2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ආණ්ඩුවේ බදු කැපිල්ල නීති විරෝධියි - මුදල් තේරීම් කාරක සභා සභාපති එම්. ඒ. සුමන්තිරන්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

එහෙම නම් උසාවියට යන්න පුළුවන්

- ඇමැති බන්දුල ගුණවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව අනුව  ජනතාවට නව සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව විවිධ බදු වර්ග අහෝසි කිරීමට හෝ අවම කිරීමට පියවර ගැනිණි. 

වත්මන් ආණ්ඩුවේ එම බදු මුදල් සංශෝධනය කිරීම නිත්‍යනුකූල නොවන බව පාර්ලිමේන්තු මුදල් තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පවසයි. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එම බදුමුදල් සංශෝධනය කර ඇති අතර පසුගිය ආණ්ඩුවද මේ ආකාරයෙන් කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නියෝගයක් ලබාගත් බව ඔහු පෙන්වා දෙයි.

වත්මන් රජය මෙලෙස බදු සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබාගෙන නැහැ. 2015 යහපාලන රජය බලයට පැමිණි විගස වැට් බද්ද අඩු කළා. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එය කළ බව සඳහන් කරමින් එවක විපක්ෂයේ සිටි බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වැට්බදු අඩුකිරීම නිත්‍යනුකූල නොවන බවට තීන්දු කරමින් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. එදා විපක්ෂයේ සිටි අය අද බලයට පත්වෙලා එදා අධිකරණයෙන් ඔවුන් ලබාගත් තීන්දුවට පටහැනි අයුරින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව බදු සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. 

පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වීමෙන් පසු පළමුවරට මේ සතියේ අපගේ පොදු මුදල් කාරක සභාව රුස්වීමට නියමිතයි. එහිදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමට පියවර ගන්නවා. අධිකරණ නියෝගයක් පවතින අවස්ථාවක ඒ පිළිබඳ තැකීමකින් තොරව කටයුතු කිරීම පාර්ලිමේන්තුවට කරන හානියක්. යම් හෙයකින් මේ සම්බන්ධයෙන් කිසිවකු අධිකරණයට ගොස් අධිකරණ නියෝගයක් ලබාගතහොත් අහෝසි කළ බදු යළි අයකිරීමට සිදුවනවා. එවැනි කටයුත්තක් සඳහා විශාල මුදලක් වැයවෙනවා. රජය නිත්‍යනුකූලව කටයුතු කළ යුතුයි. ඔවුනට අවශ්‍ය පරිදි නීති විරෝධී ලෙස කටයුතු කළ නොහැකියැ*යි සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මුදල් තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප විමසා සිටියේ තොරතුරැ සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙනි. ඔහු කියා සිටියේ නව රජය නිත්‍යනුකූල නොවන කිසිදු ක්‍රියාවක් සිදු නොකරන බවය. 

ආර්ථිකය කඩා වැටිලා සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව සිටි ව්‍යාවසායකයන් ඉන් ගොඩ ගැනීමට නව රජය කටයුතු කර තිබෙනවා. එමෙන්ම සියලුම රජයේ සේවකයන් උපයන විට ගෙවීමේ බදුවලින් නිදහස් කළේ ඔවුන්ට සහන සැලසීමක් ලෙසිනුයි. රජය අණපනත්වලට එරෙහිව කටයුතු කරනවා නම් සුමන්තිරන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම බදු සහන අහෝසි කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව නොමඟ යවමින් වැරදි තොරතුරැ ලබා දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විනාශ කෙරෙන ආකාරයට කටයුතු කළ බවට එතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් නිකුත් කර ඇති මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභා වාර්තාවල සඳහන්. ඒ සම්බන්ධයෙන් කතානායකතුමා කිසිදු පියවරක් ගෙන නැහැ. ඒ අනුව මින් ඉදිරියට එවැනි ක්‍රියා ඇති නොවීම පිණිසත් යහපත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීම සඳහාත් නිර්දේශ ඉදිරිපත් කරන ලෙසටත්, ඒ සඳහා  විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසටත් මම මේ සතියේ කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට අපේක්ෂා කරනවා. යැයි ඔහු සඳහන් කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරනුයේ නව රජය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මෙම බදු සහන ක්‍රියාත්මක කර ඇති බවටය. එයට පිළිතුරු දුන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් තිබේනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ යුත්තේ අධිකරණයට යෑම බවයි. මම විපක්ෂයේ සිටියදී මෙවැනි කරැණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ඇතැම් ඒවා සංශෝධනය කරන ලෙසටත් ඇතැම් ඒවා ඉවත් කරගන්නා ලෙසටත් අධිකරණ තීන්දු ලැබුණා. සුමන්තිරන් මහතා උගත් නීතීඥයෙක්. නව රජය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ලෙස කටයුතු කර ඇතැයි. එතුමාට හැඟීයන්නේ නම් ඔහුට අධිකරණයට යා හැකියැයි ඔහු පැවසීය.

බදු සහන ලබාදීමෙන් රජයේ ආදායම පහළට වැටී, අයවැය හිඟය වැඩිවී, රාජ්‍ය ණය තවතවත් වැඩිවිය හැකියැයිද, එමඟින් වාර්ෂිකව රජයට අහිමි වන රැපියල් බිලියන 480 ක පමණ මුදල‌ නැවත සොයා ගන්නා ආතාරය පැහැදිලි කළ යුතු යැයිද විපක්ෂ මන්ත්‍රීවරැ ප්‍රකාශ කරති. රජයට සිදුවන පාඩුව වළක්වා ගැනීමට නම් රජය අනවශ්‍ය රාජ්‍ය වියදම් අවම කළයුතුව ඇතැයි ඇතැමුන්ගේ අදහසයි. රජය සඳහන් කරන්නේ බදු අඩු කිරීම නිසා නිෂ්පාදනය වර්ධනය වී ආර්ථීකය ඉහළ යන බැවින් වැඩි  ආදායමක් උපයා ගැනීමට හැකි බවය. 

කෙසේ වුවද බදු සහන ලබාදුන්නද එහි ප්‍රතිලාභ තවමත් ජනතාවට ලැබී නොමැති බව පෙනේ. ජීවන වියදමද කලින් පැවති තත්ත්වයෙන් මිදී ඇත්තේ අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් මහභාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය, වර්ධනය වෙමින් පවත්නා උද්ධමන නැඹුරැව සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ 3%කට අඩු වර්ධන මට්ටමක් පවතින තත්ත්වයක් යටතේ මෙම බදු වෙනස්කම් සිදු කෙරැණු බවයි. ඉන් පෞද්ගලික අංශයට ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම් සහ ආයෝජන තීරණ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර එමගින් කෙටි කාලීනව හා මධ්‍ය කාලීනව ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවෙනු ඇත. ජාතිය ගොඩනැඟීමේ බද්ද සහ උපයන විට බද්ද ඉවත් කිරීම මෙන්ම වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල අඩුවනු ඇත.  ඒ සඳහා යම් කාලයක් ගත විය හැකියැයි ඔහු සඳහන් කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04