මිනිසාගේ දැනුම වනාහි ඔහුගේ විනිශ්චය නමැති ක‍්‍රියාමාර්ගයට සීමාවූවක් වෙයි. ඒ අනුව ඔහුට යථාර්ථය ග‍්‍රහණය කර ගැනීමට අපහසුය. මෙය සිදුවන්නේම මිනිසාගේ ඉන්ද්‍රියන්හි පවතින දුර්වලතා නිසා නොව සෑම දැනීමකම පවතින දුර්වලතා හේතුකොටගෙනය. වර්තමානයේ ආත්මාර්ථකාමීත්වය පදනම්ව මිනිසාගේ පැවැත්ම තහවුරු කරන අයුරු ද අපට පැහැදිලි වේ. එනම් ”මම”, ”මට”, ”මගේ” හෝ ”මම වෙමි” යනාදී වශයෙනි. කෙසේ වුවද දැනුම ගොඩනැගෙන්නේ ප‍්‍රධාන මූලයන් දෙකකින් බව අප තේරැම් ගත යුතුය. එනම් ඉන්ද්‍රියන්ට ගොදුරු වන දෙය මින් එකක් වන අතර එය ක‍්‍රමවත් දැනුමක් බවට පරිවර්තනය කරන්නේ මනස ප‍්‍රදානය කරන පූර්ව අත්දැකීම් හේතුකොටගෙන බව දෙවැන්න ලෙස අප අවබෝධ කරගත යුතුය.
මිනිසා තුළ පරිකල්පනය ගොඩනැගෙන්නේ ද අත්දැකීම් මූලිකවය. පරිකල්පනය කාලය නැමති සාධකයෙන් ද ඉවත් නොවන නිසා කාලය ද දැනුම ගොඩනැගීමේ දී මූලික වන බව අප අවබෝධ කරගත යුතුය. කාලය යන්න කිසිදින තනිව භාවිත කළ නොහැකි වන අතර එය අවකාශය යන රටාව සමඟ ද සබැඳී ඇත. මෙය පදනම්ව බාහිර ලෝකයෙහි විෂය වස්තූන් පිළිබඳ සංවේදනය අපට ලැබෙන බව පැහැදිලි වේ. බුද්ධිමය මනසක ප‍්‍රබල කාරණාව වන්නේ බාහිර වස්තූන් පිළිබද සංවේදනය විඥානය තුළ ගොඩනගා ගැනීමේ ක‍්‍රමවේදයයි. එහිදී ප‍්‍රබල ප‍්‍රවේශ දෙකකට බුද්ධිය ක‍්‍රියාකාරී වීමෙන් ඔහුගේ විඥානික ප‍්‍රවේශය පමණක් නොව එහි කලාප ද අවදි වනු ඇත. එනම් බාහිර විෂය වස්තු පිළිබඳ ගොඩනගනු ලබන විශ්ලේෂණය සහ ඒ පිළිබඳ මනසෙහි සිතිවිලි එකිනෙක හා සම්බන්ධ කරමින් ගොඩනගනු ලබන සංශ්ලේෂණ හැකියාවයි. වස්තූන් හෝ මානව ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳ අවබෝධය මිනිසා තුළ ගොඩනැගෙන්නේම මෙම හැකියා මූලික වීමෙනි.
අනෙක් අතට මිනිසා තුළ මෙම නොදැනුවත්කම් මත ගොඩනැගෙන ප‍්‍රබලතම අනෙකුත් සාධකය වන්නේ සංකාව යන්නයි. සංකාව යන්න මිනිසා විසින්ම ඔහුගේ මනස තුළ ඔහු විසින්ම නිෂ්පාදනය කර ගන්නා ලද්දකි. ඒ අනුව සංකාව නොමැති මිනිසකු සොයාගත හැකි ද යන ගැටලුව වර්තමානයෙහි අප අතර පවතී. මින් පැහැදිලි වන්නේ මිනිසා සංකාවෙන් පෙළෙන්නකු බවයි. මෙම සංකාව පවතින තාක් කල් මිනිසා ක‍්‍රියාශීලී හෝ නිර්මාණශීලී නොවන බව ද පැහැදිලිය.
මේ අනුව මිනිසාට වෙනස් වීමට අවශ්‍ය වන්නේ නම් ඔහු ඔහුව සහ ලෝකය විද්‍යාත්මකව තේරැම්ගත යුතුය. විද්‍යාව ගොඩනැගෙන්නේ ද සමාජ ව්‍යවහාරයට මිනිසා දක්වන ලද ප‍්‍රතිචාර වශයෙනි. ඒ අනුව ලෝකය සහ සමාජමය ලක්ෂණ දැකගත හැකි වන්නේ ද ඒවායෙහි ආකෘති තුළිනි. මේ අනුව ලෝකය සහ සමාජය පෙනෙන්නේම මිනිසා සහ ඔහුගේ චර්යාව තුළිනි. මිනිසා කායිකව සහ භෞතිකව සාමකාමී වුවත් මානසිකව එසේ නොවන බව පැහැදිලි වන්නේ ඔහුගේ චර්යාත්මක ස්වරූප තුළිනි.
ලෝකය එක සමාන ද නොවේ. මිනිසා කායිකව, මානසිකව සහ චර්යාත්මකව එක හා සමාන නොවනු ද ඇත. එක හා සමාන භෞතික වස්තූන් ද ලෝකය තුළින් සොයාගත නොහැකිය. මින් පැහැදිලි වන්නේ ලෝකයෙහි විවිධත්වය යන්න ප‍්‍රබලතම කාරණයක් වන බවයි. විවිධත්වය තුළ සමානතා සෙවිය හැකි ද යන ගැටලුව පවතී. බොහෝ මිනිසුන් සමානතා ඉල්ලා සිටියත්, ඉල්ලූ පරිදි සමානතා ලබා දුන්න ද එම රටාව තුළ සමානතා නිර්මාණය වන්නේ ද යන ගැටලුව මනසෙහි සහ සමාජ චර්යා පිළිබඳ අවධානය යොමු කරන විට ගොඩනැගේ. ඒ අනුව සමානාත්මතාව, සමතැන ආදිය පිළිබඳ සිතිය යුත්තේ ද සරල දෘෂ්ටීන් තුළ සිට නොවන බව ද පැහැදිලි කරගත යුතුය.
සමානාත්මතාව මත ලෝකය කිසිදින නොපවතිනු ද ඇත. සමාන තත්ත්වයන් තුළ නව දේවල් ද ගොඩනොනැගෙනු ඇත. නිෂ්පාදනය යන්න මිනිසා විසින් පමණක් නොව ස්වභාවික නියමය තුළින් ද සිදු කරන ක‍්‍රියාවලියක් බැවින් ස්වභාවික නියමයෙහි සම්මුතීන්ට අනුව ගොඩනැගීමට මිනිසාට සිදුවන බව පැහැදිලි වේ. ස්වභාවික නියමය මිනිසාගේ නියමයට වඩා ශක්තිමත් වන්නේ මිනිසාගේ නියමය ද ස්වභාවික නියමය තුළින්ම නිෂ්පාදනය වන බැවිනි.
ධූරාවලිය යන සංකල්පය ගොඩනැගෙන්නේ ද සමානාත්මතා සාධකවලින් තොරව බව පැහැදිලිය. ධූරාවලිය යන්න වෘත්තීය ක්ෂේත‍්‍ර තුළ පමණක් නොව ගැහැනු පිරිමි යන සංකල්ප තුළ ද කේන්ද්‍රගත වී ඇති බව ඔවුන්ගේම චින්තන සහ චර්යාව තුළින් පැහැදිලි වේ. ගැහැනු පිරිමි සංකල්පය ද කිසිදා සමානාත්මතා ප‍්‍රවේශයකට කේන්ද්‍රගත කිරීමේ හැකියාවක් ගොඩනොනැගෙන බවට ඔවුන්ගේ ජීව විද්‍යාත්මක සහ හැකියා මූලිකව ඉතිහාසයේ සිටම තේරැම් ගැනීමට අපට කාලය පැමිණ තිබේ. ඒ අනුව කාන්තා පිරිමි චර්යා තුළ අප සිතිය යුතු වන්නේ සමතැනක් පිළිබඳව නොව නිසි තැනක් පිළිබඳවය. නිසි තැන් නොමැතිවීමේ ගැටලුව වර්තමානයෙහි ලෝකය තුළ පවතින බව මෙම දෙවර්ගයෙහිම චර්යා තුළින් පැහැදිලි වේ.
ගැහැනු පිරිමි සංකල්ප තුළ විද්‍යාත්මක යුතුකම් පද්ධතියක් ද පවතින බව දැකිය හැකි වේ. එම යුතුකම් අනෙකා නිරන්තරයෙන් තෘප්තිමත් කරනු ඇත. ඒ අනුව සමාජයෙහි යුතුකම් බිඳවැටීම තුළ තෘප්තිය අහිමි වන බව පැහැදිලි වන අතර තෘප්තිය නොමැති වන සෑම තැනකම අනෙකා පිළිබඳ ගැටලුව ඔහු විසින් නිර්මාණය කර ගනී. මින් පැහැදිලි වන්නේ තෘප්තිය මිනිසා ජීවත් කරවන බව පමණක් නොව මිනිසාව සමාජයෙහි ඉදිරි ක‍්‍රියාවලියට අදාළ ලෙස නිර්මාණය කරන බවයි. මිනිසුන් තුළ තෘප්තිය ගොඩනැගීමට නම් ඔවුන් ජීවත්වන සමාජයෙහි භූමිකාව නිවැරදිව තේරැම්ගත යුතු ද වේ. එමෙන්ම ඔහු ඔහුගේ භූමිකාව තේරැම් ගැනීමේ ප‍්‍රමාණය මත ඔහුගේ සතුට ප‍්‍රවර්ධනය වන බව ද ඔහු විසින් තේරැම්ගත යුතුය.
බොහෝ මිනිසුන් පවුල් සම්බන්ධතා පිළිබඳ පමණක් නොව ඔවුන්ගේ වගකීම් සහ යුතුකම් පිළිබඳව ද රැඩිකල් ආකෘති ඔස්සේ සිතන බව පැහැදිලි වේ. සමාජ වගකීම යන්න නිරන්තර සංස්කෘතික ද වේ. සංස්කෘතික වශයෙන් දියුණු බව යනු වගකීම් සහ තෘප්තීන් සහිත මිනිසුන් සිටින සමාජයක් බවට ද පැහැදිලි කරගත හැකි වේ. ඒ අනුව සමාජය නිවැරදි ලෙස ගොඩනැගීමේ සහ පවතින වැරදි සහ අනාගතයෙහි නිර්මාණය වන වැරදි ශෝධනය කරනු ලබන ප‍්‍රබලතම කාරකය ලෙස සංස්කෘතිය හඳුනාගත හැකි අතර එය නිවැරදිව තේරුම් නොගැනීම තුළ එය ගැටලුවක් ලෙස විවරණය කිරීමට ජනප‍්‍රිය සංස්කෘතික කාරණා තුළ සිට එළඹෙන අය ද සිටින බව පැහැදිලි වේ. සංස්කෘතිය නොමැති වන්නේ නම් මිනිසාට අනෙකා ඉදිරියෙහි කිසිදින පවතින්නට නොහැකි වනු ඇත. ඒ අනුව පවුලෙහි බිරියගේ වගකීම, ස්වාමිපුරැෂයාගේ වගකීම යන්න පමණක් නොව සමාජයෙහි වගකීම යන්න ද සංස්කෘතික කාරණා වනු ඇත. ඒවා සංස්කෘතික වෙනස්වීම් තුළ වගකීම් ස්වරූපයන්ගේ වෙනස්කම් සිදුවීම තුළින් ද දැකිය හැකි වේ. සංස්කෘතීන් වෙනස් වන විට වගකීමෙහි ස්වරූප වෙනස් වන බව ද වගකීම යන්න සංස්කෘතිය තුළින් නිෂ්පාදනය වන්නක් බව ද මේ අනුව පැහැදිලි වේ. හොඳ භාර්යාව යන්නට වඩා සමාජයට සහෝදරියක ලෙස සහ මවක් ලෙස සිටීමට පමණක් නොව එලෙස සිතීමට ද හැකි වන්නේ නම් එය උත්තරීතර බවට පත්වනු ඇත. නිවැරදි වූ ගැහැනියකගේ සහ පිරිමියකුගේ ආදරය මව සහ පිය කෙනකුගේ ආදරයට සමාන වනු ඇත.
අනෙක් අතට බැඳීම් සහ සිත් රිදීම් ඇතිවන්නේ ද තේරැම් නොගැනීම නිසා බව තේරැම් ගැනීමට කාලය පැමිණ තිබේ. වර්තමාන අප ආයතනවල සහ සමාජයෙහි බැඳීම් යන්න ගොඩනැගී ඇත්තේම තේරැම් නොගත් ස්වරෑප තුළ බව පැහැදිලි වේ. නිවැරදි නොවන ලෙස ගොඩනගන බැඳීම සැමදා සිත් රිදවන බව අප අත්දැකීම් දෙස අවධානය යොමු කරන විට පැහැදිලි කරගත හැකිය. මෙම බැඳීම් තුළ ඔවුන් ලබාගත් දෙයක් ද නොමැති වන අතර ඇත්තේ එක් දෙයක් පමණි. එනම් බැඳීමෙහි ස්වරෑප පිළිබඳ තේරැම් ගැනීමට පසුබිම් නිර්මාණය වීමයි. සිත් රිදවන බැඳීම් ගොඩනොනගා ගැනීමට නම් සිතන විධි වෙනස් කරගත යුතු බව මෙම අත්දැකීම් අපට කියා දෙනු ඇත.
පවුල් ප‍්‍රශ්න හටගන්නේ ද සරල තැන්වලින් බව මිනිසා අවබෝධ කර නොගන්නා නිසා එම අනවබෝධයට එය සංකීර්ණ කිරීමේ හැකියාව පවතී. ස්වභාවික නියමයෙහි පිළිවෙල අතික‍්‍රමණය වන සෑම තැනකම සංකීර්ණ බව ගොඩනැගෙනු ඇත. අප බොහෝ විට නිවැරදි යැයි කියා සිතන බොහෝ දේ නිවැරදි ද නොවනු ඇත. ඉවසීම යන්න ප‍්‍රගුණ කළ යුත්තක් වන අතර නොඉවසීම ගැටලු මතු කරවන්නකි. ඉවසීම යනු ද තේරැම් ගැනීමට අවශ්‍ය ප‍්‍රවේශය නිර්මාණය කරන්නකි. පවුල තුළ, විවාහය තුළ, මිතුරුකම් තුළ සහ අනෙකුත් සබඳතා තුළ ද කළ යුතු සහ නොකළ යුතු බොහෝ දේ පවතින බව තේරුම් ගත් විට ගැටලු නැතිවීම පමණක් නොව සතුට ගොඩනැගීම ද සිදුවනු ඇත. බොහෝ ආයතනවල තනතුරැ ද ගෙදර පරිසරයට බලපාන බව පැහැදිලි වේ. එහෙත් එම තනතුරැවල උස් පහත්කම් නිවසක් තුළ ජීවත් වන්නන්ගේ උස් පහත්කම් බවට පරිවර්තනය වන විට එය ද නිවස තුළ ගැටලු බවට පත් වේ.
ඒ අනුව සදාචාරය යන්න ද මිනිසාගේ සතුට සඳහා පමණක් නොව සමාජයෙහි දිගුකාලීන පැවැත්ම සඳහා ද හේතු වන්නක් බව පැහැදිලි වේ. සදාචාරයෙහි වටිනාකම රඳා පවතින්නේ සමාජයක සිතුම් පැතුම් මත නොව ඉන් ඔබ්බෙහි පවතින ක‍්‍රියාව තුළ බව මින් ගම්‍ය වේ. යමක් හොඳ නම්, එය හොඳ වන්නේ හොඳෙහි ඇති නියමාකාර හොඳකම නිසා බව අප පැහැදිලි කරගත යුතුය. අනෙක් අතට ආශාවන් මුල් කරගෙනම කරන ක‍්‍රියාවන් පරම සදාචාර වටිනාකම්වලින් යුක්ත නොවන බව ද අප තේරුම්ගත යුතුය. මේ අනුව සදාචාරය යන්න සරල නොවන බවත් එය මිනිසාට අත්‍යවශ්‍ය කාරණාවක් වන බවත් අප පැහැදිලි කරගත යුතුය.