චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ගෝලීයව ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය මේ වන විට රටවල් 25ක් පුරා පැතිර ඇතැයි වාර්තා වේ. වෛරසය ආසාදනය වූ පිරිස 23,000 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව 492ක් යැයි පැවසේ.
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි චීන කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී තිබූ බව අනාවරණ වීමත් සමඟ වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා බොහෝ පිරිස් මුහුණු ආවරණ (Face masks) පැළඳීමට උනන්දු වූහ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ මුහුණු ආවරණ හිඟයක් ඇතිවීමයි. ඇතැම් කූඨ වෙළෙඳුන් බොරදියේ මාළු බාමින් රුපියල් 15ක් වන මුහුණු ආවරණයක් රුපියල් 100ක් වැනි මිලකටත්, රුපියල් 85ක් වූ එක් 95 මුහුණු ආවරණයක් රුපියල් 500ක් වැනි මිලකටත් අලෙවි කිරීමට පියවර ගැනීම නිසා මුහුණු ආවරණ සඳහා මිල පාලනයක් ඇති කිරීමටද බලධාරීන්ට සිදු විය. සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් මෙතෙක් ඇතිවී නොමැති හෙයින් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි.
නව කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන නගර වැසියන්ට මුහුණු ආවරණ පළඳින ලෙසට අවවාද කළහ. ඒ නිරෝගී පුද්ගලයකුට ආසාදිතයකු හා සම්බන්ධ වීමට වැඩි අවකාශයක් එම නගරයේ පැවැති හෙයින් ඉන් ආරක්ෂා වීමට එවැනි පියවරක් ගැනීම වැදගත් වූ බැවිනි.
මුහුණු ආවරණයක් යනු මුඛය සහ නාසය ලිහිල්ව ආවරණය කෙරෙන රෙදිවලින් හෝ විශේෂිත කඩදාසි වර්ගයකින් නිපදවා ඇති ඇති, ඉවත දැමිය හැකි මුව වැස්මකි. මේවා අතීතයේ සිට භාවිත වූයේ වෛද්‍යවරැන් සහ හෙදියන් අතරය. බොහෝ විට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඒවා පැළඳීමට ඔවුන් පුරුදුව සිටියේ කිවිසුම් හා කැස්ස වැනි රෝග වැළඳුණු රෝගීන්ගෙන් පිටවන විෂබීජ සහිත ශාරීරික තරල අංශු නාසය සහ මුඛය තුළින් ඇතුළුවීමෙන් ආරක්ෂා වීම සඳහාය. ප්‍රථම වරට මෙවැනි මුව ආවරණයක් භාවිත කර ඇත්තේ ප්‍රංශ වෛද්‍යවරයකු වූ පෝල් බර්ගර් විසින් 1897දීය.
වෛද්‍යවරැනට පමණක් සීමාවී තිබූ මුව ආවරණ සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වූයේ 20 වැනි සියවසේ මුල් භාගයේදීය. 1918 වසරේ ස්පාඤ්ඤ උණ ලෙසින් අමෙරිකාවේ උතුරු කැරොලයිනාවෙන් ආරම්භ වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයෙන් ලොව පුරා මිලියන 20 ත් 40 ත් අතර ජනතාවක් මිය ගියහ. එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා බොහෝ රටවල වැසියෝ ස්කාෆ් නමැති විශාල ලේන්සුවකින් මුහුණු ආවරණය කිරීමට පුරුදු වූහ. වසංගතය පහව යන තුරුම මෙලෙස මුහුණු ආවරණ කිරීම සිදු වූ අතර එය රෝගය පැතිරයාම වළක්වා ගැනීමේ ප්‍රචලිත ක්‍රමයක් ලෙස සැලකිනි.
වසර කිහිපයකට පසු එනම් 1923 දී ජපානයේ ඇතිවූ මහා කන්තෝ භූමිකම්පාවෙන් පසු, සති ගණනාවක් පුරා එම ප්‍රදේශය දුමෙන් හා අළුවලින් වැසී තිබූ අතර, වායුව දූෂණය වී තිබිණි. ටෝකියෝ සහ යොකොහාමා වැනි ප්‍රදේශයන්හි රෙදිවලින් සැකසූ මුහුණු ආවරණ පැළැඳි ජනයා සුලබ දසුනක් විය. 1934 දී දෙවැනි වරට ඇතිවූ ගෝලීය උණ වසංගතය නිසාද ජපාන වැසියෝ මුහුණු ආවරණ පැළඳීමට පියවර ගත් අතර ශීත සෘතුවේ නිතිපතා පැළඳීමට පුරුදු වූහ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ කාර්මීකරණය හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ ගිය අතර වායු දූෂණය වර්ධනය විය. එහෙයින් වසර පුරා මුහුණු ආවරණ පැළඳීම පුරැද්දකට ගියේය. අද, ජපාන පාරිභෝගිකයන් වසරකට ඩොලර් මිලියන 230ක මුහුණු ආවරණ මිල දී ගන්නා අතර, වායු දූෂණයට මුහුණ දෙන චීනය, කොරියාව, ඉන්දියාව වැනි රටවල් බොහොමයක මුහුණු ආවරණ පැළඳීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඒවා වායු දූෂණයට හා වායු මගින් පැතිර යන රෝගවලින් ආරක්ෂා වීම සඳහා භාවිත කෙරේ.
මුහුණු ආවරණ මගින් රෝග වළක්වා ගත හැකිද? රෝග වැළැක්වීමේදී මුහුණු ආවරණවල කාර්යක්ෂමතාව පිළිබඳ නිවැරැදි අධ්‍යයනයක් නොමැත. එවැනි අධ්‍යයන බොහෝ දුරට සිදු කර ඇත්තේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා පමණි. එහෙත් ඇතැම් අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ පොදුවේ ගත් කල, මුහුණු ආවරණ භාවිත කරන්නේ නම්, ආසාදිත රෝගීන් සමඟ කටයුතු කිරීමේදී රෝග පැතිරීමේ අවදානම අවම වන බවයි.
බෝවන රෝග පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ පළවූ 2008 දී කෙරුණු අධ්‍යයනයකට අනුව නිගමනය වූයේ මුහුණු ආවරණ නිවැරදිව භාවිත කළ විට වෛරස් ආසාදන පැතිරීම වැළැක්වීමට බෙහෙවින් උපකාර වන බවය. මුහුණු ආවරණ නිසි ලෙස භාවිත කළ උණ වැනි රෝගවලින් පෙළෙන දරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට රෝගය වැළඳීමේ අවදානම 80%කින් අඩු විය. අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ වාර්ෂික ප්‍රකාශනයේ පළ වූ තවත් අධ්‍යයනයකින්ද ඒ හා සමාන ප්‍රතිඵල වාර්තා විය. පර් යේෂකයෝ උණ වැළඳුණු 400 දෙනකු ඇසුරින් කරන ලද අධ්‍යයනයකට අනුව නිතරම දෑත් සෝදා මුහුණු ආවරණ පැළඳ සිටි අයට උණ වැළඳීමේ අවදානම 70% කින් අවම වී ඇතැයි තහවුරු විය.
එහෙත් වාතයේ ඇති කුඩා වායු අංශු ආශ්වාසය මගින් ශරීරයට ඇතුළුවීම මුහුණු ආවරණ මගින් වැළැක්විය නොහැකි යැයි අමෙරිකා එක්සත් ජනපද බෝවන රෝග පාලන හා නිවාරණ ආයතනය සඳහන් කරයි. ආසාදිතයකු නොවන පුද්ගලයකුට වෛරස් ආසාදන වැළැක්වීමේ මාර්ගයක් ලෙස මුහුණු ආවරණ මත විශ්වාසය නොතැබිය යුතු වුවද ඇතැම් අවස්ථාවන්හිදී විෂබීජ පැතිරයාම අවම කිරීමට මුහුණු ආවරණ උපකාරී වන බව ඔවුහු සඳහන් කරති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා