2020 ජුනි 27 වන සෙනසුරාදා

කොරෝනා මර්දනයේ ගෞරවය ජනාධිපතිට - පාකිස්ථාන් අගමැති ඉම්රාන්

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

l දේශපාලන වාර්තාකරු

මෙතරම් කඩිනමින් ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය මර්දනය කිරීමේ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලිකව හිමිවිය යුතුබව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කළේය.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වු දුරකථන සංවාදයකදීය.එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග මර්දන වැඩසටහන සංවිධානය කළ ආකාරය ආසියාවේ සෙසු රටවලටද ආදර්ශයක් යැයි සඳහන් කළේය.

කොරෝනාවෙන් කඩා වැටුණු ආසියාවේ ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාව පෙරමුණ ගතයුතු බව පැවසූ ඉම්රාන් ඛාන් මහතා ඉන්දියාව සමඟ ඉතා හොඳ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වාගෙන යන නිසා ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් කළහැකි බවට විශ්වාස කරන බවද කීය.

ශ්‍රී ලංකාව කොරෝනා රෝග මර්දනයේ ලද අත්දැකීම් බෙදාගැනීමටත් පාකිස්ථානය සමඟ සුහද රාජතාන්ත්‍රික සබඳතා පත්කර ගැනීමටත් ළඟදීම පාකිස්ථානයට පැමිණෙන ලෙස පකිස්ථාන අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළේය.