I හසිත් අංජන
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී කණ්ඩායම විසින් නිර්මාණය කොට ඇති සමගි ජන බලවේගය ලියාපදිංචි කිරීම සම්බන්ධව එජාපය දක්වා ඇති විරෝධතා ගැන තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන බදාදා (19) රැස්වීමට නියමිතය.
නව පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ නව පක්ෂ හා සන්ධාන ලියාපදිංචිය ලබන 17 වැනිදායින් අවසන් වන බවයි.
පසුගිය මාසයක පමණ කාලයක් මේ සඳහා මැතිවරණ කොමිසම විසින් ඉඩකඩ සලසා දී තිබුණි. මෙම කාලය තුළ නව දේශපාලන පක්ෂ 7 ක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමට අයැදුම්පත් භාර දී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 70 ක් වූ අතර නව අයැදුම්පත් ලැබූ දේශපාලන පක්ෂ 7 ලියාපදිංචි කිරීම සිදුකළහොත් මෙරට දේශපාලන පක්ෂ සංඛ්‍යාව 77 ක් බවට පත් වේ.