මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අමෙරිකානු ඩොලර් 50ටද අඩු වී තිබේ. පසුගිය සති දෙකක පමණ කාලය තුළ ක්‍රමයෙන් බැසගෙන ගිය ඉන්ධන මිල සතිය මැද භාගය වන විට (12) ඩොලර් 49.57 දක්වා අඩුවී තිබිණ. මෙම මිල ඉදිරියේ දී තවත් අඩුවිය හැකි යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. චීනයේ කොරෝනා ආසදනය පැතිරීම නිසා ඉල්ලුම පහළ යාම මෙයට එක් හේතුවක් වන අතර ඉරානය තෙල් නිෂ්පාදනය යළි ආරම්භ කිරීම තවත් හේතුවක් වෙයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වැඩි වනවිට එහි වාසිය හෝ අවාසිය ජනතාවට ලැබිය යුතු වුවද මේ රටේ බලයට පත්වූ බොහෝ රටවල් සිදුකළේ අවාසිය පමණක් ජනතාවට පාස්කර වාසිවන අවස්ථාවලදී එහි ප්‍රායෝජනය තමන් ලබාගැනීමය. මිල අඩු කළ යුතු වූ විටදී විවිධ නිදහසට කරැණු ඉදිරිපත් කරන අතර, තමන් නිකුත් කරනුයේ වැඩි මිලට ගත් තෙල් බව පවසා මිල වෙනස් නොකිරීමට පුරැදු වී ඇත. මේ දිනවල පවසන කරැණක් වන්නේ විශාල වශයෙන් ජනතාවට බදු සහන දී ඇති නිසා රාජ්‍ය ආදායමට සිදු වූ පාඩුව පියවාගැනීමට තෙල් මිල ප්‍රයෝජනයට ගන්නා බවය.
පාරිභෝගිකයාට සිදුව ඇත්තේ ආණ්ඩුවට බැණ බැණ හෝ කියන මිලට තෙල් ගසාගැනීමටය. එයට හේතුව ඔවුනට වෙන විකල්පයක් නැති නිසාය. ඉන්දියානු ඔයිල් සමාගමේ මිල ද බොහෝවිට රජයේ මිලට සමාන්තරව හෝ මඳ වශයෙන් වැඩි වී තිබේ. සමාගමේ තෙල් බෙදාහරින අය තෙල් සංස්ථාවේ මිලටම සමාගමේ මිල සකස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ ද එය ඉටුවී ඇති බවක් නොපෙනේ. සංස්ථාව මිල අඩු නොකිරීම නිසා විශාල ලාභයක් ලබාගැනීමට ඉන්දියානු තෙල් සමාගම වාසනාවන්ත වී ඇති අතර ඔවුන්ගේ ලාභය වසරින් වසර ඉහළ නගී. එසේ වුවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය වර්ධනය වෙමින් පවතී. එකම ව්‍යාපාරයක යෙදෙන එක කණ්ඩායමක් පාඩු ලබන අතර අනිත් අය ලාභ ලබන්නේ කෙසේද යන්න ගැටලුවක් වී ඇත.
තෙල් සංස්ථාව පවසන්නේ තමන් විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන රුසකට ණයට තෙල් දෙන නිසා ලාබ ලැබීමට නොහැකි වී ඇති බවය. මෙම ආයතන ජනතාවගේ එදිනෙදා ජීවිත සමඟ දැඩිව සම්බන්ධ වීම නිසා මුදල් නොගෙවුවද තෙල් සැපයීම නැවැත්වීමට නොහැකිව ඇත. පසුගිය දිනවල තෙල් ණය පිළිබඳ ඇතිවූ අර්බුදය නිසා තෙල් නොසැපයීමෙන් විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය කළ නොහැකි වීම නිසා ඇතැම් කොටසකට අඳුරේ සිටින්න සිදුවූ බව අපට මතකය. එහෙත් ණයට බඩු දෙන්නේ නම් එය අයකර ගැනීමට ද සංස්ථාව උනන්දුවක් දැක්විය යුතුය. එසේ නොකර ණය සීමාව ඉක්මවා යන්නට ඉඩ හැර තිබීම නිසා මෙවැනි අර්බුද ඇතිවන බව පෙනේ.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ සංස්ථාව පාඩු ලැබීමට එකම හේතුව ණයට තෙල් සැපයීම පමණක් නොව දීර්ඝ කාලයක් තිස්සේ පවතින වංචා, දූෂණ, නාස්තිය, අයහපත් කළමනාකරණය, දේශපාලන පත්වීම ආදිය ඉහවහා යාම බවය. එම තත්ත්වය අවම කර ගන්නා තාක් කල් සංස්ථාවට ලාභ ලැබීමට උගහට බව ඔවුන්ගේ මතය වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්නගෙන් අපි මේ පිළිබඳ කරුණු විමසුවෙමු. ඔහු ඉදිරිපත් කළ අදහස් මෙසේය.
ඉන්ධන මිල පිළිබඳ අපේ රාජ්‍ය ව්‍යවසායවල සම්බන්ධයක් තිබේ. විවිධ රාජ්‍ය ව්‍යවසායන් 400ක් පමණ ඇති අතර මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන 55 කි. මේවා පවතින්නේ රාජ්‍ය ව්‍යාපාරික ව්‍යවසායන් ලෙසය. ඇතැම් ආයතන විශාල ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරත අතර ඒවා රටේ ආර්ථිකයට විශාල සම්බන්ධයක් පවතී. ලංකා ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ව්‍යවසායක් වුවද එය අර්ධ රාජ්‍ය ආයතනයකි. දුම්රිය දෙපාර්තමේන්තුව ද ව්‍යවසායක් නමුත් එය පූර්ණ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙයි. මෙම ආයතන සමහරක් 1977 වසරට පෙර සිට සංවෘත ආර්ථික ක්‍රමයක් තිබෙන කාලයේ සිට පැවැති ඒවා වෙයි. ඒවායේ ව්‍යුහයන් වෙනස් වී නොමැත. කළමනාකරණය නවීකරණය වී නැත.
මෙම ව්‍යවසාය ආයතනවලින් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි ආයතන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදියයි. මේවා සක්‍රීය ණය උගුලකට හසුව තිබේ. එහි අදහස වන්නේ මෙම ආයතන එකිනෙකාට ණයගැතිව සිටීමයි. A-B ට ණයයි B-C ට ණයයි. ආපසු B-Aට ණයයි ආදී වශයෙනි. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී ව්‍යවසායන් ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබාගනී. ඒ ණය සඳහා රජය සීමාවක් පනවා ඇති අතර එම සීමාවට වඩා ණය ගත්විට උපරිම ණය සීමාව වෙනස් කිරීමට ආණ්ඩුව මැදිහත් වෙයි. තෙල්වලට මුදල් ගෙවීම සඳහා රජයේ ඇපවීම මත රාජ්‍ය බැංකුවලින් ණය ගැනීම ද සිදුවේ.
මෙලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම ණය වී සිටීම නිසා එම ණය පාරිභෝගිකයන්ගෙන් ද පියවා ගැනීමට සිදුව තිබේ. සංස්ථාව ණය ගෙවීමට තිබෙන බව පෙන්වමින් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල අඩු වුවද එයට සාපේක්ෂව මිල අඩු කිරීමෙන් වැළකී සිටින බව කිව යුතුයි. ඛනිජ තෙල් සංස්ථාව කාර්යක්ෂම ලෙස කටයුතු කරනවා නම් ආදායම් උපදවාගෙන ණය ගෙවීමට අපහසු නැත. අපේ රටේ ඛනිජ තෙල් යනු ඒකාධිකාරී ව්‍යවසායකි. වෙළෙඳපොළේ තරගයක් නොමැත. ආනයනය කරන ඉන්ධන ලාභයක් තබාගෙන අලෙවි කරයි. නිසි කළමනාකරණයකින් මෙය කරනවා නම් අලාභ විඳීමට හෝ ණයකරැවකු වීමට හෝ ණයට තෙල් අලෙවි කිරීමට අවශ්‍ය නොවේ.
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධනවල මිල නියම කිරීම කිසිදු විනිවිද භාවයකින් සිදු නොකරන බව කිව යුතුය. ඔවුන් බොහෝවිට සඟවන කටයුතු කරන ප්‍රතිපත්තියක පිහිටා ඇත. කුමන ආණ්ඩුවක් පැමිණියත්, කළමනාකරණය මාරු වුණත් මෙම තත්ත්වයේ වෙනසක් නොමැත. අපේ අසල්වැසි ඉන්දියාව වැනි රටවල් සතියෙන් සතිය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අනුව ස්වකීය මිල මට්ටම වෙනස් කරයි. එසේ කරනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවය. එහි පදනම ජනතාවට ද විවෘතය. එහෙත් අපේ රටේ සියල්ල සිදු කරන්නේ රහසේය. ඉන්ධන ආනයනය කරන්නේ කීයටද, අලෙවි කරන්නේ කීයටද යන්න ගැන පාරිභෝගිකයා දැනුවත් නැත. සංස්ථාව කියන මිලට තෙල් ගැසීමට ඔවුන්ට සිදුව තිබේ. මෙය ඒකාධිකාරී වෙළෙඳාමක් නිසා ජනතාවට වෙනත් විකල්පයක් නැත. සංස්ථාව කියන ගණනට ගන්නට සිදුවේ.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැලරය අමෙරිකානු ඩොලර් පනස් ගණන්වලට බැස තිබුණද අප තවමත් ගෙවන්නේ 75-80ට තිබූ මිල පදනම් කරගෙන තැනූ මිලටය.
ලංකාවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මිල සූත්‍රයක් තනා මසින් මස තෙල් මිල අඩු වැඩි කරමින් ප්‍රකාශයට පත් කෙරිණි. එහි කිසිදු පාරදෘශ්‍ය භාවයක් නොමැති බවටද, පාරිභෝගිකයාට අවාසි බවට ද නිරතුරැව චෝදනා එල්ල විය. මිල සූත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි ද පැවසිණි. එය සකස් කිරීමේ ක්‍රමවේදයේ පැවැති යම් යම් දුර්වලතා නිසා එය අංගසම්පූර්ණ නොවූ බව ඇත්තකි. එහෙත් එමගින් යම් පමණක සහනයක් ලැබුණු බවද කිව යුතුය.
එසේ වුවද වර්තමාන ආණ්ඩුව මිල සූත්‍රය අහෝසි කළේය. මාසයෙන් මාසය තෙල් මිල වෙනස් නොකරන බවද ප්‍රකාශ කෙරුණි. ජනතාව එයට අනුකූල විය. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුවද මිල සූත්‍රයක් නැති නිසා අපේ තෙල් මිල අඩුවන්නේ නැතිවීමය. දැන් ජනතාවට සිදුව ඇත්තේ අසාධාරණයකි. මුලින් තිබූ තෙල් මිල සූත්‍රයේ අඩුපාඩු තිබුණා නම් එය සංශෝධනය කළ යුතුව - වැඩිදියුණු කළ යුතුව තිබුණි. වෙනත් රටවලින් ආදර්ශ ගත යුතුය. එහෙත් සිදුවූයේ එකවරම එය අහෝසි කිරීමකි. වර්තමාන පාලකයන් එම තත්ත්වය තම වාසියට යොදාගෙන තිබෙන බව පෙනේ.
අද සිදුවන්නේ තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව නියම නොකිරීමකි. අද තෙල් අලෙවි වන්නේ ආණ්ඩුවේ තීරණය මතය. එය කුමක් පදනම් කරගෙන කරන්නේ ද යන්න අපැහැදිලිය. බොහෝවිට මෙය දේශපාලන තීරණයක් විය හැකිය. මැතිවරණ සමයේ තෙල් මිල පහළ දමා ඡන්ද ලබාගෙන බලයට පත්වීමෙන් පසු මිල වැඩි කළ හැකි වේ.
එහෙත් සිදුවිය යුත්තේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවන විට එහි වාසිය ජනතාවට දීමය. එහෙත් එය සිදු නොකර තෙල් මිල අඩුවැඩි කිරීම වෙනත් අරමුණු සඳහා යොදාගැනීම වැරදිය. ණය නිසා සංස්ථාව පාඩු සිදුවන බව පවසා මිල අඩු නොකිරීම ජනතාවට කරන අසාධාරණයකි. එසේම බදු අඩුකිරීම නිසා ඇතිවන පාඩු පියවා ගැනීමට ද ඉන්ධන මිල යොදාගෙන ඇති බව පෙනේ. බදු සහන දිය යුතුව තිබුණේ අහිමිවන ආදායම පියවාගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග ද සමඟය. එහෙත් එලෙස නොකර ඉන්ධන මිල පහළ නොහෙළා හිඟය පියවා ගන්නට හදනවා නම් එයින් රටේ ආර්ථිකයට සිදුවන හානිය අති විශාලය.
රටේ සමස්ත මිල මට්ටමම පාහේ ඉන්ධන මිල සමඟ බැඳී පවතී. බොහෝ පාරිභෝගික ද්‍රව්‍ය සහ සේවාවල මිල තැනෙන්නේ ඉන්ධන මිල පදනම් කරගෙනය. ඒ නිසා ඉන්ධන මිල අඩු නොවීම ඒ සියලු අංශවල මිල කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව කිව යුතුය. මෙහිදී තෙල් මිලෙන් පමණක් නොව විවිධ පැතිවලින් ජනතාව හිරිහැරයට පත්වෙන අතර රටේ ආර්ථික දියුණුවට ද මෙම තත්ත්වය අහිතකර වෙයි. ඒ නිසා මෙහිදී සිදුකළ යුත්තේ ලෝක වෙළෙඳපොළේ වර්තමාන මිල අනුව මෙහි මිල මට්ටම සකස් කිරීමය. යළිත් මිල ඉහළ ගියහොත් ඒ අනුව මිල සංශෝධනය කළ හැකි වේ. එහෙත් අද රටේ තත්ත්වය අනුව මෙලෙස සිදුවේදැයි සැක සහිතය.
යසවර්ධන රුද්රිගූ