2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

විනිසුරු ගිහාන්ට වෙනම නීතියක්?

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

අධිකරණ වාර්තාකරු l

කිසියම් නඩුවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය ගැන නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියට ලබාදී ඇති පූර්ව ලිඛිත උපදෙස්වලට වෙනස් ආකාරයට ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ නඩුව සම්බන්ධයෙන් ක්‍රියාකර ඇතැයි නීතිඥ සංවිධාන ගණනාවක් රජයට පැමිණිලි කර තිබේ.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ ඇවන්ගාර්ඩ් නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විෂයභාර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පොලීසියට ලිඛිත උපදෙස් ලබාදී තිබුණේ පැමිණිල්ල විමර්ශනය කරන විමර්ශන නිලධරයා එම නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ යැයි සෑහීමට පත්වන්නේ නම් පමණක් අදාළ අත්අඩංගුවට ගැනීමේ තීරණය ඔහු විසින් ගතයුතු බවයි. එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 221 (1) වගන්තිය අනුව ලබාදෙන උපදෙසක් බවද නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියට දන්වා තිබිණි. එම උපදෙස් ලබාදුන් නීතිඥවරයා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සම්බන්ධ නඩුවේදීත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි.

එහෙත් ගිහාන් පිලපිටිය මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පොලිස් විමර්ශන පවතිද්දීම නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියට උපදෙස් දී තිබුණේ නියමිත අධිකරණ බල ප්‍රදේශයේ විනිසුරුවරයාගෙන් වරෙන්තුවක් ලබාගෙන ඒ අනුව ක්‍රියාකරන ලෙසයි. මේ ආකාරයෙන් මාස කිහිපයක් තුළ සමාන කාරණා ගැන දෙආකාරයකට උපදෙස් දීමට හේතුව කුමක්ද යන්න බරපතළ ප්‍රශ්නයක් බවත් මෙම පැමිණිල්ල කළ නීතිඥ සංවිධාන සඳහන් කර තිබේ.

පවත්නා විමර්ශන තත්ත්වයන් අනුව තමන්ට විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබී නැති බැවින් ඒ සම්බන්ධව වරෙන්තුවක් ලබාගැනීමට අපේක්ෂා නොකරන බව මෙම නඩුව වෙනුවෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි පොලිස් විමර්ශන නිලධාරී පොලිස් ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා අධිකරණයට දැන්වීය.

 

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01