෙත් මහ බැංකුවේ කල්පනාව එය 4% ක් විය හැකි බවය. බදු අඩු කරන යෝජනා අලුත් වීම මගින් පරිභෝජනය වැඩි විය හැකි අතර රටට ආයෝජන ලැබී විශාල පරිවර්තනයක් අපේක්ෂා කරන බව පෙනේ. එහෙත් ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගෙන් කියවෙන පරිදි මහා භාණ්ඩාගාරයේ තත්ත්වය යහපත් නැත. ආදායම සීමා වී තිබේ. වියදම බරපතළ ලෙස ඉහළ නැගෙමින් පවතින අතර මෙම වසරේ පවත්වන මහමැතිවරණය සහ එයින් අනතුරුව පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණය එම පසුබිම තවත් සංකීර්ණ කරනු නිසැකය. මනාපය දිනාගැනීමට නම් සහන පිරිනැමිය යුතු අතර ලක්ෂ ගණනින් රජයේ රුකියා සම්පාදනය ද අවශ්‍යම කාරණයකි. අද වන විට පවතින ස්වභාවය අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% දක්වා ඉහළ යා හැකි බව අනාවරණය වී තිබේ. එවැනි ඉහළ හිඟයක් පියවීමට ගන්නා පියවර රට තුළ නැවත වටයකින් භාණ්ඩ හා සේවා මිල වර්ධනය කරනු ඇත. ජීවන වියදම පාලනය කර ගැනීම අපහසු කරනු නිසැකය. අලුත් නිෂ්පාදන, අලුත් වෙළෙඳාම හෝ සේවා අංශ ප‍්‍රසාරණයකින් තොරව 4% ක වර්ධනයක් අපේක්ෂා කිරීම අපහසුය.
ධනය උපයන්නට කලින් බදු අඩු කරන පිළිවෙතකට ආණ්ඩුව ගමන් කළේය. ආයතනික, පුද්ගල, භාණ්ඩ හා සේවා වෙනුවෙන් බලපාන බදු සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කර තිබේ. බදු විශේෂඥයන් දක්වන අන්දමට බදු සංශෝධන හෙයින් 2020 වසර තුළ රජයට අහිමි විය හැකි මුදල රුපියල් බිලියන 560 ක් පමණ වනු ඇත. වසර ආරම්භයේ සිදු කරන එකී ගණන් ගැනීම තවදුරටත් වැඩි විය හැකි ලකුණු තිබේ. අනෙක් පැත්තෙන් ආදායම අඩු විය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය චීනයේ කෝවිඩ් - 19 වසංගත තත්ත්වය තවදුරටත් උග‍්‍ර කරනු ඇත. මේවා අමාරු තත්ත්ව බව නිසැකය. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහා ඉන්ධන මිල අඩු කරන ලද අතර එය එවකට පැවති ආණ්ඩුවේ අයවැය හිඟයට දරැණු සේ බලපෑවේය. අවසාන කාලයේ දී මිල සූත‍්‍රයකින් පවා එය පාලනය කරගත නොහැකි විය. ජනතාව ඉල්ලන්නටත් කලින් දෙන සහන වලින් ආර්ථිකය ඉරිතලා යන අතර එම පැළුම් පිරියම් කරන විට සංවර්ධන අභිලාශ පහළට වැටේ. අතීතය පෙන්වා දී ඇති සාක්ෂි අමතක කළ යුතු නැත.
වෙනසක් ඇති කිරීමෙන් තොර විකල්පයක් නැත
ආර්ථික සහ සමාජ ප‍්‍රවණතා සම්බන්ධයෙන් අලුත් රාමුවක් රටට අවශ්‍යය. රට තුළින් එය සකස් කරගත නොහැකි වුවහොත් ආයෙත් වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ග‍්‍රහණය එල්ල විය හැකිය. දුප්පත් රටවලට ආධාර දෙන ලෝක බැංකුව අද ශ‍්‍රී ලංකාව සමඟ නැත. මැදි ආදායම් රටක් වශයෙන් වර්ගීකරණය කරන අතර ප‍්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතුව තිබේ. මුල්‍ය අරමුදල කරන්නේ තාවකාලිකව ණය සංචිත සැපයීමකි. රට තුළින් උපයන ධනයෙන් ඒවා පියවන්නට සිදුවෙයි. ණය අයකර ගැනීම වැදගත් වන හෙයින් කළ යුතු වෙනස්කම් මුල්‍ය අරමුදල කෙළින්ම සඳහන් කරයි. පෞද්ගලීකරණය, රජයේ රැකියා සීමා කිරීම, ආයෝජන නැංවීම, සහන කපා හැරීම, තරගකාරීත්වය ඇති කිරීම, අපනයනය දියුණු කර ගැනීම වැනි දේ වලට පොළඹවයි.
අධික අලාභ වාර්තා කරන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීම හෝ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ කළමනාකරණයට යොමු කිරීම එක නිර්දේශයක් විය හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වන්නේ රජයේ ආයතන විකුණා දැමීම නොකරන සහතිකය ඇතිවය. ගොවිතැනට, දුගී ජනතාවට සහන දෙන පොරොන්දුව සමඟය. ලක්ෂ ගණනින් රජයේ රස්සා දෙන ඇඟවීම සහිතවය. ආපසු හැරෙන්නට ඉඩක් නැති මෙම අවකාශය තුළ යම් ප‍්‍රමාණයකින් හුස්මක් ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුබිම හදන්නට ඉඩ තිබේ. අලුත් වටයකින් මුල්‍ය අරමුදල හා සාකච්ඡා කිරීම එයට මග පාදනු ඇත. මහ බැංකුව කියන අන්දමට අරමුදල හතුරකු නොවේ. එයට ප‍්‍රතිචාර වශයෙන් ආණ්ඩුවේ හොඳ කියන නිලධාරීහු පාස්කු ප‍්‍රහාරයේ බලපෑමෙන් ගැලවී ආර්ථිකය හදාගන්නට සමත් වී ඇතැයි දක්වති. දැන් අවශ්‍ය හදාගැනීමේ වැඩපිළිවෙළක් පමණකි. මුල්‍ය අරමුදල දහ හත් වැනි වතාවටත් එයට සූදානම්ය.
හැදෙනවා නම් වෙනත් අවස්ථා අවශ්‍ය නැති රටක්
දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට ජපානය ආර්ථික අතින් බින්දුවට වැටිණ. යුද වන්දි ඉල්ලන ලෝකයේ රටවල් ඉදිරියේ අසරණ විය. විදේශ ණයක් ලබාගෙන දුම්රිය ධාවනය කාර්යක්ෂම හා වේගවත් කළේය. එය ජපානයේ හැරවුම් ලක්ෂයයි. අපනයනය සඳහා නිෂ්පාදන ප‍්‍රවාහන වියදම අඩු වූ අතර ලෝක වෙළෙඳපොළට අඩු මිලට භාණ්ඩ සපයන්නට හැකියාව ලැබිණ. ජපානයෙන් යුද වන්දි ඉල්ලන්නට එපා යැයි කී ශ‍්‍රී ලංකාව අද ජපානයට පිටුපසිනි. ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට පැරැණි ඉන්දියාව නොයෙකුත් කැපකිරීම් කළේය. එක ඩොලරයක් වැඩිපුර ණය ලබාගැනීම වෙනුවෙන් ඉන්දියානු විශේෂඥයන් ලෝක බැංකුව හමුවේ කතා කළ ආකාරය ගැන ජගත් මුල්‍ය විචාරකයන් අවඥාවෙන් සඳහන් කරන ලද අවස්ථා ද විය. පසුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දෙන ලදී. අද ඉන්දියාව ලෝකයේ ආර්ථිකය වේගයෙන්ම දියුණුවන රටකි. බ‍්‍රසීලය ගත් ණය ගෙවාගත නොහැකිව ලෝකය ඉදිරියේ අවමානයට පාත‍්‍රව සිටියේය. ණය කපා හරින්නැයි ණය ලබාගත් නොයෙක් රටවල් වලින් සහ ජාත්‍යන්තර ණය අරමුදල්වලින් ආයාචනා කළේය. වාමාංශික ප‍්‍රතිපත්ති වලින් පැත්තකට දැමූ බ‍්‍රසීල පාලකයෝ ප‍්‍රතිසංස්කරණ මාලාවකට පසු දියුණු වෙමින් පවතින රටවල් අතර පෙරමුණ ගන්නට සමත් වූහ.
චීනය ද විවෘත ආර්ථිකය, පෞද්ගලික අංශය සහ ප‍්‍රතිසංස්කරණ වලින් පසු නිසි මගට පැමිණීම ඔස්සේ ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති රටකි. අසල්වැසි බංගලාදේශය ද නැගී වර්ධනය වෙමින් සිටී. ආයෝජකයන්ට දොරටු විවෘත කිරීම ඔවුන්ගේ රහස වී තිබේ. අතීතයේ අසාර්ථක හා ආරක්‍ෂණකාරී ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටි රටවල් එයින් ගැලවී තිබේ. දේශපාලනඥයන්ගේ දැක්ම මීළඟ මැතිවරණයයි. මැතිවරණය ආසන්න වන විට සහන ප‍්‍රකාශයට පත් කරන හෝ බදු අඩු කරන ප‍්‍රතිපත්ති වලින් රටවල් දියුණු වී නැත.
අමෙරිකාව, යුරෝපීය ප‍්‍රජාව මෙන්ම ඉන්දියාව සහ චීනය වැනි සෑම රටක්ම තමන්ගේ ප‍්‍රාග්ධනය, තාක්‍ෂණය සහ ස්වභාවික සම්පත් ඇතත්, දෙස් විදෙස් ආයෝජන ළඟා කර ගැනීමට විශාල ප‍්‍රයත්නයක් දරයි. ආණ්ඩුවෙන් පමණක් වැඩ කරන්නේ නැත. නිසි කළමනාකරණය කෙරෙහි සැලකිල්ල දක්වයි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අලුත් වටයකින් සාකච්ඡා කරනවාද නොඑසේ නම් ප‍්‍රතිසංස්කරණ සහිතව තමන්ගේ ගමනක් ආරම්භ කරනවා ද යන ප‍්‍රවණතාවය අභිමුවෙහි සිටින අතර මෙම තීන්දුව අනාගත ශ‍්‍රී ලංකාවේ හැඩතල තීරණය කරනු ඇත.
► ගාමිණී සරත් ගොඩකන්ද