I ජයන්ත සමරකෝන්
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට පිටතින් ආහාරපාන ගෙන ඒම හා (විසිට්) තහනම් වීමත් සමගම, බන්ධනාගාරවල මත්කුඩු භාවිතය අවම වී ආහාර ගැනීම වැඩිවී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ හේතුවෙන් දිනපතා බන්ධනාගාරවලින් ඉවත දැමූ (ඉඳුල් කෑම හෙවත් ඌරුකෑම) තොග විශාල ලෙස අඩුවී ඇතැයි පැවසේ. ඒ සමඟම මත්කුඩු හිඟය හේතුවෙන් ඇතිවන (කුඩු සික්) අඩුවී ඇතැයිද බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මීට පෙර සෑම බන්ධනාගාරයකින්ම පාහේ (ඉඳුල් කෑම හෙවත් ඌරුකෑම) ලොරි ගණන් ඉවත දමන බවද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පමණක් දිනකට (ඌරුකෑම) බැරල් 6ක්වත් පිටතට රැගෙන යන බවද වාර්තාවේ.
වෙනදා හාල් කිලෝ 800ක් ආහාර පිසීමට ගන්නා අතර, එයින් කිලෝ 200ක් පමණ ආහාර ඉවත දමන බවද මේ වනවිට එම තතත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසයි.