කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට සිදුවේ. එහි පළමු කොටස කොළඹ සිට මීරිගම දක්වාද දෙවැනි කොටස මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා ද වේ. මීරිගම සිට කුරැණෑගල දක්වා මාර්ගයේ දුර. කි.මී. 39.29කි.
මාර්ගය ඉදිකිරීමට පෙර කරන ලද පුරාවිද්‍යා හානි ඇගැයුම් ව්‍යාපෘතියට රඹුක්කන මිනියම්පිටිය ප්‍රදේශයේ මාර්ගය දිවයන භූමියේ තිබූ පස් ගොඩැලි දෙකක් ගැන වාර්තා විය. පුරාණ බෙදීම් අනුව ඒවා හතර කෝරළේ කිණිගොඩ කෝරළේට අයත්ය. මේ ස්ථානය පිළිබඳව කෑගල්ල ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට දැනුම්දුන් අතර, සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) එච්. බී. ඒ. කේ. නිල්මල්ගොඩ මහතා විසින් තීරණය කළේ එම ස්ථානය කැණීම් කළ යුතු බවයි. ඒ අනුව පසුගිය අප්‍රේල් 25 දින කැණීම් නිලධාරී ඩබ්ලිව්. ඒ. කේ. සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් කැණීම් කණ්ඩායමක් මිනියම්පිටියට පැමිණියහ.
පස් ගොඩැල්ලක් ලෙස තිබූ භූමිය විවෘත කොටු දැල් ක්‍රමය හා පර් යේෂණ අගල් ක්‍රමය, ගොඩැලි කැණීම් ක්‍රමය භාවිතයෙන් කැණීම් සිදු කෙරිණි. එහිදී අනාවරණය වූයේ මෙය පැරණි දාගැබ් දෙකක් බවයි. මුල් කාලීන් ප්‍රාථමික ඉදිකිරීම් රටාවක් එම දාගැබ්වලින් පෙන්නුම් කෙරේ. මේවා එතරම් විශාල නොවූ කුඩා දාගැබ්ය.
ගොඩැලි අංක එකෙන් මතු වූ දාගැබ සඳහා ගල් හා මැටි භාවිතයට ගෙන ඇත. එම දාගැබ පාදම සහිත කොටසකින් සහ ගර්භය සහිත කොටසකින් යුක්තය. පළමු පාදම් කොටස් ඉදිකර ඇත්තේ සක්ක ගල් බැම්මකිනි. ඊටපසු ගල් බැම්ම මැද කවාකාර කොටසට බොරළු හා පසුව මැටි පස් පුරවා තදකර තිබේ. ඊටපසු ඒ මධ්‍යයේ දෙවැනි පාදම තනා දාගැබ ගොඩනංවා ඇත. එහි ඉදිකරන ලද දාගැබ් ගර්භයේ ගල්වරි 5ක් පමණ ඉතිරිව පවතී.
දෙවැනි දාගැබ් ගොඩැල්ල පළමු ස්තූපයට වඩා පසුකාලීනව ඉදිකරන ලද්දක් බව භාවිත අමුද්‍රව්‍ය හා ආකෘතික හැඩතලවලින් පෙනේ. බොහෝවිට මුල්කාලීන දාගැබ ගරා වැටුණු පසු මේ දාගැබ බෞද්ධ සැදැහැවතුන් විසින් ඉදිකරවන්නට ඇති බව සිතිය හැකිය. දෙවැනි දාගැබ සඳහා ගල්, මැටි හා ගඩොල් භාවිත කර තිබේ. මෙහි බඳ කොටස සඳහා ගඩොල් කැබලි හා ගල් යොදාගෙන ඇති බව පැහැදිලි වේ. මේ අවටින් සංඝාරාම හෝ විහාර මන්දිරවල නටබුන් හමු වී නැත. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම නටබුන් කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි දැලිවල කොටවෙහෙරේ පරිවාර දාගැබක් වීමට ඉඩ ඇති බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පැරණිම දාගැබ වන දැලිවල කොටවෙහෙර රඹුක්කන සිට කුරුණෑගල පාරේ කි.මී. 4ක් දුරින් පිහිටි ඉපැරණි පුදබිමකි. කුඩා කඳුගැටයක් මත ඉදිකර ඇති එය කොත් කැරුල්ලක් රහිත දාගැබකි. එම දාගැබේ මුල්ම අවදිය ක්‍රි.පූ. 2 සියවසට අයත් බව හෙළි වී තිබේ. එහි මුල් යුගයේ ඉදිකිරීම් ප්‍රාථමික ශෛලියක් අනුගමනය කරමින් ස්වභාවික ගල් කුට්ටි, සක්කගල් හා මැටි භාවිතයෙන් තනා ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1972 සිට වරින් වර එහි කැණීම් කළ අතර එහි ගර්භය ද හොඳ මට්ටමින් හමුවිය. පළිඟු කරඬු, වීදුරු පබළු ඇතුළු පුරාවස්තු රාශියක් දැලිවල කොටවෙහෙරෙන් හමුවිය. රාජකීය අනුග්‍රහය ලත් විහාරයක් බව පෙනෙන දැලිවලට නුදුරින් හමු වූ මෙම දාගැබ් අවට ගම්මානවල සැදැහැවතුන්ට වන්දනාව සඳහා යම් ප්‍රභූවරයකු විසින් ඉදිකරවූවක් බව පෙනේ. දැලිවලට නුදුරින් පදවිගම්පොළ මහා ශිලා ස්මාරකය පිහිටා තිබෙන අතර (ගල්මැස්ස) ඒ අවට කන්දේ ලෙන්වල ක්‍රි.පූ. යුගයට අයත් ලෙන් ලිපි ද හමුවේ.
බුද්ධාගම ලැබුණු ආසන්න කාලයකදී මේ ප්‍රදේශයේ බුදුදහම පැතිර ගිය බව මෙම සාධකවලින් හෙළි වේ. රඹුක්කන අවට පැතිර තිබූ බෞද්ධ ප්‍රබෝධය හෙළිකරන මෙම දාගැබ් කැණීම් මේ වනවිට නිමකර අවසානය. අධිවේගී මාර්ග ව්‍යාපෘතියට යටවන මේ ස්මාරකවල ඉරණම කුමක්ද? ඒ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) එච්. බී. ඒ. කේ. නිල්මල්ගොඩ මෙසේ පැවසුවේය.
මේ දාගැබ් දෙක අධිවේගී මාර්ගයට හසුවෙන ස්ථානයක තමයි තිබෙන්නේ. කැණීම් කර අවසන් වූ දාගැබ් සංරක්ෂණය කිරීමට තිබෙනවා. තවම ඒ කටයුතු ආරම්භ කළේ නැහැ. අපි පුරාවිද්‍යා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමාට යෝජනා කළේ අධිවේගී මාර්ගය උස් කර පාලමක් ලෙස දාගැබ් ඉහළින් ගමන් කිරීමට සැලසුම් කිරීමට අවධානය යොමු කරන ලෙසයි. ඒ සඳහා විශාල අතිරේක වියදමක් වැයවෙනවා. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා සමඟ සාකච්ඡා කර ඊටපසු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කළ යුතුයි. දාගැබ් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය නුදුරේදීම දැනගැනීමට ලැබේවි.
සංවර්ධන ව්‍යාපෘතිවලදී පුරාණ ස්මාරක මතු වූ විට ඒවා අනාගතය උදෙසා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙතෙක් සිදු වූ පිළිවෙතයි. මාතලේ නාලන්ද ජලාශයට නාලන්ද ගෙඩිගේ යටවීමට නියමිත වූ විට ගෙඩිගේ සම්පූර්ණයෙන් ගලවා ජලාශයට යට නොවන සේ එම ස්ථානයේම භුමිය උස් කර නැවත සවි කරන ලදී. අද අපි ගොස් නරඹන්නේ එලෙස නැවත සවි කළ නාලන්ද ගෙඩිගෙයයි.
මෙම දාගැබ් යුගලයේ වටිනාකම තවත් ඉහළ යන්නේ කෑගල්ල දිසාවේ මහනුවර යුගයෙන් එපිට කාලයට අයත් තවත් පුරාණ දාගැබ් හතරක් පමණක් හමු වී තිබීම නිසයි. ඒවා නම් දැලිවල කොටවෙහෙර, දැදිගම කොටවෙහෙර, වට්ටාරම පුරාණ දාගැබ සහ දෙවනගල දාගැබයි. පුරාවිද්‍යා බලධාරීන් සහ රජයේ බලධාරීන් මෙම ස්මාරක ආරක්ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
කුසුම්සිරි විජයවර්ධන
තොරතුරු - පුරාවිද්‍යා පර් යේෂණ නිලධාරී එච්.එම්.එස්.කේ. ඇරූගම.
සම්බන්ධීකරණය - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිලධාරී සුනිල් බණ්ඩාර කෝරළගේ