හසිත් අංජන I
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ විදුලි ඉල්ලුම සියයට 30කින් පමණ පහළ බැස ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති බැවින් මෙලෙස විදුලි ඉල්ලුම පහළ ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.
ජල විදුලි නිෂ්පාදනය සියයට 15ක් පමණ වන බවත් කිසිදු හේතුවක් මත දිවයිනට ක්‍රියාත්මක වන ඇඳිරිනීතී කාලසීමාව තුළ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද සීමා කිරීමකින් තොරව අඛණ්ඩව ජල සැපයීම සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය කියයි. එම මණ්ඩලයේ උප සභාපති එන්.ආර්. රණවක මහතා පැවසුවේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම පහළ මට්ටමක පැවතියද ජනතාව වෙත අඛණ්ඩව ජලය ලබාදෙන බවයි.