2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

එංගලන්තයෙන් එළියට පැන්න ලංකාවේ එයාර් බස් ගනුදෙනුව

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

වැළලී යා නොදී ලක්රජය විමසීමට සැරසෙන එයාර් බස් ගනුදෙනුව ගෙවුණු සතියේ විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගත්තේය. එයින් වඩාත් වැඩි අවධානයක් දිනාගත්තේ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් නිකුත් කළ නියෝගයි. ඒ අනුව ඩොලර් මිලියන 2ක අල්ලස් ලබා ගැනීමක් සහ මුදල් විශුද්ධිකරණයක් සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලීසිය බාරවූ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක යන අය පෙබරවාරි 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මීට අදාළ සිදුවීම් පෙළ අතිශය සංකීර්ණ නමුදු එයාර් බස් ගනුදෙනුවේ කාලීන වැදගත්කම සලකා අනාවරණය වෙමින් පවතින තොරතුරැ ඔබ වෙනුවෙන් සම්පිණ්ඩනය කිරීමට අපි තීරණය කළෙමු.

මෙම ගනුදෙනුවේ වර්තමාන කතාව ආරම්භ වන්නේ බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලයේ (SFO) විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. එයා‍ර් බස් සමාගමට එරෙහි අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධ මෙම විමර්ශන වසර 4ක් පුරා පැවත්විණි. ඒ අනුව සමාගමට එරෙහිව නඩු පැවරීමක් සිදුවිය. මෙය ජාත්‍යන්තරයේ ඉහළ අවධානයක් ලද සිදුවීමකි. කෙසේවෙතත් මෙම සිදුවීම් පෙළේම කොටසක් ලෙස 2020 ජනවාරි 31 වැනි දින හෙළිවූ කරුණු මත ශ්‍රී ලංකා ගුවන් සමාගම්ය අදාළ සිදුවීමද කරළියට පැමිණියේය. මෙහිදී හෙළිදරව් වූයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අතරමැදියකු ලෙස කටයුතු කළ බ_නායිහි ලියාපදිංචි සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක මුදලක් ගෙවීමට එයාර් බස් සමාගම එකඟ වූ බවයි. එසේම එකඟ වූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් මුදලක් අදාළ සමාගමට ගෙවා ඇති බවද හෙළිදරව් විය.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෙම දූෂණ චෝදනාවලට අදාළ සිදුවීම් 2011 ජූලි සිට 2015 ජූනි දක්වා කාලය තුළ සිදුව ඇති බව SFO ප්‍රකාශ කර ඇත. මෙම වකවානුවේ ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත්තේ කපිල චන්ද්‍රසේනයි. පසුගියදා ශ්‍රී ලංකා පොලීසිය විසින් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමේදී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා රටට පැහැදිලි විය. ඒ අනුව ශ‍්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද ඔවුන්ට චෝදනා එල්ල වෙයි.

බ්‍රිතාන්‍ය ප්‍රංශ විමර්ශන පාදක කොටගෙන සැකසුණු විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෙම අල්ලස් සිදුවීමේ කතාවද අපි අධ්‍යයනය කළෙමු. රොයිටර් පුවත් සේවය දක්වන පරිදි බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලයේ (SFO) සවිස්තරාත්මක සොයාගැනීම්වලට අනුව එයාර් බස් විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳ එහි අතරමැදියකු ලෙස බඳවාගෙන ඇත. එහිදී එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියේ අපනයන ණය ඒජන්සියද ඇගේ නම සහ ස්ත්‍රී පුරැෂභාවය සම්බන්ධයෙන් නොමඟ යවා ඇත. ඔවුන් ඇගේ සමාගමට ඩොලර් මිලියන 2ක් ගෙවා ඇත්තේ ඉන් අනතුරුවය.

තවත් විදෙස් සහ දේශීය වාර්තා අනුව මෙම වංචාවට අදාළ තොරතුරැ අප වෙත අනාවරණය වේ. එයාර්බස් නිලධාරීන් අතරමැදි සමාගමට ඩොලර් මිලියන 16.84ක් ලබාදීමට පොරොන්දු වී ඇත්තේ එයාර් බස් ගුවන් යානා 10ක් සහ තවත් අමතර ගුවන් යානා 4ක් කල් බදු ක්‍රමයට ලබා ගැනීමට රජයට බලපෑම් කිරීම වෙනුවෙනි. මෙහිදී මිලදී ගන්නා A330 ගුවන් යානයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක්ද බදුගන්නා A350 ගුවන් යානයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.16ක් ද අතරමැදියාට ගෙවීමට එයාර් බස් සමාගම එකඟ වී තිබේ. මේ ආදී තවත් ගිවිසුම් සහ එකඟතාවන්  ඔවුන් අතර තිබී ඇත. කෙසේ වෙතත් එයාර් බස් සමාගම මෙලෙස අල්ලස් ලබාදුන් එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය නොවේ.

දේශීය වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනය අනුව හෙළිවී ඇති තොරතුරුද මීට සමපාත වේ. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත එයාර්බස් මව් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් අල්ලස් හෝ තුටු පඬුරැ ලෙස ලබා දී ඇත. එම මුදල භාරදීම සිදුව ඇත්තේ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක යන අයගේ Biz Solution නැමති සමාගම සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමක් වෙතයි. ඉන් අනතුරුව අදාළ මුදල් නියෝමාලි විජේනායක විසින් සිය සැමියාට අයත් ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමක් වෙත යවා ඇත. දේශීය පරීක්ෂණවලදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇතැයි චෝදනා නැගෙන්නේ මෙම පදනම මතය.

දේශීය වශයෙන් මෙම අර්බුද හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය කැපී පෙනෙයි. ශ්‍රී ලංකා ගුවන් සේවය සහ එයාර් බස් අතර ගනුදෙනුවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයාබලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නියෝග කළේය. 2013දී සිදුවූ බව කියන මෙම ගනුදෙනුවේ සියලු අංශ ආවරණය වන පරිදි පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමද ආරම්භ වූයෙන් ඉන් අනතුරුවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය විමර්ශනයන් සහ නඩු පැවරීම් සම්බන්ධයෙන් ඕනෑම රජයේ ආයතනයක් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව කියා තිබේ. එසේම අනාගතයේදී නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ අදහසින් දැනට පවතින සියලුම අභ්‍යන්තර ලියකියවිලි සංරක්ෂණය කර අධ්‍යයනය කරන ලෙසට වර්තමාන පාලන අධිකාරියට කළමනාකාරිත්වයට උපදෙස් දී ඇතැයි කියැවේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හී ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතාද මේ සම්බන්ධ අදහස් දක්වා ඇත. ඔහුට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කළ එයාර් බස් සහ එහි නියෝජිතයන්ගේ කූට ව්‍යාපාරික භාවිතයන් සංකේතවත් වෙයි. ඒ අනුව මෙම එයාර් බස් ගනුදෙනු ඉතිහාසය පිරික්සන විට තවත් තොරතුරැ රුසක් හෙළිදරව් වෙයි. 2015න් පසු එයාර් බස් ඇණවුම අත්හිටුවීමට පියවර ගැනීමද සිහිකළ යුතුය. අප ගුවන් සමාගමේ ව්‍යාපාරික ආකෘතියට නුසුදුසු යැයි සලකමින් 2016දී අවලංගු වූ ඇණවුමට අදාළ වූයේද ඉහතදී සඳහන් කළ A350 යානා බව මතක් කළ යුතුය. එසේම ලොව බොහෝ ගුවන් සේවා ලාභ ලබද්දී ලොව ප්‍රමුඛ ගුවන් සේවයක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබූ බවද අප අමතක කළ යුතු නැත.

දේශීය වශයෙන් සිදුවෙන මෙම සංවාදයට අමතර ජාත්‍යන්තර එයාර් බස් අවුල පිළිබඳවත් යමක් සිහිපත් කළ යුතුය. එක්සත් රාජධානියේ අපනයන ණය ඒජන්සිය වන UKEF ට නිසි තොරතුරු ලබා නොදීම හරහා ඔවුන් කනස්සල්ලට පත්වීම මත මෙම අල්ලස් කතාව කරළියට පැමිණි බව කියවේ. අද වනවිට මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ එක්සත් ජනපද බලධාරීන් එයාර් බස් සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වා තිබේ. ශ්‍රී ලාංකික පරීක්ෂණය එක්සත් රාජධානියේ බරපතළ වංචා කාර්යාලය විසින් සිදුකරන ලද අතර තායිවානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල ගනුදෙනු පිළිබඳවද විමර්ශනය පවත්වා ඇත. අවසානයේ එයාර් බස් සමාගම අල්ලස් ලබාදීමේ සත්‍යතාව හෙළිවීමත් සමඟ බේරුම් කරන ක්‍රියාවලියකට පිවිසියේය. ඒ අනුව පසුගියදා එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියට යූරෝ මිලියන 991ක්, ප්‍රංශයට ඇමරිකානු ඩොලර් බිලියන 2.06ක් සහ එක්සත් ජනපදයට ඩොලර් මිලියන 557 ක් ගෙවා නිහඬ වී තිබේ.

අවසාන වශයෙන් කිවයුත්තේ අපට අවබෝධ වන පරිදි මෙම මූල්‍ය අපරාධයට බොහෝ පිරිසක් සහභාගී වී සිටිය හැකි බවයි. මහා පරිමාණ වංචාවලට ලැබෙන සැනසිල්ල පිළිබඳ රටවැසියන්ට හොඳ අවබෝධයක් ඇත. මෙයත් තවත් එක කතාවක් වී යට යනු ඇතැයි අපට සිතෙන්නේ පෙර කරුමයකටය. එහෙත් රජය මෙහි සැබෑ අපරාධකරුවන්ට දඬුවම් දෙතොත් එය සැබෑ අරුමයක් වනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා
     සේයාරුව I ඉෂාන් සංජීව

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03