“අතහැරපු පතලකට ළමයි තුන්දෙනෙක් වැටිලා කියලා මට අහන්න ලැබුණා. බත් කකා හිටපු මම කෑම පැත්තකට දාලා දුවගෙන ගියා. මගේ ඥාති ළමයි දෙන්නෙකුත් එතැන හිටියා. කඹයක් දාලා කළුවරේම පතලට බැස්සා. ළමයි තුන්දෙනා ගොඩට ගන්නකොට කාටවත් සිහියක් තිබුණේ නෑ.”
අවිස්සාවේල්ල සීතාවක ප්රදේශයේ අතහැර දැමූ අනාරක්ෂිත මැණික් පතලකට වැටී සිටි කුකුළු පැටව් දෙදෙනකු බේරාගැනීම සඳහා උත්සාහ ගත් තරුණයන් තිදෙනකු එම පතලට වැටී සිටියදී ඔවුන් පතළෙන් ගොඩ ගැනීමට ක්රියාකළ සරත් මුණසිංහ මහතා කීය.
අනතුරට පත් කුකුළු පැටවුන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් පියවර ගැනීමට සිතූ තරුණයන් තිදෙනෙක් අතහැර දැමූ මැණික් පතලකට ඇදවැටී මියයාම අවාසනාවන්ත හා කාගේත් සිත් සසල කළ පුවතකි.
අවිස්සාවේල්ල සීතාවක ප්රදේශයේ මාලිගාව පාරේ නිවසකි. අවිස්සාවේල්ල අවට බොහෝ ස්ථානවල මෙන් එම නිවස පසුපසත් මැණික් හාරා අත් හැරි පතලකි. අදාළ නිවස හිමිකරු වූයේ සමුද්රකාන්ත ලක්ෂ්මිකුමාර නැමැත්තෙකි. ඔහුගේ පුත්රයා වූ දුෂාන් ධනංජය අසල්වාසී තරුණයන් වූ අසංක හා දිනූෂ යන අය සමඟ නිවසේ රැඳී සිට ඇත. පසුගිය 2 වැනිදා පස්වරුවේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කැරම් ක්රීඩාවේ නිරත වූ තරුණයන් තිදෙනා නිවස අසල මිදුලේ තැනක රැඳී සිට තිබිණ. ඒ අතරතුර දුෂාන්ගේ නිවසේ ඇතිකරන කුකුළු පැටවුන් දෙදෙනෙක් මිදුලේ ඒ මේ අත ඇවිදිමින් සිට ඇත. ඔවුන් කෙරේ දැඩි ආදරයකින් සිටි දුෂාන් නිරන්තරයෙන් සතුන් පිළිබඳව අවධානයෙන් සිටි අතර කුකුළන් නිවස පසුපස දෙසට යන බවත් ඔහු දැක තිබුණි.
එසේ මොහොතක් ගතවනවාත් සමග කුකුළන් දෙදෙනා හදිසියේ කෑගහන ශබ්දය ඇසී ඇති ගයාන් දුෂාන් වහා එදෙසට ගොස් විපරම් කර ඇත. මේ වනවිට තරමක් රෑ බෝවී වෙලාව රාත්රි 7.40ට ආසන්නව පැවතිණ. ශබ්දය ඇසී තිබුණේ නිවස පසුපස අතහැර දමා ඉටිරෙදි කඩකින් වසා දැමුණු අනාරක්ෂිත පතල දෙසිනි. එතැනට ගියද කුකුලන්ගේ හඬක් හෝ රුවක් දකින්නට තිබී නැත. විපරම් කිරීමේදී දැක තිබුණේ පතළ වසා තිබූ ඉටිරෙදි කඩ මැදින් කැඩී ගිය ස්වරූපයකි. එමගින් දුෂාන් ඇතුළු පිරිස තීරණය කොට තිබුණේ කුකුළන් දෙන්නා ඉටිරෙද්ද සිදුරු වූ තැනින් පතල තුළට ඇද වැටෙන්න ඇති බවකි. වහා ක්රියාත්මක වූ දුෂාන් ඉතිරි වූ ඉටිරෙදි කඩ විසිකර දමා අඩි හයක සහ පහක දිග පළලින් යුත් පතළට බැසීමට සූදානම් විය. අඩි 25ක 30ක තරම් ගැඹුරක් සහිත කට්ටි පතල දෝනා සහිතය. කාලයක සිට ඉඩමේ ඇති පතලට සැකයෙන් තොරව බැසීමට ගිය දුෂාන් පතලේ අඩියට ටික දුරක් තිබියදී හදිසියේ ඇද වැටී ඇත.
ඔහු ඇද වැටුණු බව දුටු පතල උඩ රැඳී සිටි අසංක වහා පතලට බැසීමට ක්රියාකර ඇත. ඔහුත් පතලේ අඩියට කිට්ටු වෙද්දී ඇදගෙන වැටුණු බව උඩ සිටි දිනූෂ පැහැදිලිවම දැක තිබිණ. පාසල්වියේ පසු වූ දිනූෂ 19 හැවිරිදිය. සිය හිතවතුන් දෙන්නා පතලේ වතුරෙන් ගොඩට ගතයුතු බව සිතමින් වහාම පතල් අඩියට බැසීමට දිනූෂ ලක්ෂාන් ක්රියාකළේ ඒ අනුවය. අවාසනාවකට මෙන් ඔහුටත් පතල් අඩියට බැසීමට හැකියාවක් තිබුණේ නැත. හදිසියේම පතල් අඩියට ඇද වැටුණු තිදෙනාගේ කිසිදු ශබ්දයක් හෝ ඇසුණේ නැත.
මේ වෙද්දී නිවැසියන් පිරිසක් එතැනට රැස්ව සිටියේ දරුවන්ට වූ විපත පිළිබඳ හඬනගමිනි. ඒ ශබ්දය ඇසුණු අසල්වැසි පිරිස් එතැනට දිව ආවේ සිදුව ඇත්තේ කුමක්දැයි බැලීමටය. අසල්වාසී නිවසකින් දුව ආ සරත් මුණසිංහ මහතා කල්පනාකාරීව කඹයක් ගැටගසා පතලට දමා ඒ ආධාරයෙන් පතළට බැස තිබුණි. මේ පෙර සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසුවය. ඔහු පතල් අඩියට බසින විට පතල් අඩිය දණක් උසට ජලයෙන් පිරී තිබිණි. තරුණයන් තිදෙනා එක ගොඩට එහි වැටී සිටියෙන් ලණුව ආධාරයෙන් එකිනෙකා උඩට යැවීමට ඔහු මහත් වෙහෙසක් දරා තිබිණ. ඒ වනවිටත් සිහියක් පතක් නොමැතිව සිටි තරුණයන් තිදෙනා රෝහල් ගත කිරීමට ප්රදේශවාසීන් ක්රියාකර තිබිණ.
පළමුව රෝහල් ගත කළ දුෂාන් සහ අසංක යන අය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය. දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් පැය එකහමාරක් පමණ සිටි දිනූෂ ලක්ෂාන් රාත්රී 10ට පමණ මරණයට පත්වූ බවද දැනගන්නට ලැබිණ. මේ සිදුවීම ඒ වනවිටත් අවිස්සාවේල්ල පොලිස්ථානය වෙත හදිසි ඇමතුම් අංක ඔස්සේ දැනුම් දෙන්නට යම් කෙනෙක් ක්රියාකර තිබිණ.
ඒ අනුව අවිස්සාවේල්ල පොලිස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක චන්ද්රපාල හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් 33462 ආරියවංශ සහ පොලිස් කොස්තාපල් 87883 බණ්ඩාර යන අය විමර්ශන අරඹා තිබිණ. මෙහිදී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පතලට ඇදවැටුණු තරුණයන්ට පතළ තුළදී මීතේන් වායුව ආඝානය වීමෙන් මරණය සිදුව ඇති බව අනාවරණය කෙරිණි.
පසුව කළ සොයාබැලීමේදී කුකුල් පැටවුන් දෙදෙනාද පතල තුළ මැරී සිටි බව දැක තිබේ. ආදරයෙන් රැකබලා ගත් කුකුළන් දෙදෙනාට වූ ආදරයෙන් ඔවුන් බේරාගැනීමට ගත් උත්සාහයේදී තරුණ ජීවිත තැනක් අකාලයේ මියයාම පසුගියදා වාර්තා වූ අවාසනාවන්ත ඛේදවාචකයකි.
සමන්ත ප්රදීප් විල්තෙර