අපි පරාක්‍රම සමූද්‍රයේ ජලයෙන් වගාකරන ගොවි ජනතාව. පරාක්‍රම සමූද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධානයට අයත් සාමාජික පවුල් 89000ක් සිටිනවා. මේ ජලාශයේ වැදගත්කම ගැන පැවසිය යුතු නැහැ. නමුත් පරාක්‍රම සමූද්‍ර වැව් තාවුල්ලට සිදුකර ඇති වින්නැහිය ඔබ දන්නවාද?
පසුගියදා පොළොන්නරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එලෙස අදහස් දැක්වූයේ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්. අරැණ කීර්ති ගොවි මහතාය. ඔහුගේ ආවේගශීලී අදහස් දැක්වීමෙන් කියැවුණේ රටට බත සපයන ගොවීන් වශයෙන් ඔවුන් පත්ව සිටින අසරණකමය.
ක්‍රි.ව. 1153 – 1186 අතර පොළොන්නරුවේ රජ කළ පළමුවන පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද පරාක්‍රම සමූද්‍රය වැව් කීපයක් ඒකාබද්ධ කර තනවන ලද මහා වාරි විස්මයකි. එය 12 වැනි සියවසේ සිට අද දක්වාම මහා ජල තලයකින් සුසැදිව ගොවිතැනට ජලය ලබාදෙන අතරම උණුසුම් පොළොන්නරැවේ දේශගුණය සිසිල් කිරීමට ද උපකාරී වේ. පරාක්‍රම සමූද්‍රය ආශ්‍රිතව වටිනා තෙත් බිම් පද්ධතියක් ද නිර්මාණය වී ඇත්තේ සතාසව්පාවුන්ට කදිම අභයභූමියක් නිර්මාණය කරමිනි. මිනිසා විසින් නිර්මාණය කළ තෙත්බිම් අතරට අයත් වන පරාක්‍රම සමූද්‍රය ජාතික තෙත්බිම් නාමාවලියට ද ඇතුළත්ය. එහි ජලමට්ටම සම්පූර්ණයෙන් පිරී පවතින විට එක් පරිසර තත්ත්වයකුත් ජල මට්ටම අඩු වූ විට ඊට වෙනස් පරිසර තත්ත්වයකුත් දැකගත හැකිය.
ක්‍රි.ව. 6 වන සියවසේදී පළමු වන උපතිස්ස රජු විසින් තෝපා වැව ඉදිකරවන ලදී. එම වැව පෝෂණය කිරීමට පරාක්‍රමබාහු රජු අංගම්මැඩිල්ල නම් ස්ථානයේ අඹන් ගඟ හරහා අමුණක් ඉදිකරවීය. එතැන් සිට එම යෝධ ඇළ හරහා තෝපා වැවට ජලය ගෙනියන අතර පසුව තෝපා වැව තවදුරටත් පුළුල් කළේ එයට යාබඳව තිබූ දුබුතුලු වැව, කලනගල වැව හා භූ වැව එකතු කරමිනි. එලෙස නිර්මාණය කළ වැව පරාක්‍රම සමූද්‍රය නම් විය. එලෙස මහා නරපතියකු ඉදිකළ, පසුව තවත් රජවරු රාශියක් විසින් ප්‍රතිසංස්කරණය කරවූ පරාක්‍රම සමූද්‍රය අවට පරිසරය පසුගිය කාලයේ මුදල් මත සියල්ල තීරණය කරන දේශපාලනඥයන් හමුවේ වැනසීයාමට පටන්ගෙන ඇත. රටට බත සැපයූ ගොවි ජනතාවට සිදුව ඇත්තේ තමන්ට සිදුව ඇති අසාධාරණය මාධ්‍යවලට පැවසීමටයි. මේ අරැණ කීර්ති ගොවිමහතාගේ හඬයි.
මෑත අතීතයේදී වැවේ ඉස්මත්තේ ආරක්ෂා කරගත යුතු වැව් තාවුල්ල දේශාපාලනඥයන් විසින් සහ රජයේ ඉහළ නිලධාරීන් විසින් අල්ලාගෙන යනවා. වැවේ ඉස්මත්ත කොටසක හෝටල් ඉදිකරගෙන යනවා. මේක සිදුවන්නේ සති කීපයක ඉඳලා. අපි මේ පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම රුස්වීමේදී කතා කළා. හැබැයි මේ වෙනතෙක් කිසිම උත්තරයක් නෑ. අපි ඒ ස්ථානයට ගිහින් පරීක්ෂා කළා. වැව් ජල මට්ටමේ කොන්ක්‍රීට් කණු දාලා ඒබීසී දාලා ඉදිකිරීම් කෙරෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඇහුවාම කියන්නේ බලපත්‍ර ලබාදී ඇත්තේ ඔවුන් නොව වෙනත් නිලධාරීන් බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තමයි වාරි රක්ෂිතය අයිති. ඔවුන්ගෙන් පිටස්තරව වෙනත් අය බලපත්‍ර ලබාදෙන්නේ කෙසේද? මේක නවත්වන්න බලධාරීන් මැදිහත් වෙන්නේ නැහැ. එක් කෙනෙකුට ඇඟිල්ල දික්කරලා අනෙක් නිලධාරියා බේරෙන්න බලනවා. අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා, වාරිමාර්ග ඇමැතිතුමා ආදී සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ වැව් රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීම නතර කරවලා අල්ලාගත් ඉඩම්වල ඉදිකිරීම් තහනම් කරවලා රක්ෂිතය බේරා දෙන්න කියලා.
රාජධානි යුගයේ පරාක්‍රම සමූද්‍රය සැලකුණේ ගෞරවපූර්ව ඉදිකිරීමක් ලෙසිනි. පරාක්‍රම සමූද්‍රයේ සොරොව් හතක්ද එයින් දියගෙන ගිය ඇළවල් 11ක ද නම් මහාවංශයේ දැක්වේ. ඒවායේ ගෞරවය පිණිස හැඳින්වීමට දඹදිව ස්ථාන නාම යොදාගෙන තිබේ. පරාක්‍රම සමූද්‍ර වැව් බැම්මේ තැනින් තැන සෙල්ලිපි කෙටූ ගල්කණු සිටුවන ලද්දේය. ඒවායින් කීපයක් පසුව සොයාගැනීමට ලැබී තිබේ. වැවේ එක් කණුවක සිට අනෙක් කණුවකට ඇති දුර රියන්වලින් ඒවායේ කොටවා තිබේ.
මේ මහා ජලාශය ඉදිකළේ කෘෂිකර්මාන්තය සඳහා මිස සංචාරකයන් පිනවීමට නොවේ. සංචාරක කර්මාන්තය එහි අතුරුඵලයක් පමණි. එහෙත් හෙටක් ගැන නොසිතා අද පමණක් සිතන දේශපාලනඥයන් එය සංචාරක තොටිල්ලක් කර අතමිට පුරවා ගැනීමට දතකන බවයි පෙනී යන්නේ.
වැවට තව අඩියක් දෙකක් වතුර පුරවා ගැනීමට අවශ්‍ය වුණොත් එය කරගැනීමට බැහැ. මේ හදන හෝටල් සියල්ල යටවෙනවා. එතකොට මේක දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ගැටලු ඇති නොකර හැකි ඉක්මනින් වැව් රක්ෂිත කොටස් නිදහස් කරලා මායිම් වෙන්කරලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අරුණ කීර්ති පැවසුවේය.
මෙලෙස හෝටල් ඉදිකරමින් පවතින්නේ වැවේ උතුරැ කොටස පිහිටි බැඳිවැව ප්‍රදේශයේය. අලුත්වැව නැගෙනහිර බෙඳුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති හා ඒකාබද්ධ ගොවි සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.ඩී.කේ.විජේරත්න මෙම විනාශකාරී ක්‍රියාව දුටුවේ මෙලෙසය.
බැඳිවැව රක්ෂිතයේ සිට විවිධ කාලවල එක එක කණ්ඩායම් පරාක්‍රම සමූද්‍ර රක්ෂිතය අල්ලාගෙන නීතිවිරෝධීව භාවිත කරනවා. වැවට මායිම්ව අලි වැටක් ඉදිකර තිබෙනවා. එය වැව් රක්ෂිතය සේ සලකා අලිවැට අසලම ඉඩම් අල්ලා ගන්නවා. දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් මේ විදිහට ගොවියාගේ හදවත වගේ වැව විනාශ කරනවා. වැවේ ජල ධාරිතාව අඩු කරමින් පුද්ගලිකව බැම් ඉදිකරමින් සමහරැ කටයුතු කරනවා.
පරාක්‍රම සමූද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි 116,100කි. එහි ජලතලය අක්කර 6500ක පමණ පැතිර තිබේ. වැවෙන් ජලය සැපයෙන භූමි ප්‍රමාණය අක්කර 28000කි. වී වගාව පමණක් සිදුකරන අක්කර ප්‍රමාණය 25118කි. මෙම ජලාශය අප රටේ වී නිෂ්පාදනයෙන් 5෴කට දායකත්වයක් දක්වයි. වර්ෂයක් තුළ යල - මහ දෙකන්නයේ ඉන් වී බුසල් 5500,000ක් නිෂ්පාදනය කෙරේ. වර්ෂයකට ඉන් ජාතික ආර්ථිකයට සැපයෙන දායකත්වය රුපියල් බිලියන 4.4කි.
එවන් මහා දායකත්වයක් ගොවිතැනට සපයන පරාක්‍රම සමූද්‍රය සංචාරක කර්මාන්තයට ද තෝතැන්නක් වී තිබේ. කලක පටන් වැව ආශ්‍රිතව මහා පරිමාණ හෝටල් මෙන්ම කුඩා පරිමාණ හෝටල් ද ඉදිව ඇත. එහෙත් පසුගියදා යළිත් වැව් රක්ෂිතය වනසමින් කෙරෙනා නව ඉදිකිරීම් මෙම වාරි ව්‍යාපාරයට අපල කාලයක් උදාකර තිබේ. රට ගොඩනගන්නට දහසක් පොරොන්දු දෙන දේශපාලනඥයන් වහාම මේ පිළිබඳව අවදි වියයුතු බව අපගේ හැඟීමයි.
වැව් රක්ෂිතයේ ඉදිකිරීම් පිළිබඳව විමසීමට පොළොන්නරැව වාරිමාර්ග කාර්යාලය සහ පරාක්‍රම සමූද්‍ර ව්‍යාපාරයේ වාරිමාර්ග කාර්යාලය ඇමතුවත් එහි ඉංජිනේරු නිලධාරින් රැස්වීමකට සහභාගී වීමට ගොස් සිටි බව පැවසූ නිසා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
කුසුම්සිරි විජයවර්ධන
පසුබිම් පුවත් - කරුණාරත්න ගමගේ