බරණැස් නුවර අසල කුඩා කැලෑවක එක ළඟ තුඹස් සෑහෙන ප්‍රමාණයක් තිබුණා. ඒවා පොළොව යටින් එකට එකක් සම්බන්ධ වෙලා තිබුණා. තලගොයි රංචුවක් ඒ තුඹස්වල වාසය කළා. උන්ට නායකයෙක්ද උන්නා. ඌ බොහෝම නැණවත්. ඒ වගේම ගුණවත් එසේම සාධාරණ පාලනයක් ගෙන ගියා. ඒ නිසා අනෙක් තලගොයි ඌට කීකරු වුණා. උගේ කීමෙන් පිට ගිය නෑ. ගරු කළා.
මේ තලගොයි නායකයාට පැටියෙක් උන්නා. ඌ ටිකක් හිතුවක්කාරයි. එසේම දඟකාරයි. බොහෝ දඩබ්බර වැඩ කළා. අවවාද කළත් ගණන් ගන්නේ නෑ. ඒවා අවඥාවට ලක් කළා.
මේ තලගොයි පැටියාට මිතුරෙක්ද හිටියා. ඌ කටුසු පැටියෙක්. මේ දෙන්නාගේ වැඩේ නිතරම සෙල්ලම් කරන එක.
තලගොයි නායකයා මේ ඇසුරට කැමති වුණේ නෑ. ඒ කටුස්සාගේ අංග ලක්ෂණ හොඳ නැති නිසා. ඌ දිනක් තලගොයි පැටියාට ආදරෙන් කථා කළා.
ඌ ළඟට ආවා.
දරුවා ඔබ ඔය කරන්නේ හොඳ වැඩක් නොවෙයි.
ඒ කුමක්ද පියාණෙනි!
කටුස්සා සමඟ ඇසුර
ඒ ඇයි
උගේ අංග ලක්ෂණ හොඳ නෑ. විශ්වාස කරන්න බෑ.
අනේ පියාණෙනි! ඌ හරි හොඳයි. මට හරියට ආදරෙයි.
දරුව ඔය ආදරය දවසක කෑදරය වෙන්න පුළුවන්. මම ඔබට වඩා සතුන් ගැන හොඳට දන්නවා. ඒ නිසා ඇසුර නවත්තපන්.
තලගොයි පැටවා නිහඬ වුණා. පියා දෙස බලා හිටියා.
දරුව ඔබට කටුස්සා දක්වන ඔය ආදරය හැමදාම තියෙන්නේ නෑ. එය යම් දවසක ඔබේ විනාශයට හේතුවක් වෙන්න පුළුවන්. ඔබට පමණක් නොවේ. අප සියලු දෙනාටම හානි විය හැකියි. ඒ නිසා හොඳ දරුවා වගේ ඔය ඇසුර නැවත්විය යුතුයි. නායකයා වැඩි දුරටත් කිව්වා.
තලගොයි පැටියා හිස වැනුවා. ඔවදන් පිළිගත් බව හැඟවුවා. ටික දවසක් කටුසු පැටියා මඟ හැර උන්නා.
කටුසු පැටියා ඌ හොයාගෙන ආවා.
ඌ මඟ හැරියා. තුඹස තුළම හිටියා.
එසේ ටික දිනක් ගියා. තලගොයි පැටියාට ලොකු තනිකමක් දැණුනා. පියාගේ ඔවදන් අමතක කළා. යළි කටුසු පැටියා සොයා ගියා. පෙර පරිදි සෙල්ලම් කළා.විනෝද වුණා.
නායක තලගොයා නැවත පැටියාට අවවාද කළා. හරි ගියේ නෑ. ඌ ඒ ඇසුර අත්හැරියේ නෑ. බැරිම තැන තරවටු කළා. පළක් වුණේ නෑ. පහුවෙන කොට ඌ පියා ගණන් ගත්තෙත් නෑ.
තවදුරටත් ඒ ගැන කාලය වැය කිරීම වැඩක් නැති දෙයක් ලෙස නායක තලගොයා හිතුවා. ඌ ඊට පස්සේ ඒ ගැන පැටියා එක්ක කථා කෙළේවත් නෑ.
කාලය ගෙවී ගියා. තලගොයි පැටවා ඉක්මනින් වැඩුණා. ඇඟපත ලොකු මහත් වුණා. කටුස්සාද ලොකු වුණා. උගේ ඇඟපත වැඩුණේ යාන්තමට. තලගොයි පැටවාට වගේ ඇඟපත සවිමත් වුණේ නෑ. ඒ ගැන කටුස්සා කම්පා වුණා. තලගොයා ගැන ඉරිසියාවක් කටුස්සාට ඇති වුණා. ඒ බව ඌට පෙන්නුවේ නෑ. සුපුරැදු ලෙස ඇසුරු කළා.
නායක තලගොයා කටුස්සාගේ ඉරියව් වලින් ඌ වෙනස් වී ඇති බව දැනගත්තා. උගෙන් සිය පර පුරටම විනාශයක් ළගදිම සිදුවේ යැයි සිතුවා. කුමක් කළ යුතු දැයි කල්පනා කළා. පුතාගේ පාප මිත්‍ර සේවනය නිසා අසරණ තලගොයන්ට අතුරු ආන්තරාවක් සිදු විමට ඉඩදිය නොහැක. උන් රැක ගැනිම නායකයා වශයෙන් මගේ යුතුකම ඌට සිතුණා. හොඳ උපායක්ද ඒ සමඟ හිතට ආවා. කඩිනමින් තලගොයින්ගේ රැස්වීමක් පැවත් වුවා. සිය පැටවා ඊට සහභාගි කර ගත්තේ නෑ.
නායකයා රැස්වීම අමතන්න වුණා.
මිතුරනි මම පළමුකොට ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ මට මගේ පුතා කීකරුව හදා ගන්න බැරි වීම ගැන. ඌ නිසා මහ විපතක් අප සියලු දෙනාටම ළඟදීම සිදුවෙනවා. මටනම් කුමක් වුවත් කමක් නෑ. ඒ උගේ පියා මම නිසා. නිවැරැදි ඔබ ඊට වන්දි ගෙවිය යුතු නෑ. එබැවින් මේ විපතින් අප ගැලවිය යුතුයි. අපි වෙහෙස නොබලා රහස් උමඟක් හාරා ගනිමු. එය මගේ පුතාට රහසක් ලෙසට රැක ගත යුතුයි. මෙතන කවුරුත් ඊට අකමැතිද?
නෑ නෑ ඔබ අපට විශ්වාසයි. ඔබේ කීමට අපි අවනතයි. සියලුම තලගොයි කිව්වා. උන් වැඩේ පටන් ගත්තා. උමඟ නිම කළා. වගට වගක් නැතිව හිටියා. මේ අතර නොසිතු ලෙස වැස්සක් ඇද වැටුණා. එය අකල් වැස්සක් නිසා මෙරුවෝ මතු වුණා. උන් කෑමට තලගොයි එනවග වැද්දෙක් දැන ගත්තා. ඔහු තුඹස් දෙසට ආවා. කටුස්සා සෙමින් වැද්දා ළඟට ගියා. ඔබතුමා ඇයි මේ පැත්තේ ඇසුවා.
තලගොයින් අල්ලන්න යනවා.
අපොයි ඕක සුළු වැඩක්නේ. පිදුරුයි ගිනියි තිබේද?
ඔව් වැද්දා කිව්වා.
එහෙමනම් තලගොයි රංචුවක්ම අල්ලා දෙන්නම්.
එන්න මාත් එක්ක යන්න. කටුස්සා ඉස්සර වුණා.
වැද්දා ඒ පසු පස ගියා.
කටුස්සා තලගොයි ඉන්න තුඹස් පෙන්නුවා.
වැද්දා තුඹස්වල ගුල්වලට පිදුරු එබුවා. ගිනි දැමුවා. එම දුම තුඹස් තුළට ගියා. තලගොයන්ට ඉවසුම් නැතිව ගියා.
නායකයා ඉක්මන් වුණා. සියල්ලම කැඳවා ගත්තා. රහස් උමඟින් ගොස් වෙනත් තැනකින් මතු වුණා. එතැන සිට තුඹස් දෙස බැලුවා.
වැද්දා පොල්ලක් උස්සාගෙන තුඹස්වල ගුල් දෙස බලාගෙන උන්නා. කටුස්සා වැද්දා ළඟට වෙලා හිටියා.
නායක තලගොයා සිය පැටියාට එය පෙන්නුවා.
අර බලන්න පුතේ ඔබේ යහළුවා අපට කරන්න හදන විනාශය. ඕක තමයි මම හැමදාම ඔබට කිව්වේ. ඔබ ගණන් ගත්තේ නෑ නේද? නායක තලගොයා කිව්වා.
තලගොයි පැටවා හොඳින් කටුස්සා දෙස බැලුවා. අනෙක් උන් සමඟ කැලය තුළට දිව්වා.
(ගොධ ජාතකය ඇසුරින්)