2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

රට පැන්න අපරාධකරුවන්ට රතු වරෙන්තු නිල් වරෙන්තු

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I ආරක්ෂක වාර්තාකරු

කුඩු හා පාතාල මර්දන වැඩසටහන යටතේ අපරාධවලට සම්බන්ධ වී විදේශවලට පැනගොස් සැඟව සිටින අපරාධකරුවන් 111 දෙනෙක් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒම සඳහා පසුගිය සති කිහිපය තුළ ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන තිබේ.

තවත් රතු වරෙන්තු 20ක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යමින් සිටී. ඉදිරි මාස කිහිපය තුළ ලොව පුරා විවිධ රටවල සැඟව සිටින තවත් අපරාධකරුවන් 100කට පමණ රතු වරෙන්තු ලබා ගැනීමට නියමිත බව සීඅයිඩීය ප්‍රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා විසින් මෙම රතු වරෙන්තු ලබාගැනීමේ කටයුතු මෙහෙයවනු ලැබේ.

රතු වරෙන්තුවලට අමතරව ලොව පුරා සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ගේ තොරතුරු සපයා ගැනීම සඳහා නිල් වරෙන්තු (බ්ලූ නෝටිස්) ලබාගැනීමට ද පොලීසිය කටයුතු කරන අතර මේ වනවිට එබඳු නිල් වරෙන්තු 84ක් නිකුත් කර ඇතැයි සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා දේශයට කීය.