2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ලංකාවේ මුල්ම බෞද්ධ මිශ්‍ර පාසලට දැන් අවුරුදු 150යි!

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 2588

පානදුර නගරය ලාංකීය බෞද්ධ පුනරුදයේ නගරයයි. එම පුනරුදයට හේතු වූ කරුණු අතරින් පානදුරේ උපාධ්‍යාය විද්‍යාලය ද ප්‍රමුඛ වන්නේය. එකසිය පනස් වසක් සපුරන උපාධ්‍යාය විදුපියසේ තතු විත්ති සොයා යන්නට අප තීරණය ක‍ළේ එබැවිනි. කොළඹ සිට ගාලු පාරේ පැමිණෙන්නකුට පානදුර නගර මධ්‍යයේ දකුණු පසින් රන්කොත් විහාරය දිස් වේ. උපාධ්‍යාය විදුබිම පිහිටා ඇත්තේ මෙම විහාරය මායිමේය. 

දහනව වැනි සියවස බටහිර වෙරළකරයේ මිෂනාරී අධ්‍යාපනය ශීඝ්‍රයෙන් පැතිර යන්නට වූ කාලයයි. විධිමත් බෞද්ධ පාසල් පද්ධතියක අවශ්‍යතාව මේ යුගයේ මතුවෙමින් තිබුණි. ඒ අනුව පානදුර රන්කොත් විහාරයේ  එවක විහාරාධිපති, වල්පිට ගුණරතන මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දොඩන්දූවේ පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන්, සිංහල බෞද්ධ ප්‍රභූන්ගේ දායකත්වයෙන් පානදුරයේ  බෞද්ධ විද්‍යාලයක ඇරඹුම සටහන් විය. ඒ 1868 වර්ෂයේ දෙසැම්බර් 08 වැනිදාය. පොල්අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක් තුළ සිසුන් 12 දෙනකුගේ සහභාගීත්වයෙන් උපාධ්‍යාය විද්‍යාලය සිය ඓතිහාසික ගමන ආරම්භ කළේය.

අද වනවිට මෙම පාසලේ සිසුහු 600ක් පමණ අධ්‍යාපනය ලබති. පාසලේ අධ්‍යයන කටයුතු සිදුවන්නේ අ.පො.ස. සා/පෙළ දක්වාය. පානදුරේ ජනප්‍රිය පාසල් බොහෝමයකි. එහෙත් උපාධ්‍යාය විද්‍යාලය එම ජනප්‍රිය රැල්ලේ කොටස්කරුවකු නොවේ. අද ද රන්කොත් වෙහෙර විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා ද ලබමින් උපාධ්‍යාය විද්‍යාලය සිය මෙහෙවර සිදුකරයි. ජනප්‍රිය රැල්ලේ තරගය හේතුවෙන් පසුගිය කාලය පුරාවට උපාධ්‍යාය විද්‍යාලය එම පෙදෙසෙහි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ශිල්ප තක්සලාව විය. එනිසාම මෙම දරුවන්ගේ නැණ පාදන්නට නගර මධ්‍යයේ පවතින විවිධ බාධක, කම්කටොළු මැද අද ද ඇඳුරු මඩුල්ල ඇප කැපවී වීර්යය වඩමින් සිටිති.

අපි නැවතත් අතීතය දෙසට පියමනිමු. ඒ ලක්දිව අධ්‍යාපනය බ්‍රිතාන්‍යයන් සතුව පැවති යුගයයි. ඔවුහු  1869දී මහජන ඉගැන්වීම් දෙපාර්තමේන්තුව නමින් දෙපාර්තමේන්තුවක් ඇරඹීමට කටයුතු කළහ. එම දෙපාර්තමේන්තුව විසින් එවකට තිබූ පාසල් ලියාපදිංචි කිරීම ආරම්භ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ප්‍රථම  බෞද්ධ මිශ්‍ර පාසල බවට උපාධ්‍යාය විද්‍යාලය පත් විය. එය ලාංකීය පාසල් ඉතිහාසයේ විශේෂිත කඩඉමකි.  ලක් අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳ ලියැවී ඇති පොත පත අධ්‍යයනයේදී පෙනී යන තවත් කරුණක් මෙහිදී  මතු කළ යුතුය. ආරම්භක වකවානුවේ ලක්දිව වූ ප්‍රමුඛතම බෞද්ධ පාසල් කිහිපය අතරින් උපාධ්‍යාය විද්‍යාලයට ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබිණි. ඕල්කට්තුමා පැමිණීමට පෙර මෙරට ආරම්භ වී තිබූ බෞද්ධ පාසල් ගණන හතරක් බව කියැවේ. ඉන් එකක් උපාධ්‍යාය විද්‍යාලය බවට පත් විය. එහි විශිෂ්ටත්වය වනුයේ අද දක්වාම මෙම විද්‍යාලය සාර්ථකව පවත්වාගෙන ඒමයි.

විද්‍යාලයේ ආරම්භයට උරදුන්නේ උපාධ්‍යාය සංගමය යැයි කියැවේ. පෙර කී ලෙස දොඩන්දූවේ පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්, බාරොන් පෙරේරා දිසානායක මහතාගේ කළමනාකාරීත්වයෙන් එම කටයුතු සිදුවිය. ජෙරමියෙස් දියෙස්, නීතිඥ පී.පී.එම්. ගුණවර්ධන, නීතිඥ ටුවුඩර් පෙරේරා යන පිරිස මෙම උපාධ්‍යාය සංගමයේ  සාමාජිකයෝ බවට පත්වූහ. ආතර් වී. දියෙස් හෙවත් කොස් මාමා සහ එතුමාගේ පරපුරේ සහාය ද, එදා බෞද්ධ ප්‍රභූන් බොහෝ දෙනකුගේ සහාය ද මෙම විද්‍යාලයේ උන්නතිය උදෙසා බලපෑවේය.

පානදුරයේ පමණක් නොව, ලාංකීය බෞද්ධ පුනරුදයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වන පානදුරාවාදය ඇරඹුණේ 1873 අගෝස්තු 26 වැනිදාය. ඒ වනවිටත් පානදුර උපාධ්‍යාය විද්‍යාලය ඇරඹී දශකයක් පමණ ගතවී තිබිණි. ඒ අනුව ඓතිහාසික පානදුරාවාදයට පූර්වයේ සියලු සාකච්ඡා පවත්වනු ලැබුවේ උපාධ්‍යාය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීය. බෞද්ධ ප්‍රභූන්ට මෙන්ම භික්ෂූන්ට පහසුකම් සලසමින්, ජනතාව රැස් කරමින් පානදුරාවාදයේ සංවිධාන කටයුතුවලට උපාධ්‍යාය විද්‍යාලය කේන්ද්‍රස්ථානයක් විය. මේ සියල්ල කැටිකොට බලන කල උපාධ්‍යාය විද්‍යාලය ද බෞද්ධ පුනරුදයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම ඉතා සාධාරණය.

එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඇතුළු මහා යතිවරැන් ආදී පුනරුදයේ පුරෝගාමීන්ගේ පහස ලැබූ ප්‍රධාන ශාලාව අද මෙහි නැත. කාලයාගේ ඇවෑමෙන් එම ගොඩනැගිල්ල දිරාපත් වී තවදුරටත් දරුවන්ට භාවිත කළ නොහැකි තත්ත්වයකට පත් විය. ඉතා මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද අවසරය ලබාගෙන එම ගොඩනැගිල්ල ඉවත් කිරීමට පාසල් බලධාරීන්ට සිදුවිය. අද එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. තවත් එක් පැරැණි ගොඩනැගිල්ලක් ඉතිරිව පවතී. එය විමුක්තිය ශාලා ලෙස නම් කර ඇත.

පාසලේ ඉඩකඩ අඩුවීම දරුවන් මෙන්ම ගුරුවරුන් ද වර්තමානයේ මුහුණුදෙන විශාල ගැටලුවකි. එමෙන්ම ක්‍රීඩාපිටියක් නොවන නිසා දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට පවතින ගැහැට අපමණය. කුමන බාධා පැමිණිය ද උපාධ්‍යාවේ දරුවෝ විවිධ අංශවලින් සමස්ත ලංකා, පළාත් මට්ටමේ ජයග්‍රහණ පාසලට අත්කර දුන්හ. බෞද්ධ උරුමය රැකගැනීම වෙනුවෙන් රන්කොත් විහාරයේ විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි බොහෝ විෂය බාහිර ක්‍රියාකාරම් රාශියක් ද වසර පුරා පාසල තුළ සංවිධානය වෙයි. සෑම ඉරු දිනම දහම් පාසලක් ද පැවැත්වේ.  අතීතයේ ශ්‍රී විභූතිය රැකගැනීමේ අරමුණින් ඉදිරියට යාමට ඔවුහු වෙර දරමින් සිටිති.

පානදුරාවාදයේ ප්‍රතිඵලයක් ලෙස 1880දී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ ලාංකීය බෞද්ධ අධ්‍යාපනයට උරදෙනු ලැබීය. ඒ අනුව ඕල්කට්තුමන්, බ්ලැක්වට්ස්කි මැතිනිය, ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ආදී ප්‍රභූහු එකල මෙම පාසලට පැමිණියහ. බෞද්ධ පුනරුදයේ ආරම්භයේදීම සාර්ථක පාසලක් ලෙස පැවති උපාධ්‍යාය විද්‍යාලය පරම විඥානාර්ථ පදනම හරහා බෞද්ධ පාසල් සංකල්පය බිහිකිරීමට මූලාදර්ශය සපයනු ලැබූ බව පෙනී යයි. අද පානදුර ප්‍රකට ශ්‍රී සුමංගල විද්‍යාලය ඇරඹීමට 1909දී  උපාධ්‍යාය විද්‍යාලය සහාය වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම පාසල රජයට පවරාගෙන ඇත්තේ 1962දීය. මෙම විද්‍යාලය ඇසුරේ තවත් බොහෝ මං සලකුණු අතීතයට විහිදී යයි.

උපාධ්‍යාය යන නමෙහි අර්ථය ද සැකෙවින් හෝ විස්තර කළ යුතුය. උපාධ්‍යායන් යනු අතවැසි ශිෂ්‍ය හිමිවරුන්ට මඟපෙන්වන, රැකවරණය ලබාදෙන පැසුණු ප්‍රබුද්ධ ආචාර්යවරුන් වහන්සේලාය. ඒ අනුව අද ද උපාධ්‍යාය විදුපියස ශිෂ්‍යයන් කෙරෙහි කරුණාවෙන් ශිල්පය ලබාදෙයි.

ගෙවුණු දිනවලදී 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් විදුහලේ බොහෝ කටයුතු සංවිධානය විය. ඒ අතර ගුරු-සිසු, ආදී සිසු දෙමාපිය එකතුවෙන් පැවැත්වූ පරිත්‍රාණ ධර්ම දේශනාව හා සංඝගත දක්ෂිණාව ප්‍රධානය.  ඇති හැකි පමණින් තවත් බොහෝ දෑ ඉදිරියේදී සංවත්සර සැමරීම සඳහා සංවිධානය කිරීමට ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති. ආදි සිසු සංගමයක් ද ඉතා මෑතක දී පිහිටුවා ගැනුණි. වසර 150ක ඉතිහාසයේ බොහෝ ආදි සිසුන් මෙම පාසලෙන් බිහිවන්නට ඇති නමුත් අද එක්වී සිටින්නේ අතළොස්සකි. ඔවුන්ගේ මෙහෙය ද වෙසෙසින් අගය කළ යුතුය.

ඉදින් අප අවසානයේ මෙසේ ලියා තබමු. “ඉදිරියට මැ යමු”  යන්න උපාධ්‍යායාවේ ආදර්ශ පාඨයයි. කොතරම් බාධක පැමිණිය ද තවත් සියවස් ගණනාවක් ඔවුන් ඉදිරියටම යනු ඇතැයි අපිද  විශ්වාස කරමු. කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මේ විදුහල් මාතාව අභියෝගාත්මක වර්තමානය ජයගෙන අනාගතය ජයගනු නියතය.

විශේෂ ස්තූතිය - උපාධ්‍යාය විද්‍යාලයේ ආචාර්ය ජයතිලක පරණමාන

චමිඳු නිසල් ද සිල්වා

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03